ශ්‍රී ලංකාවේ ණය බර අඩු කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් චීනයට සහ ඉන්දියාවට ඉල්ලීමක්

Tea pickers

ඡායාරූප මූලාශ්‍රය, Jack Garland

    • Author, බෙන් චූ
    • Role, ආර්ථික සංස්කාරක, නිව්ස්නයිට්

ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය අඩු කිරීමට හැකි ඉක්මනින් එකඟ වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබේ.

අර්බුදයට ලක් වී ඇති ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම පැහැර හැරීම හේතූවෙන් ඩොලර් බිලියන 2.9ක (පවුම් බිලියන 2.4ක) මූල්‍යාධාරයක් ලබාගැනීමට සාකච්ඡා කළේ ය.

එහෙත් ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන ගණනක සමස්ත ණය ප්‍රමාණය අඩු කිරීමට චීනය සහ ඉන්දියාව පළමුව එකඟ වන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම මුදල් නිදහස් නොකරනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා බීබීසී නිව්ස්නයිට් වෙත පැවසුවේ, කඩිනමින් ක්‍රියා කිරීම සියලු පාර්ශවයන්ගේ අභිලාෂය බව ය.

"ඔවුන් ඉක්මනින්ම මූල්‍යමය සහතික ලබා දීම, ණය හිමියෙකු ලෙසත්, ණය ගැතියෙකු ලෙසත් දෙපාර්ශවයට ම යහපත් වේවි." නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය.

"ඒක ඔවුන්ගේ ණය ආපසු ගෙවීම ආරම්භ කරන්න අපට උදව් වේවි," ඔහු පැවසීය.

"දිර්ඝ කාලයක් ණය නොගෙවා, මේ වගේ තත්ත්වයක අපිට ඉන්න ඕනේ නෑ. ඒක අපිට වගේම රටටත් හොඳ නැහැ. ඒක ශ්‍රී ලංකාවේ ආයෝජක විශ්වාසයටත් හොඳ නැහැ."

පසුගිය වසරේ සිට රටේ උද්ධමනය සුළු වශයෙන් පහළ ගොස් ඇතත්, සන්සන්දනාත්මකව බැලු කළ පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ ආහාර මිල ගණන් පෙර වසරට වඩා 65%කින් ඉහළ ගොස් තිබේ.

ලෝක ආහාර වැඩසටහන ඇස්තමේන්තුගත කරන්නේ, ශ්‍රී ලාංකිකයින් මිලියන 8ක් එනම්, ජනගහනයෙන් තුනෙන් එකකට වඩා "ආහාර අනාරක්ෂිතතාවෙන්" පෙළෙන අතර, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල සාගින්නෙන් පීඩා විඳින්නන් ඉහල අගයක් ගන්නා බවකි.

P. Nandalal Weerasinghe

ඡායාරූප මූලාශ්‍රය, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලී චන්ග් පැවස

ඡායාරූප ශීර්ෂ වැකිය, චීනයට සහ ඉන්දියාවට කඩිනමින් ක්‍රියාත්මක වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති පී. නන්දලාල් වීරසිංහ ඉල්ලා සිටියේය.

2022 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 9.2%කින් හැකිලී ගිය අතර එය මේ වසරේ තවත් 4.2%කින් හැකිලෙනු ඇතැයි ලෝක බැංකු වාර්තා ඇස්තමේන්තු ගත කොට තිබේ.

බීජිං විසින් ශ්‍රී ලංකාවට දී ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 7ක් පමණ වන අතර ඉන්දියාවට ඩොලර් බිලියන 1ක් පමණ ශ්‍රී ලංකාව ණය වී තිබේ.

2022 වසර අවසන් වන විට චීනය සහ ඉන්දියාව සමග නව ගෙවීම් සැලැස්මකට එකඟ වීමට ශ්‍රී ලංකා රජය මුලින් බලාපොරොත්තු විය.

ජනවාරි මස අග ගිවිසුමකට එළඹිය හැකි බව කී මහබැංකු අධිපතිවරයා "මේ සියල්ල රඳා පවතින්නේ අනෙක් පාර්ශව මත - අපේ ණය හිමියන්ට ඒ තීරණය ගන්න ඇත්ත වශයෙන්ම සිද්ධ වෙනවා " යැයි පැවසීය.

