'නිව්යෝර්ක් ටයිම්ස්' ඉන්දියාවෙන් සමාව ඉල්ලයි

ඡායාරූප මූලාශ්‍රය, NEW YORK TIMES

ඉන්දීය අඟහරු අභ්‍යවකාශ මෙහෙයුම උපහාසයට ලක් කරමින් ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පළ කරන ලද කාටූනයක් සම්බන්ධයෙන් එම පුවත්පත සමාව ඉල්ලා තිබේ.

කාටූනය පළ කිරීමත් සමග ඊට විරෝධය ප්‍රකාශ කර පැමිණිලි ලැබී ඇති බවයි පැවසෙන්නේ.

මෙම කාටූනයේ ඉන්දියාව නිරූපනය කර තිබෙන්නේ ගවයකු රැගත් ගොවියකු ලෙසටයි.

ඉන්දියාව නැමති එම ගොවියා ප්‍රභූන්ට පමණක් සීමා වූ අභ්‍යවකාශ සමාජ කාමරයක දොරට තට්ටු කරන ආකාරයයි කාටූනයේ දැක්වෙන්නේ.

සමාව

අඟහරු වටා ‘මංගල්යාන්’ අභ්‍යවකාශ යානය සාර්ථකව කක්ෂගත කිරීමට ඉන්දියාව පසුගියදා සමත් විය.

අභ්‍යවකාශ ගවේෂණය තවදුරටත් ධනවත් එමෙන්ම බටහිර රටවලට පමණක් සීමා වූවක් නොවන බව එම කාටූනයෙන් නිරූපනය කිරීමට තැත් කළේ යැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ කර්තෘවරයා ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.

නිරූපනය කිරීමට යොදා ගත් රූප නිසා සිත් තැවුලක් හට ගත් පාඨකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ කර්තෘවරයා වැඩි දුරටත් කියා සිටියේය.