සිසු ඝාතන නඩුවේ සැකකරුවන් යළි අත්අඩංගුවට

වසර 2006 දී පාසල් සිසුන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මීට පෙර ද මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වුණු නමුත් මෙම සෙබළුන් දොළොස් දෙනා චෝදනාවලින් නිදහස් විණි.
සිසුන් පස් දෙනා අත් බෝම්බයක් දමා ගැසීමට උත්සාහ කිරීමේ දී එය ඔවුන් 'අතේ ම පුපුරා යාම' නිසා මෙම මරණ සිදුවූ බව’යි පෙර පරීක්ෂණයෙන් හෙළිදරව් වී තිබුනේ.
වෙඩි සලකුණු
නමුත් මළ සිරුරුවල වෙඩි සලකුණු ඇති බවට සාක්ෂි ඉදිරිපත් වීමෙන් අනතුරුව ඒ පිළිබඳ ව යළි පරීක්ෂණයක් පවත්වන ලෙසට මානව හිමිකම් සංවිධාන වලින් රජයට බලපෑම් එල්ල විය.

මෙම සිද්ධියෙන් මරණයට පත් එක් සිසුවෙකු වන රාජීහර් ගේ පියා, වෛද්‍ය කාසිපිල්ලෙයි මනෝහරන් කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ යුක්තිය පසිඳලීම පිළිබඳ ව තමා තුළ කිසිදු විශ්වාසයක් නොමැති බවයි.
'ශ්‍රී ලංකාව තුළ මීට පෙර සිදුවූ කිසිදු විමර්ශනයක දී සාධාරණ විනිශ්චයක් ලැබී නැති හෙයින්' තම පුත්‍රයා පිළිබඳව අන්තර් ජාතික පරීක්ෂණයක් ලබා දෙන මෙන් මිය ගිය රජීහර් ශිෂ්‍යයාගේ පියා ඉල්ලීමක් කළේය.
සාධාරණ විනිශ්චයක්
අන්තර් ජාතික මට්ටමින් ඇතිවූ බලපෑම් වලට ප්‍රතිචාරයක් වශයෙන් පමණක් මෙම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව තමාගේ විශ්වාසය බවයි වෛද්‍ය මනෝහරන් කියා සිටින්නේ.
තමා ඇතුළු සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු ම විදේශ ගත වී සිටිය දී සාධාරණ විනිශ්චයක් ශ්‍රී ලංකාව තුළ දී ලබා දිය හැක්කේ කෙසේදැ’යි වෛද්‍ය මනෝහරන් ප්‍රශ්න කර සිටියේය.
ඉහත කී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සහකාර පොලිස් අධිකාරී වරයෙකු සහ කොස්තාපල් වරුන් එකොලොස් දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.








