ණය ගෙවා ගත නොහැකි කාන්තාවන්ගෙන් 'ලිංගික අල්ලස් ඉල්ලලා'

Tamil women in Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු නැගෙනහිර වෙසෙන කාන්තාවන්ගෙන් බහුතරය යුද්ධයෙන් අවතැන්වූවන් සහ සැමියන් අහිමිවූවන්

මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වයං රැකියා වෙනුවෙන් ණය ලබා දෙන ලීසිං ආයතන ඇතුළු මයික්‍රෝ ක්‍රෙඩිට් ආයතනවල නිලධාරීන් ණය ගෙවා ගත නොහැකි කාන්තාවන්ට ලිංගික හිරිහැර කරන බවට චෝදනා ලැබී තිබෙන බව රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව පවසයි.

සිය මාසික රැස්වීමේදී කාන්තා සංවිධාන මේ ප්‍රශ්ණය ඉදිරිපත් කළ බව, එකමුතුවේ සභාපති වී කමලදාස් බීබීසී සංදේශයට පැවසීය.

"මේ නිලධාරීන් සමහර අවස්ථාවල රාත්‍රී දහය තරම් පමා වී නිවෙස්වලට පැමිණෙන බව ප්‍රකාශ වී තිබෙනවා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

පවතින වාතාවරණය හේතුවෙන් ණය ලබා ගත කාන්තාවන් රාත්‍රී කාලයේ නිවසේ රැඳී සිටීමට බිය වී සිටින බවද ඔහු සඳහන් කළේය.

යුද්ධය අවසාන වීමෙන් අනතුරුව රාජ්‍ය හා පෞද්ගලික මූල්‍ය ආයතන තිහකට වැඩි ප්‍රමාණයක් ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවද ඔහු කියා සිටියේය.

රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව එල්ල කරන චෝදනාව පිළිබඳව මහ බැංකුවට දැනුම් දී තිබෙන අතර වැඩිදුර විස්තර හෙළි කිරීම සඳහා සතියක කාලයක් අවශ්‍ය බවත්, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පීඑම්එස් චාර්ල්ස් සංදේශය කළ විමසීමක දී කියා සිටියාය.