කුරාම් නඩුව කඩිනම් කරන්න - බ්‍රිතාන්‍ය රජය

දෙවසරකට පෙර තංගල්ලේදී මරා දමන ලද බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ගේ මිනීමැරුම පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන ලෙස බ්‍රිතාන්‍ය රජය ඉල්ලා සිටියි.
අගමැති ඩේවිඩ් කැමරොන් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම තුලින් මෙම මිනීමැරුම පිළිබඳ පොලිස් පරීක්ෂණ කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු කිරීමට අවස්ථාවක් උදා වනු ඇති බවයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් ප්‍රකාශ කරන්නේ.
ලිංගික අපචාර
අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය, කුරාම් ෂයික් ඝාතනය වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීම සඳහා ශ්‍රී ලාංකික බලධාරීන් වෙත බලපෑම් කිරීමේ අවස්ථාවක් ලෙස යොදා ගැනීමට බ්‍රිතාන්‍ය බලධාරීන් බලාපොරොත්තු වන බව ද මහ කොමසාරිස්වරයා කියා සිටියි.

බ්‍රිතාන්‍ය ජාතිකයා මරා දැමීම සහ ඔහුගේ සහකාරිය බලවත් ලිංගික අපචාරයට ලක් කිරීමෙන් පසු ගත වූ දෙවසරකට ආසන්න කාලයක් තුළ සිදුව ඇති පරීක්ෂණ පිළිබඳ සෑහීමට පත් විය නො හැකි බවයි විදේශීය මාධ්‍යවේදීන් ඇමතූ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් තව දුරටත් ප්‍රකාශ කර සිටියේ.
යුධ අපරාධ
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සහ යුධ අපරාධ චෝදනා විභාග කිරීමේ විධිමත් යාන්ත්‍රණයක් බිහි කිරීම සඳහා රජයට බලපෑම් කිරීමේ අවස්ථාවක් ලෙස මෙම සමුළුව යොදා ගැනීමට බ්‍රිතාන්‍ය අදහස් කරන බවද මහ කොමසාරිස්වරයා කියා සිටියා.




