කැසිනෝ සංකීර්ණයට ඩොලර් මිලියන හාරසියයක් - ජේම්ස් පැකර්

ශ්‍රී ලංකාවේ ආරම්භ කෙරෙන තරු පහේ කැසිනෝ සංකීර්ණයක් සඳහා ඩොලර් මිලියන හාරසියයක මුදලක් ආයෝජනය කරන බව ඕස්ට්‍රේලියානු කැසිනෝ ව්‍යාපාරික, ජේම්ස් පැකර් (James Packer) තහවුරු කරයි.
ශ්‍රී ලංකාවේ සංචාරක කරමාන්තයේ සංවර්ධන හැකියාව සලකා බලා එම ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි කැසිනෝ ව්‍යාපාරික, ජේම්ස් පැකර් සිඩ්නි නුවර දී ව්‍යාපාරිකයන් අමතා කියා සිටියේ.
කැසිනෝ සල්
යෝජිත සංකීර්ණයේ කාමර හාරසිය පනහකින් යුත් හෝටලයක් ද භෝජන ශාලා, වෙළෙඳ සංකීර්ණ, සම්මන්ත්‍රණ ශාලා, හා කැසිනෝ සල් ද ඉදි වන බවත් ඒ සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා රජයත්, ඒකාබද්ධ ව්‍යාපෘති ආරම්භ කිරීම පිණිස ව්‍යාපාරික හවුල්කරුවන් සමගත් සාකච්ඡා කළ බවත් ඔහු කියා සිටියේය.
කොළඹ බේරේ වැව් ඉවුරේ සැලසුම් කොට ඇති එම ව්‍යාපෘතිය මගින් රැකියා අවස්ථා දෙදහස් පන්සියයක් ඇති කෙරෙන බවයි ඔහු කියා සිටියේ.
ඕස්ට්‍රේලියානු කොටස් වෙළෙඳ පොළ වෙත ප්‍රකාශයක් නිකුත් කරන කැසිනෝ ව්‍යාපාරික, ජේම්ස් පැකර් සඳහන් කළේ; “රටේ අනාගතය ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. මේක ශ්‍රී ලංකාවට ආසියාවේ බැබළීමට ලැබෙන අවස්ථාවක් “
සුපිරි සංචාරක කර්මාන්තයක්
එම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ සුපිරි සංචාරක කර්මාන්තය අලුතින් නිර්මාණය වනු ඇති බව පැවසූ ඔහු මේ සමග ඉන්දියාවෙන් සහ චීනයෙන් විශාල වශයෙන් සංචාරකයන් ඇදී එනු ඇති බවත් ප්‍රකාශ කළේය.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, පර්ත්, සහ මැකව් දුපත් වල කැසිනෝ ව්‍යාපාර පවත්වා ගෙන යන ඕස්ට්‍රේලියානු කැසිනෝ ව්‍යාපාරික, ජේම්ස් පැකර් පිලිපීනයේ මැනිලා නුවර කැසිනෝ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කොට තිබෙනවා.




