ප්‍රගීත් ඉන්නා බව මන්ත්‍රී සනාථ කළේ නෑ - සන්ධ්‍යා

Sandya Eknaligoda after the hearing
ඡායාරූප ශීර්ෂ වැකිය, "අද දවසේ දීපු සාක්ෂිවලිනුත් නිශ්චිත කරුණු එතුමා හෙළි කළේ නැහැ"

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ විදේශගතව වෙසෙන බව සනාථ කිරීමට අධිකරණයේ ඉදිරියේ සාක්ෂි දුන් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අපොහොසත් වූ බව සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි.

ප්‍රගීත් එක්නැලිගොඩ බෙල්ජියමේ වෙසෙන බව විපක්ෂ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති තමන්ට දැනුම් දුන් බවයි, හෝමාගම අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු කියා සිටියේ.

එමෙන්ම ඔහු ප්‍රංශයේ ජීවත්වන බව තමන් සඳහන් කළේ ප්‍රංශයේ වෙසෙන මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන පැවසූ තොරතුරු පදනම් කර ගෙන බව ද ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේය.

එහෙත් ඔහු දන්නා බව පවසන එම කරුණු සම්බන්ධයෙන් විමසීම සඳහා මන්ත්‍රීවරයා කිසිදු විමර්ශන ආයතනයකට කැඳවා නැති අතර, එම කරුණු අදාළ බලධාරීන්ට දැනුම් දීමට මන්ත්‍රීවරයා ද අපොහොසත්ව ඇති බවයි, සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නේ.

"අද දවසේ දීපු සාක්ෂිවලිනුත් නිශ්චිත කරුණු එතුමා හෙළි කළේ නැහැ," යනුවෙන් ද ඇය කියා සිටියාය.

එමෙන්ම තමා විදේශගත වීමෙන් අනතුරුව අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හමු නොවූ බව බීබීසී සංදේශයට කියා සිටි මංජුල වෙඩිවර්ධන, තමා ඔහු හඳුනන නමුත් මන්ත්‍රීවරයා තමාගේ මිතුරකු නොවන බව ද අවධාරණය කරයි.