චන්ද්‍රිකා කතා කළේ 'ආණ්ඩු පෙරලන්න නොවේ'

හිටපු ජනපතිනිය රනිල් වික්‍රමසිංහ සමඟ

ඡායාරූප මූලාශ්‍රය, BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජනපතිනිය රනිල් වික්‍රමසිංහ සමඟ
    • Author, අසාම් අමීන්
    • Role, බීබීසී කොළඹ වාර්තාකරු

රට තුළ ආගමික සහජීවනය ශක්තිමත් කිරීම පිළිබඳව අදහස් දැක්වූ හිටපු ජනතිපතිනියට ආණ්ඩුව විසින් අපහාස කිරීම අසාධාරණ බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

තම පක්ෂය හා හිටපු ජනතිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අතර පැවතුණේ ආණ්ඩු පෙරලීමේ සාකච්ඡාවක් නොව රට තුළ සාමකාමී තත්වයක් ඇති කිරීම පිළිබඳ සාකච්ඡාවක් පමණක් බවයි එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය සංදේශය කළ විමසුමක දී පැවසුවේ.

‘දේශපාලන වශයෙන් අපි අතර මත තියෙන්න පුළුවන්. නමුත් එතුමිය මේ රටේ හිටපු රාජ්‍ය නායිකාව, ඇමෙරිකාව වැනි රටවල තවමත් හිටපු ජනතිපතිවරුන් අමතන්නේ ගෞරවයෙන්. එහෙම නැතුව මෙහෙම අපවාදවලින් නමෙයි.’ කරු ජයසූරිය කියා සිටියේය.

"මුට්ටිය දමා බැලීමක්" -අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

ඡායාරූප මූලාශ්‍රය, bbc

ඡායාරූප ශීර්ෂ වැකිය, "මුට්ටිය දමා බැලීමක්" -අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

හිටපු ජනපතිනිය විපක්ෂයෙන් දේශපාලනයට පැමිණීමේ සුදානමක් ඇත්දැයි සංදේශය නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් කරු ජයසුරිය මන්ත්‍රීවරයා පැවසුවේ එවන් දෙයක් පිළිබඳව එක්සත් ජාතික පක්ෂය දැනුවත් නොමැති බවයි.

පක්ෂයේ අනුශාසකවරියට පරිභව කරන ආණ්ඩුවක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට තැනක් නැතැයි ද කරු ජයසුරිය මන්ත්‍රීවරයා පැවසුවේය.

'මුට්ටිය දමා බැලීමක්'

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සභාපතිත්වය දරන දකුණු ආසියානු ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව ගොඩනැගීම සම්බන්ධ නිර්දේශ මාලාව ඇය එක්සත් ජාතික පක්ෂයට පසුගිය එකොළොස් වැනිදා පිරිනැමූ අතර ආණ්ඩුව සහ ආණ්ඩුවට සහයෝගය දෙන පක්ෂ මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරිය දැඩි ලෙස විවේචනය කර තිබුණි.

ඇතැම් කණ්ඩායම්වල ක්‍රියාවන් නිසා රට තුළ විවිධ ආගම අතර මතභේද ඇතිවී ඇති අවස්ථාවක මෙම වැඩ පිළිවෙල විවේචනය කිරීම පිළිබඳව අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරිය ගේ මෙම වැඩ පිලිවලේ මූලික අරමුණ වූයේ ආගමික සහජීවනය ඇති කිරීමට වඩා එම කාර්යයන් ආණ්ඩුවේ න්‍යාය පත්‍රය යටතේ සිදුවූ දෙයක් ලෙස ලෝකයට පෙන්වීම බවයි.

‘කෙනෙක් අන්තර් ආගමික සහජීවනයට ඉදිරිපත් වනවා නම් ඒක ගරහන්න විවේචනය කරන්න හේතුවූ කාරණාවක් නෙවෙයි, නමුත් එතුමිය උත්සහ ගන්නවා ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට මේක ගැට ගහන්න, එකයි අපි ප්‍රශ්න කරන්නේ’

හිටපු ජනතිපතිනියගේ මෙම වැඩපිළිවෙළ ඇය නැවත දේශපාලනයට පැමිණීමට "මුට්ටිය දමා බැලීමක්" හැටියටයි ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා හැඳින්වුයේ.