කුරාම් ෂයික් ඝාතනය ගැන 'ඇමතිවරු සමාව ඉල්ලුවා'

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී ඝාතනයට ලක් වීම පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් සමාව ඉල්ලා සිටි බව ඔහුගේ ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයා පවසයි.
2011 නත්තල් දින තංගල්ලේ දී කුරාම් ෂයික් ඝාතනය කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු අට දෙනකු අත් අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරනු ලැබ සිටී.
ඔවුන් සියලු දෙනාම තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරති.
'පළමු වතාව'
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු දූත පිරසක් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයකින් අනතුරුව බීබීසී ය සමඟ අදහස් දැක්වූ රොක්ඩෙල් ප්‍රදේශය භාර ලේබර් පාක්ෂික මන්ත්‍රී සයිමන් ඩන්චුක් කියා සිටියේ, තමන්ට මුණ ගැසුණු ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනකුම සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව පළ කළ බවයි.

"මම හිතන්නේ, මේ ඝාතනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහල මට්ටමේ කෙනෙක් කණගාටුව පළ කළ පළමු වතාව ඒකයි. ඒ නිසා ඒ ගැන අපේ ප්‍රසාදය පළ වෙනවා," යනුවෙන් ද ඔහු සඳහන් කළේය.
කුරාම් ෂයික් ඝාතන පරීක්ෂණය පැවැත්වෙන මන්දගාමී ස්වභාවය පිළිබඳව බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ කිසිදු ප්‍රසාදයක් නොමැති බව විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු සම්බන්ධ නියෝජ්‍ය බ්‍රිතාන්‍ය අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට් මීට ඉහත දී බීබීසී සංදේශයට පැවසීය.
මේ අතර කුරාම් ෂයික් ගේ මිතුරිය, වික්ටෝරියා අලෙක්සන්ද්‍රව්නා, දූෂණයට ලක් වී නැති බවයි සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා, එවකට විපක්ෂය නියෝජනය කළ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා තිබුනේ.
කෙසේ නමුත් ඇය දූෂණය කළ බවට වික්ටෝරියා අලෙක්සන්ද්‍රව්නා දුන් සාක්ෂියේ සටහන් පොලිස්පතිවරයා විසින් සිය කාර්යාලයේදී බ්‍රිතාන්‍ය මන්ත්‍රී සයිමන් ඩන්චුක් ට පෙන්වූ බව මන්ත්‍රීවරයාගේ කාර්යාලය සනාථ කළේය.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුව හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කිරීම නියෝජ්‍ය අමාත්‍ය බර්ට් ප්‍රතික්ෂේප කළේ විදේශීය දේශපාලනඥයෙක් ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාදාමයකට මැදිහත්වීම සුදුසු නැති බව පවසමින්.








