මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අගවිනිසුරු මොහාන් පීරිස් හම්බන්තොට පැවති කාල්ටන් පෙර පාසලේ උත්සවයකට සහභාගී වෙමින්

ඡායාරූප මූලාශ්‍රය, SV Gunawardena

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අගවිනිසුරු මොහාන් පීරිස් හම්බන්තොට පැවති කාල්ටන් පෙර පාසලේ උත්සවයකට සහභාගී වෙමින්

18 වන සංශෝධනයට අනුව දෙවතාවක් ධුරය දරු අයෙකුට තුන්වන වතාවත් ජනාධිපති ධුරයක් දැරීමට හැකියාවක් තිබේදැයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129(1) වගන්තිය ප්‍රකාර තමන්ට පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපතිවරයා සිය ඉල්ලීම මගින් ඉදිරිපත් කර තිබෙන්නේ තමන් දෙවතාවක් ජනාධිපති ධුරය සඳහා තේරී පත්වීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය සම්මත කෙරුණු බවයි.

'නීතිමය ඉඩකඩක් තිබේදැයි කියන්න'

එම සංශෝධනයට අනුව දෙවතාවක් එම ධුරය දරු අයෙකුට ඊට වැඩි වාර ගණනක් ජනාධිපති ධුරය දැරීමට නීතිමය ඉඩකඩක් තිබේදැයි නිගමනය කර මතයක් ඉදිරිපත් කරන ලෙසයි ජනාධිපතිවරයා අග විනිසුරු අමතා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර ඇති සිය ඉල්ලීම මගින් සඳහන් කර ඇත්තේ.

සංදේශය කල විමසීමකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී එම්.එම්.ජයසේකර කියාසිටියේ මෙම ඉල්ලීමට අදාලව කරුණු දැක්වීමට අවශ්‍ය නම් ඒවා ලිඛිතව මෙමස 07 වනදා සවස 3.00 පෙර සිය කාර්යාලයට භාරදෙන මෙන් ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා වෙත දැනුම් දී ඇති බවයි.

විවෘත අධිකරණයට කැඳවනවාද ?

මෙම ඉල්ලීම විවෘත අධිකරණයේ කැඳවන්නේ කවදාදැයි සංදේශය කල විමසීමට පිළිතුරු දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරිය කියා සිටියේ ඒ පිළිබඳව තමනට නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කල නොහැකි බවයි.

මේඅතර සංදේශය කල විමසීමකදී ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ සභාපති උපුල්ජයසුරිය කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරියගෙන් තමන්ට එවැනි ලිපියක් ලැබී ඇති බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර ඇති ඉල්ලීම ප්‍රසිද්ධියේ විභාගයට ගන්නේද එසේ විභාගයට ගන්නා දිනය කවදාද යන්න දැනුම් දෙන මෙන් තමා ලිඛිතව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරියගෙන් ඉල්ලීමක් කර ඇති බවද නීතිවේදී උපුල් ජයසුරිය සංදේශයට පැවසීය.