අගවිනිසුරු පක්ෂග්‍රාහීයි: හිටපු අගවිනිසුරු

ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වැනි ධුර කාලයක් සඳහා තරඟ වැදිය හැකිදැයි විමසන නඩු විභාගයට අගවිනිසුරු මොහාන් පීරිස් සහභාගි වන්නේ නම් එයට විරෝධය පළ කරන බව හිටපු අගවිනිසුරුවරයෙක් පවසයි.

විශේෂයෙන්ම අගවිනිසුරු මොහාන් පීරිස් ජනාධිපතිවරයා සමඟ පසුගිය සතියේ වතිකාන සංචාරයට එක්වීම මගින් ඔහුගේ පක්ෂග්‍රාහීභාවය පැහැදිලිව ප්‍රදර්ශනය වන බවයි, හිටපු අගවිනිසුරු සරත් සිල්වා බීබීසී සංදේශයට කියා සිටියේ.

"එතුමාට කිසිවිටෙකවත් ජනාධිපති සමඟ ඔවැනි සංචාරයකට සහභාගි වීමට අවකාශයක් නෑ. අපි අවශ්‍යතාවයක් වුනොත් එතුමා මේ නඩුව විභාග කිරීමට විරෝධතාවයක් නගනවා ඒ අවස්ථාවේදී," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

හිටපු අගවිනිසුරුවරයා ඒ අදහස් පළ කළේ, තුන්වැනි වරටත් ජනපති පදවියට තරඟ කළ හැකිදැයි යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපති මහින්ද රාජපක්ෂට නීත්‍යානුකූල හැකියාවක් නොමැති බවට ඔහු නගන තර්කය පිළිබඳව විමසූ අවස්ථාවේ.

ආණ්ඩුවේ තර්කය

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයක් අර්ථ නිරූපණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් ඇත්තේ යම්කිසි පවතින නඩුවකදී ඒ ප්‍රශ්නය මතුවුවහොත් පමණයි. ඉතින් මේ කරුණ තාම මතුවෙලා නෑ," යනුවෙන්ද සරත් සිල්වා හිටපු අගවිනිසුරුවරයා සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

බැටී වීරකෝන් නීතිඥවරයා සරත් සිල්වාගේ තර්කය ප්‍රතික්ෂේප කරයි
ඡායාරූප ශීර්ෂ වැකිය, බැටී වීරකෝන් නීතිඥවරයා සරත් සිල්වාගේ තර්කය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදේශක මතයක් ලබා ගැනීමේ බලයක් ජනපතිවරයාට තිබෙන නමුත් ඒ බලය හිමි වන්නේ පොදු වැදගත්කමක් සහිත කරුණක් අරභයා පමණක් බව පෙන්වා දෙන ඔහු, මහින්ද රාජපක්ෂ නම් තනි පුද්ගලයාට යළිත් වරක් තරඟ කළ හැකිද යන්න පොදු වැදගත්කමක් සහිත කරුණක් නොවන බවද පවසයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපති පදවියට පත්වූයේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට පෙරාතුව බැවින් ඔහුට යලිත් වරක් ජනපතිවරණයට තරඟ වැඩිය නොහැකි බව හිටපු අගවිනිසුරුවරයාගේ තර්කයයි.

එහෙත් විදේශ අමාත්‍ය ජීඑල් පීරිස්, හිටපු අමාත්‍ය බැටී වීරකෝන් වැනි දේශපාලන නායකයන් මෙන්ම ඇතැම් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ද එම තර්කය ප්‍රතික්ෂේප කරති.

"ඒක එයාලගේ මතය වෙන්න පුළුවන්. නමුත් ව්‍යවස්ථාවේ තියෙන්නේ මෙහෙමයි. 'ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධූරයට තෝරා පත කර ගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඔන්පසුව එම ධුරයට ජනතාව විසින් තෝරා පත්කර ගැනීමට සුදුස්සෙක් නොවන්නේය' කියල," යන්න ආණ්ඩුවේ පාර්ශවයෙන් ඉදිරිපත් වන තර්කයට සරත් සිල්වා ගේ ප්‍රතිචාරයයි.

පක්ෂග්‍රාහී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට එල්ල වන චෝදනාව පිළිබඳව විමසීම පිණිස අගවිනිසුරු මොහාන් පීරිස් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.