තවත් ඉන්දීය ධීවර පිරිසක් අත්අඩංගුවට

'තහනම් ධීවර ආම්පන්න භාවිත කරන ශ්‍රී ලාංකික ධීවරයන්ද අත්අඩංගුවට'

ඡායාරූප මූලාශ්‍රය, fisheries.gov.lk

ඡායාරූප ශීර්ෂ වැකිය, 'තහනම් ධීවර ආම්පන්න භාවිත කරන ශ්‍රී ලාංකික ධීවරයන්ද අත්අඩංගුවට'

උතුරු මුහුදේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයන් හැත්තෑ තුන් දෙනෙකු සහ ඔවුන්ගේ යාත්‍රා දහසයක් නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ලද බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය ප්‍රකාශ කළේය.

ඉන්දීය ධීවරයින් පමණක් නොව තහනම් කළ ධීවර ආම්පන්න භාවිත කරන ශ්‍රී ලාංකික ධීවරයන්ද නාවික හමුදාව මගින් අත් අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන බවද කමාන්ඩර්වරයා බී.බී.සී.සන්දේශයට පැවසීය.

'අසාධාරණයක්'

නමුත් ධීවර සමිති නායකයන් පවසන්නේ අත් අඩංගුවට පත් වන ඉන්දීය ධීවරයන් සහ ශ්‍රී ලාංකික ධීවරයින් නිදහස් කිරීමේදී දෙරට අතර ස්ථිර ප්‍රතිපත්තියක් හා නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම නිසා ශ්‍රී ලාංකික ධීවරයින්ට දැඩි අසාධාරණයක් සිදු වන බවයි.

එක්සත් ධීවර සමිති සම්මේලනයේ උතුරු නැගෙනහිර සම්බන්ධීකාරක ඇන්ටන් ජෙසුදාසන් කියා සිටියේ ඉන්දීය නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීමෙන් පසුව ශ්‍රී ලංකා අත් අඩංගුවේ පසු වුණු ඉන්දීය ධීවරයන් අවස්ථා තුනකදීම නිදහස් කළ නමුත් මේ කාලය තුළ ඉන්දීය අත් අඩංගුවේ සිටින එකම ශ්‍රී ලාංකික ධීවරයෙකු හෝ නිදහස් කොට නොමැති බවයි.

අන්තර් ජාතික සාගර නීතිය දෙරටේම ධීවරයින්ට එක හා සමානව ක්‍රියාත්මක විය යුතු නමුත් එවැන්නක් සිදු නොවන බවයි උතුරේ ධීවර සමිති සන්ධානයේ සභාපති එමිලියාස් පිල්ලේ පවසන්නේ.

මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍යංශයෙන් කරුණු විමසූ විට එහි මාධ්‍ය ලේකම් නරේන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ඉන්දියාව කෙරෙහි දක්වන ලද සහයෝගිතාවය සැලකිල්ලට ගෙන ඉතාම ඉක්මනින් ඉන්දියාව විසින් රදවා ගෙන සිටින ශ්‍රී ලාංකික ධීවරයන් හැත්තෑතුන් දෙනාද ඔවුන්ගේ යාත්‍රා පහළොව ද කඩිනමින් නිදහස් කිරීමට ඉන්දියාව පියවර ගන්නා බව අමාත්‍යංශයට විශ්වාස බවයි.