ඔවුන්ට අවශ්‍යව තුබූ රටේ ණය ගැනීම් පිළිබඳ සියලු තොරතුරු ශ්‍රී ලංකාව මේ වන විට ලබා දී ඇති බව ඔහු සඳහන් කළේ ය.

ස්වාධීන විශ්ලේෂකයින් පවසන්නේ, චීනය සිය 'Belt and Road' වැඩසටහන හරහා අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට පුළුල් ලෙස ණය ලබා දීමට ශ්‍රී ලංකාවේ ණය අඩු කිරීමෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න පිළිබඳව සැලකිලිමත් වන බව ය.

මේ අතර, ඉන්දියාව සිය කලාපීය ප්‍රතිවාදියා වන චීනයට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලිහිල් කොන්දේසි ලැබෙන්නේ දැයි අවධානයෙන් පසුවන බව පැවසෙයි.

The US ambassador to Sri Lanka, Julie Chung

ඡායාරූප මූලාශ්‍රය, Jack Garland

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලී චන්ග් පැවසුවේ, ණය ප්‍රශ්නය විසඳා ගැනීම ප්‍රමාද කිරීම සඳහා ශ්‍රී ලංකාවට කාලයක් නොමැති බව ය

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් පැවසුවේ, විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා ලෙස ක්‍රියාත්මක වීමට චීනයට වැඩි වගකීම පැවරී තිබුණු බවය.

"ශ්‍රී ලංකාවට ප්‍රමාද වෙන්න කාලයක් නැති නිසා ඔවුන් ප්‍රමාද නොවී කටයුතු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට වහා ම මේ සහතික අවශ්‍යයයි." ඇය බීබීසී නිව්ස්නයිට් වෙත පැවසීය.

"ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන්, අපි නිසැකව ම බලාපොරොත්තු වෙනවා ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට එළඹීමේදී චීනය බාධාවක් වෙන එකක් නැහැ කියලා."

නමුත් ඉන්දියාව සහ චීනය අවසානයේදී ශ්‍රී ලංකාවට ඇති ඔවුන්ගේ සමස්ත ණය ප්‍රමාණය අඩු කිරීමට එකඟ වුවහොත්, රටේ විදේශ ණයවලින් 40%කට හිමිකම් කියන පෞද්ගලික ණය හිමියන්ගේ පාර්ශවයෙන් ගැටලුවක් මතු වීමේ හැකියාවක් පවතී.

ආර්ජන්ටිනාව ආර්ථික අර්බුදයකට ඇද වැටී 2001 වසරේදී ණය ගෙවීම් පැහැර හැර වසර කිහිපයකට පසු, ඇතැම් අමෙරිකානු හෙජ් අරමුදල්, ඔවුන් විවෘත වෙළඳපොළෙන් මිල දී ගත් ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමක් පිළිගන්නවා වෙනුවට, සම්පූර්ණ ආපසු ගෙවීමක් ඉල්ලා එය ලබා ගැනීම සඳහා එරට රජය එක්සත් ජනපදයේ අධිකරණයට ගෙන ගියේ ය.

ජනවාරි 8 වන දින ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ බැඳුම්කර "අවලංගු" කරන ලෙස ඉල්ලා සිටියේ: "ශ්‍රී ලංකාවේ සියලුම ණය හිමියන් වත්මන් අර්බුදයෙන් මිදීමට මගක් සැපයීමට ප්‍රමාණවත් ණය අවලංගු කිරීම සහතික කළ යුතු ය" යනුවෙන් කියමිනි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැඳුම්කර හිමියන් පිළිබඳව විමසූ විට කියා සිටියේ "අපි පෞද්ගලික ණය හිමියන් සමග සද්භාවයෙන් සාකච්ඡා කරනවා. අප දකින දේ තමයි ඔවුන් ඉතා ධනාත්මකයි සහ ඔවුන් අපිත් එක්ක කටයුතු කරන්න කැමැත්තෙන් ඉන්නේ." යනුවෙනි.

ද්විපාර්ශ්වික ණය හිමියන් එකඟතාවකට පැමිණි පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් "සති හතරක් හෝ හයක්" ඇතුළත ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය.

අතිරේක වාර්තාකරණය ජැක් ගාර්ලන්ඩ් සහ ස්කාර්ලට් බාර්ටර් විසිනි.