හිංසනයෙන් තොර මැතිවරණයකට කැප වෙනවා - මෛත්‍රී

"වෛරයෙන්, ක්‍රෝධයෙන් සහ හිංසාවෙන් තොර" ඉතා සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් කැපවන බව ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා පවසයි.
හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න සහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය සභාපති කරු ජයසූරීය මන්ත්‍රීවරයාද සමඟ කෝට්ටේ නාග විහාරය පැමිණි මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා, එහිදී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන් හමුවිය.
සෝභිත හිමියන් හමුවීමට ප්‍රථම නාග විහාරයේදී අදහස් දැක්වූ විපක්ෂයේ පොදු අපේක්ෂකයා: "ඉතාම හික්මීමකින්, ඉතාම ගෞරවනීය ලෙස, ඉතාම වැදගත් ලෙස විශේෂයෙන්ම චරිත ඝාතන, නින්දා අපහාස කිසිම කෙනකුට පෞද්ගලිකව නොකර ඉතාමත්ම ආදර්ශමත් මැතිවරණ ව්‍යාපාරයක්," වෙනුවෙන් කැපවන බවට ප්‍රතිඥා දුන්නේය.
එහිදී දෙපාර්ශවය අතර විශේෂ සාකච්ඡාවක් නොපැවැත්වුණු අතර, එය සුහද හමුවක් පමණක් වූ බවයි ව්‍යාපාරයේ ප්‍රකාශකයෙක් බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.
තමන් පොදු අපේක්ෂකයා ලෙසින් ප්‍රකාශයට පත් වී ගතව ගිය පැය 48 ක කාලය ඇතුලත රට තුළ 'විශාල පරිවර්තනයක්' සිදු වී තිබෙන බවත් මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.




