පොදු අපේක්ෂක සම්මුතිය අත්සන් තැබීම කල් දැමේ

රැළියෙන් අනතුරුව මාදුළුවාවේ සෝභිත හිමියන් රහසිගතව ජනපති මහින්ද හමුවුන බවට වාර්තා
ඡායාරූප ශීර්ෂ වැකිය, රැළියෙන් අනතුරුව මාදුළුවාවේ සෝභිත හිමියන් රහසිගතව ජනපති මහින්ද හමුවුන බවට වාර්තා

එළැඹෙන ජනාධිපතිවරණයේ දී විපක්ෂයෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සම්බන්ධ සම්මුතියට අත්සන් තැබීම කල් දමා ඇති බව වාර්තා වේ.

මෙම සම්මුතියට අත්සන් තැබීම මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සඳුදා කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එම උත්සවය කල් තබා ඇතැයි දැනගන්නට ලැබුන බව ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමියෝ බීබීසී සංදේශයට පැවසූහ.

පසුගිය බදාදා කොළඹ පැවැත්වුණු විපක්ෂයේ ඒකාබද්ධ රැළියෙන් අනතුරුව මාදුළුවාවේ සෝභිත හිමියන් හදිසියේම ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වූ බවට <link type="page"><caption> ජනමාධ්‍ය වාර්තා කොට</caption><url href="http://www.sundaytimes.lk/141116/columns/alles-plays-double-game-arranges-meeting-between-president-and-ven-sobitha-128237.html" platform="highweb"/></link> තිබුණි.

එම මාධ්‍ය වාර්තා පිළිබඳව විමසීම පිණිස පසුගිය සිකුරාදා එහිමියන් ඇමතූ අවස්ථාවේ තමන් රෝහල්ගතව සිටින බැවින් පසුව අමතන මෙන් සෝභිත හිමියෝ සංදේශයෙන් ඉල්ලා සිටියහ.

පොදු අපේක්ෂකයාට සහාය දැක්වීම පිළිබඳව ජාතික හෙළ උරුමය තවමත් අවසාන තීරණයක් ගෙන නොතිබීම, සඳුදා පැවැත්වීමට නියමිතව තිබුණු සම්මුතිය අත්සන් තැබීමේ අවස්ථාව කල් දැමීමට හේතුව දැයි සංදේශය විමසූ අවස්ථාවේ අතුරලියේ රතන හිමියන් කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර තමන් වහන්සේ නොදන්නා බවයි.

ඒ සම්බන්ධයෙන් මාදුළුවාවේ සෝභිත හිමියන් ගෙන් කරුණු විමසීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.