දෙමළ සිරකරු බන්ධනාගාරයේදී මිය ගිහින්

සිරකරුගේ මරණය ගැන 'සැකයි'

ඡායාරූප මූලාශ්‍රය, bbc

ඡායාරූප ශීර්ෂ වැකිය, සිරකරුගේ මරණය ගැන 'සැකයි'

කොටි සංවිධානයට සහාය දීමේ චෝදනාවට වැරදිකරු වී කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකුගේ මල සිරුර අද උදෑසන හමු වූ බව බන්ධනාගාර බලධාරීහු පවසති.

බ්‍රිතාන්‍ය ජාතික විශ්වලිංගම් ගෝපිදාස් ගේ මරණයට හේතුව සොයා ගැනීම පිණිස අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත යොමු කොට ඇති බවද බන්ධනාගාර අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී කුලතුංග බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි කළ විමසීමකදී සඳහන් කළේය.

කෙසේ නමුත් මරණය පිළිබඳව තමන්ට සැකයක් තිබෙන බවයි, දෙමළ ජාතික සන්ධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

මරණ පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් එම චෝදනාව සම්බන්ධයෙන් දැනට ප්‍රතිචාරයක් පළ කළ නොහැකි බව පවසන ගාමිණී කුලතුංග, පශ්චාත් මරණ පරීක්ෂණයේදී සත්‍යය අනාවරණය වනු ඇති බවද සංදේශයට පැවසීය.