වැලිවේරිය: පුද බිමක් තුල ප්‍රචණ්ඩත්වයට සමාවක් නෑ - අමෙරිකාව

Protest against army attack in Weliweriya
ඡායාරූප ශීර්ෂ වැකිය, කතෝලික දේවස්ථානයක රැකවරණ පැතූ ජනතාවට පවා හමුදාව පහර දුන් බවට පළ වන වාර්තා පිළිබඳව ඇමෙරිකාව විශේෂ අවධානය පළ කරයි

සාමකාමී උද්ඝෝෂණවල යෙදීමේ ශ්‍රී ලංකාවාසී ජනතාවගේ අයිතියට ගරු කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

පාසල් ශිෂ්‍යයන් ඇතුළු තිදෙනකු මරා දමමින් සහ තවත් විශාල පිරිසකට තුවාල සිදු කරමින් පසුගිය අගෝස්තු පළමු වැනි දින වැලිවේරියේ රතුපස්වල ජනතා උද්ඝෝෂණයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව නිවේදනයක් නිකුත් කරන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, විශේෂයෙන්ම කතෝලික දේවස්ථානයක රැකවරණ පැතූ ජනතාවට පවා හමුදාව පහර දුන් බවට පළ වන වාර්තා පිළිබඳව බරපතල අවධානය පළ කොට තිබේ.

ප්‍රචණ්ඩත්වයට කිසිදු සමාවට කරුණක් තිබිය නොහැකි අතර, විශේෂයෙන්ම පුද බිමක් තුල එය සිදුවීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක යෙන් සාකි විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්.

'නොමඟ යවන ප්‍රකාශ'

වැලිවේරියේදී මුදා හැරුණු ප්‍රචණ්ඩත්වය පිළිබඳව පරීක්ෂණ පවත්වා, එම පරීක්ෂණ වාර්තා ප්‍රකාශයට පත් කොට, විශ්වසනීය ක්‍රියාමාර්ගයක් මගින් වැරදිකරුවන්ට දඬුවම් පමුණුවන මෙන්ද ඇමෙරිකා එක්සත් ජනපදය ඉල්ලා සිටියි.

මේ අතර වැලිවේරියේ ප්‍රහාරය සම්බන්ධයෙන් 'නොමග යවන තොරතුරු' ප්‍රකාශයට පත් කිරීමෙන් වැලකී, වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන මෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

"සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් හමුදාවේ ප්‍රකාශ අනුමත කිරීමෙන් වැලකී, ස්වාධීන පරීක්ෂණයක් පවත්වා ශ්‍රී ලංකා ආණ්ඩුව වැරදිකරුවන්ට දඬුවම් කළ යුතු," බවයි, දකුණු ආසියානු කටයුතු භාර සංවිධානයේ අධ්‍යක්ෂිකා මීනක්‍ෂි ගංගුලි සඳහන් කරන්නේ.

තත්වය සන්සුන් කිරීම සඳහා පොලිසියට ප්‍රමාණවත් කාලයක් ලබා නොදී හමුදාව කැඳවූයේ මන්ද යන්න පැහැදිලි නැති බව පවසන හියුමන් රයිට්ස් වොච් සංවිධානය, කතෝලික දේවස්ථානය තුලට කඩා වැදුණු හමුදාව කන්‍යා සොහොයුරියන්ට තුවක්කුව එල්ල කොට තර්ජනය කොට තිබෙන බව ද සඳහන් කරයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව හමුදාව සහ ජාතික මානව හිමිකම කොමිසම නිවේදනය කොට තිබෙන නමුත් ස්වාධීන, විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමට එම ආයතන දෙකටම හැකියාවක් නොමැති බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය අවධාරණය කරයි.