අඟහරු මත ජීවීන් සෙවීමේ තවත් නාසා ප්‍රයත්නයක්

Image from Curiosity shuttle

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, අඟහරු ලෝකයේ ජීවීන් සිටි බවට ලකුණක් ඇත්දැයි පිරික්සීමයි, මෙම ජංගම විද්‍යාගාරය මගින් සිදු කෙරෙන්නේ

රොබෝ මගින් ක්‍රියාත්මක වන විද්‍යාගාරයක් අඟහරු මත සාර්ථකව ගොඩ බැස්වීමට සමත්වීම සම්බන්ධයෙන් නාසා ඇමෙරිකානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විද්‍යාඥයෝ ප්‍රීතිය පළ කරති.

මෙම ජංගම විද්‍යාගාරය මගින් සිදු කෙරෙන්නේ,අඟහරු ලෝකයේ ජීවීන් සිටි බවට ලකුණක් ඇත්දැයි පිරික්සීම.

පෘථිවියේ සිට ගමන් ආරම්භ කොට මාස නවයකින් අඟහරු කරා ලඟා වූ නාසා විද්‍යාගාරය නම් කරනු ලබා තිබෙන්නේ, කුහුල යන තේරුම දෙන Curiosity යන වචනයෙන් .

විද්‍යාගාරය අඟහරු මත ඇති කුහරයකට ගොඩ බැස්වීමට විනාඩි හතක කාලයක් ගත වුන බවයි වාර්තා කෙරුනේ.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන විද්‍යාඥවරයා නව යානය විග්‍රහ කරන්නේ අඟහරු කරා මෙතෙක් යවන ලද ඉතාම දියුණු නිර්මාණය හැටියටයි.

එය ගොඩ බැස්වීමෙන් මිනිත්තු කීපයක් ඇතුළත අඟහරු පෘෂ්ටයේ පින්තුර එවූ බවයි නාසා ආයතනය පවසන්නේ.

විකිරණ මගින් ක්‍රියාත්මක වන ගවේෂක උපකරණයක්, රොබෝ හස්තයක් සහ ලේසර් කිරණ යොදා ගෙන පස සෑරිය හැකි උපකරණයක් ද නාසා අඟහරු විද්‍යාගාරයට අනුබද්ධ කොට තිබේ.