නව දේශපාලන උනන්දුවක්

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව බීබීසී සන්දේශය වෙනුවෙන් මහජන ප්‍රතිචාරය විපරම් කිරීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න පවසන්නේ මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයා ආණ්ඩුවෙන් ඉවත් වෙමින් පොදු අපේක්ෂකයා බවට පත් වීමත් සමඟ මහජනතාව අතර දේශපාලන උනන්දුවක් වැඩෙමින් මින් පවතින ආකාරයක් දක්නට ලැබෙන බවයි.

ආණ්ඩුවෙන් ඉවත් වූ පොදු අපේක්ෂකයා අද (22) මහනුවර දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට සහ මල්වතු-අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැ දැකීමට පැමිණෙනු ඇතැයි මහජනතාව අතර අදහස් පළ වෙමින් තිබුනත් එවැන්නක් සිදු නොවූ බවයි බීබීසී ප්‍රාදේශීය මාධ්‍යවේදියා පවසන්නේ.

කොළඹ සිට මහනුවර තෙක් නව ධජ පතාක ඔසවා තිබෙනු දක්නට ලැබුණ බව පවසන ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මහජනතාව අතර මිශ්‍ර අදහස් දක්නට ඇති බවත් සඳහන් කරයි.

මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයා ආණ්ඩුවෙන් ඉවත්වීම ආණ්ඩුවේ තවත් උපක්‍රමයක්දැයි ප්‍රශ්න කරන ඡන්දදායකයන් කීප දෙනෙක් ද බීබීසී මාධ්‍යවේදියාට මුණ ගැසුණි.