පළාත් සභාවලට තරඟ කිරීම 'ව්‍යවස්ථාව පිළිගැනීමක් නේද?'

උතුරු පළාත් සභා මැතිවරණයට තරඟ කිරීම මගින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව පිළිගන්නා බව දෙමළ ජාතික සන්ධානය (දෙජාස) සනාථ කොට තිබෙනවා නොවේදැ'යි අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රශ්ණ කරයි.
අගවිනිසුරුවරයා විවෘත අධිකරණයේ එම ප්‍රශ්ණය මතු කලේ පළාත් සභා මැතිවරණයට දෙජාස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කොට තිබූ පෙත්සමක් විභාගයට ගැනුන අවස්ථාවේදී.
එම ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින් රටේ ඒකීයභාවයට හානි සිදු වන බව අධිකරණය හමුවේ කියා සිටි පෙත්සම්කාර අරුණ ජයතිලක නීතිවේදියා, ප්‍රතිපත්ති ප්‍රකාශය තහනම් කරන මෙන් සිය පෙත්සමෙන් ඉල්ලා සිටියි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව කටයුතු කරන බවට මතුපිටින් පෙන්නුම් කළද, එම පක්ෂය රටේ ඒකීයභාවය කඩ වන අයුරින් කටයුතු කරන බව අගවිනිසුරුවරයාගේ ප්‍රශ්ණයට ප්‍රතිචාර වශයෙන් පෙත්සම්කරු කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානයේ අදහස් විමසීමකින් තොරව පෙත්සම විභාග කළ නොහැකි බව පැවසූ අගවිනිසුරුවරයා, විභාගය ඔක්තෝබර් දෙවැනි දින දක්වා කල් තැබූ අතර එදින කරුණු දක්වන මෙන් දෙජාසට නොතීසි නිකුත් කළේය.




