වැලිවේරිය: කට උත්තර ගැනීමට 'ජනතාව හමුදා කඳවුරට කැඳවලා'

පසුගිය අගෝස්තු පළමුවෙනි දින හමුදා ප්‍රහාරයට ලක් වූ වැලිවේරියේ රතුපස්වල ජනතාව හමුදා කඳවුරුවලට කැඳවා කට උත්තර ගැනීමට හමුදාව විසින් දරන ලද උත්සාහයක් තමන් මැදිහත් වී වලක්වන ලද බව ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිසම පවසයි.
එවැනි පරීක්ෂණ පැවැත්වීමට නීත්‍යානුකූල අයිතියක් තිබෙන්නේ පොලිසියට පමණක් බව ද මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමිට කියා සිටියේය.
කෙසේ නමුත්, හමුදා නිලධාරීන් වැලිවේරියට ගොස් ප්‍රදේශයේ කතෝලික දේවගැති තුමා ඇතුළු පිරිසකගෙන් මේ වනවිටත් කට උත්තර සටහන් කරගෙන තිබෙන බව ප්‍රදේශවාසීහු සංදේශයට පැවසූහ.
'බරපතල තත්වයක් මතුවෙලා'

වැලිවේරියේදී මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස බ්‍රහස්පතින්දා මානව හිමිකම් කොමිසමට පැමිණෙන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට ද කැඳවීමක් කර තිබුණු නමුත් හදිසියේම එය කල් දමන ලද බව එහි ගිය විට තමන්ට දැනුම් දුන් බවයි, එහි කැඳවුම්කරු සුනිල් ජයසේකර බීබීසී සංදේශයට කියා සිටියේ.
රතුපස්වල ගම්වාසීන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් 'බරපතල තත්වයක්' මතු වී ඇති නිසා එයට මැදිහත්වීමට කොමිසමට සිදු වී තිබෙන බව එහිදී තමන්ට දැනුම් දෙනු ලැබූ බව ඔහු පැවසීය.
ප්‍රහාරය සම්බන්ධයෙන් යුද හමුදාව පවත්වන පරීක්ෂණය වෙනුවෙන් සාක්ෂි දීමට ප්‍රදේශවාසීන් කැමති නම්, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නන් පමණක් ඒ සඳහා කැඳවීමේ වරදක් නැති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.
පොලිසියේ කාර්ය භාරයට හමුදාව මැදිහත්වීම වැලිවේරිය ප්‍රහාරයට ගොදුරු වූජනතාවට සහ මාධ්‍යවේදීන්ට කෙරෙන තර්ජනයක් බවයි, සුනිල් ජයසේකර පවසන්නේ.
හමුදාවේ ක්‍රියා කලාපය පිළිබඳව ප්‍රදේශවාසීන් පැමිණිලි කිරීමෙන් අනතුරුව, සිද්ධිට සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් ගෙන් කට උත්තර ලබා ගැනීම ලබන ඉරිදා වැලිවේරිය පොලිසියේදී සිදු කිරීමට කටයුතු සම්පාදන කළ බවයි, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් කියා සිටියේ.
මානව හිමිකම් කොමිසම මේ වන විට රාජ්‍ය ආයතන 26 ක් ඇතුළු පිරිසක ගෙන් කරුණු විමසා තිබෙන බව පවසන ඔහු, හමුදාවේ සහ පොලිසියේ වාර්තා ද ලැබීමෙන් අනතුරුව කොමිසමේ පරීක්ෂණ වාර්තාව ඉදිරි සති දෙක, තුන ඇතුලත ප්‍රකාශයට පත් කිරීම හැකි වනු ඇතැයි බලාපොරොත්තු පළ කළේය.
මේ පිළිබඳව හමුදාවෙන් කරුණු විමසීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.








