කුරාම් ඝාතනය හෙළි කිරීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නොවේ - බ්‍රිතාන්‍යය
බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතනය හෙළිදරවු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා අධිකරණයේ විමර්ශනයක් පැවැත්වෙන බව විනා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පිළිබඳව තමන් නොදන්නා බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි.
විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු සම්බන්ධ නියෝජ්‍ය බ්‍රිතාන්‍ය අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට් ඒ බව කියා සිටියේ කුරාම් ෂයික් ඝාතන පරීක්ෂණය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවට සැකකාර සම්පත් විදාන පතිරණ කළ ප්‍රකාශය පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදී.

පසුගිය ජුනි විසි අට වැනිදා නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කළ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියා සිටියේ, මෙවැනි නඩු විභාගවලින් රජය පෙරලීමට කිසිවෙකුටත් හැකියාවක් නොලැබෙන බවයි.
"එහෙම දෙයක් ගැන මම දන්නේ නෑ. මම දන්න එකම දේ මේ පරීක්ෂණය මෙහෙයවන්නේ ශ්‍රී ලංකාවේ බලධාරීන් බව," යන්න සැකකාර සම්පත් විදාන පතිරණගේ එම ප්‍රකාශයට අමාත්‍ය බර්ට් දැක් වූ ප්‍රතිචාරයයි.
දූෂණය කළ බවට සාක්ෂි
කෙසේ නමුත් එම පරීක්ෂණය පැවැත්වෙන මන්දගාමී ස්වභාවය පිළිබඳව බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ කිසිදු ප්‍රසාදයක් නොමැති බව ද ඇමතිවරයා කියා සිටියේය.

"කුරාම් ෂයික් ඝාතන පරීක්ෂණය පැවැත්වෙන ආකාරය සහ එහි ප්‍රමාදය අපිට පිළි ගන්න බැහැ," ඔහු පැවසීය.
පරීක්ෂණවල ප්‍රමාදය පිලිබඳ අප්‍රසාදය පළ කරමින් කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදන දෙකක් නිකුත් කොට තිබෙන බව සංදේශයට කියා සිටි අමාත්‍යවරයා, පසුගිය සතියේ ලන්ඩනයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා හමු වූ අවස්ථාවේදී තමන් පුද්ගලිකවම ඒ පිලිබඳ අවධානය පළ කළ බව ද සඳහන් කළේය.
මේ අතර කුරාම් ෂයික් ගේ මිතුරිය, වික්ටෝරියා අලෙක්සන්ද්‍රව්නා, දූෂණයට ලක් වී නැති බවයි සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා තිබුනේ.
කෙසේ නමුත් ඇය දූෂණය කළ බවට වික්ටෝරියා අලෙක්සන්ද්‍රව්නා දුන් සාක්ෂියේ සටහන් පොලිස්පතිවරයා විසින් සිය කාර්යාලයේදී බ්‍රිතාන්‍ය මන්ත්‍රී සයිමන් දන්චුක් ට පෙන්වූ බව මන්ත්‍රීවරයාගේ කාර්යාලය සනාථ කළේය.
කුරාම් ෂයික්ගේ ප්‍රදේශය භාර මන්ත්‍රීවරයාට පොලිස්පති එන් ඉලංගකෝන් එම සාක්ෂිය පෙන්වා තිබෙන්නේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙක් ද අභිමුව දී.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුව හමුවේ කළ ප්‍රකාශය පිලිබඳ කිසිවක් සඳහන් කිරීම නියෝජ්‍ය අමාත්‍ය බර්ට් ප්‍රතික්ෂේප කළේ විදේශීය දේශපාලනඥයෙක් ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාදාමයකට මැදිහත්වීම සුදුසු නැති බව පවසමින්.
ලන්ඩනයේ පැවති කොන්සර්වේටිව් පක්ෂයේ ආධාරකරුවන්ගේ වාර්ෂික රැස්වීමෙන් අනතුරුවයි, බ්‍රිතාන්‍ය අමාත්‍යවරයා සංදේශය සමඟ එම අදහස් පළ කළේ.