නවී පිල්ලේ සතියකට ශ්‍රී ලංකාවේ

Navi Pillay arriving in colombo
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනමාධ්‍ය නිදහස ඇතුළු අයිතිවාසිකම් රකින ලෙසින් ශ්‍රී ලංකාවේ රජයට බලපෑම් කරන ලෙස ජාත්‍යන්තර සංවිධාන මහ කොමසාරිස්වරිය ගෙන් ඉල්ලා තිබේ

මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරිය ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

සතියක කාලයක් ශ්‍රී ලංකාවේ ගත කරන නවනීදන් පිල්ලේ මහ කොමසාරිස් වරිය ට උතුරු නැගෙනහිර නිදහසේ යාමේ ඉඩ කඩ සලසා දීමට ශ්‍රී ලංකාවේ රජය එකඟ වී තිබේ.

ඇගේ සංචාරය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට බලපෑම් කිරීමක් ලෙස හෙලා දකිමින් ඊට විරෝධය පළ කිරීමට රජයට සම්බන්ධ සිංහල ජාතිකවාදී පක්ෂ ඇතුළු සංවිධාන කිහිපයක් සැලසුම් කොට ඇත.

අතුරුදහන් වූවන් සොයා දීම ඇතුළු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් මැදිහත් වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලපෑම් කිරීම සඳහා මානව හිමිකම් සංවිධාන විසින් උතුරේත් දකුණේත් සැලසුම් කැරුණු උද්ඝෝෂණ ද වෙයි.

ජනමාධ්‍ය නිදහස

විවිධ ජාත්‍යන්තර සංවිධාන විසින් මහා කොමසාරිස් වරිය ගෙන් ඉල්ලා ඇත්තේ ජනමාධ්‍ය නිදහස ඇතුළු අයිතිවාසිකම් රකින ලෙසින් ශ්‍රී ලංකාවේ රජයට බලපෑම් කරන ලෙසයි.

නවී පිල්ලේ ශ්‍රී ලංකාවේ ගත කරන කාලය තුලදී ජනාධිපතිවරයා, ආණ්ඩු පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දමිළ ජාතික සන්ධානය මෙන්ම රජයේ සන්නද්ධ අංශ ප්‍රධානීන්, මානව හිමිකම් සංවිධාන හා මාධ්‍ය සංවිධාන ද මුණ ගැසීමට නියමිතයි.

ලංකාවේ සංචාරයෙන් අනතුරුව නවී පිල්ලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ වාචික වාර්තාවක් ඉදිරිපත් කරනු ඇත.

එක්සත් ජාතීන් ගේ වාර්තාවක දැක්වෙන පරිදි එල්ටීටීඊ යට එරෙහිව ශ්‍රී ලංකාවේ රජය දියත් කළ යුද්ධයේදී හතලිස් දහසකටත් හැත්තෑ දහසකටත් අතර නිරායුධ වැසියන් මරුමුවට පත් වී තිබේ.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පවසන්නේ ඒ පිලිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි පරීක්ෂණයක් නොපැවැත්වෙන්නේ නම් නොවැම්බරයේදී පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම අයෝග්‍ය බවයි.

මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ බෙලරුසියාවේ තුන් දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටව ගියේය.