නායකයන් සිරගත කොට 'ශිෂ්‍ය හඬ මකන්න බෑ'

IUSF convenor sanjeewa Bandara
ඡායාරූප ශීර්ෂ වැකිය, සංජීව බණ්ඩාර අත් අඩංගුවට ගැනීම ශිෂ්‍ය දඩයමේ තවත් පියවරක් බව ශිෂ්‍ය නායකයෝ පවසති

කෑලෑ නිතිය උපයෝගී කරගෙන ශිෂ්‍යයන් මර්දනය කිරීමට උත්සාහ කළ ආණ්ඩුව එය අසාර්ථක වීම නිසා ශිෂ්‍ය මර්දනයට රටේ පොදු නීතිය යොදා ගනිමින් සිටින බවට ශිෂ්‍ය නායකයෝ චෝදනා කරති.

අත් අඩංගුවේ පසුවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර නිදහස් කරන ලෙස රජයට බල කරමින් කොටුව දුම්රිය පොළ ස්ථානය ඉදිරිපිට ශිෂ්‍යයන් සිය ගණනක් සමඟ උද්ඝෝෂණයේ යෙදී සිටි එහි වැඩ බලන කැඳවුම් කරු නජිත් ඉන්දික කියා සිටියේ, නායකයන් සිරගත කොට ශිෂ්‍යයන්ගේ හඬ නතර කළ නොහැකි බව ඉතිහාසයෙන් සනාථ වී තිබෙන බවයි.

"මේ උත්තරීතර නිතිය ක්‍රියාත්මක කිරීමක් නෙවෙයි. මේ නිතිය පාවිච්චි කරලා මර්ධනය කිරීමක්," යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

දැනට අත් අඩංගුවේ පසුවන ශිෂ්‍ය නායක සංජීව බණ්ඩාරගේ ශිෂ්‍ය භාවය රජය විසින් අහෝසි කිරීම නිසා ඔහු තවදුරටත් ශිෂ්‍යයකු නොවන බවට රජය නගන තර්කය, උද්ඝෝෂණයට සහභාගි වී සිටි නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.