යුක්රේනයේදී රුසියානු ම්ලේච්ඡත්වයෙන් නිදහස් කරගත් ලාංකිකයින් :'අපි හිතුවේ අපිට කවදාවත් පණ පිටින් එළියට එන්න ලැබෙන එකක් නැහැ කියලා'

- Author, සොෆියා බෙටිසා විසිනි
- Role, බීබීසී පුවත් සේවය, කාර්කිව්, යුක්රේනය
යුක්රේනය විසින් අයිසියුම් නගරය නැවත අත්පත් කර ගැනීමත් සමඟ රුසියානු ආක්‍රමණය යටතේ එහි සිදුවී තිබූ ම්ලේච්ඡ ක්‍රියා පිළිඹිබු වී තිබේ. ඒ අතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් මාස ගණනක් සිරකරගෙන සිටි බවට දැන් කරුණු වාර්තා වී තිබේ. එසේ රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ කතාන්දරය අපට කිව්වේ මෙසේයි.
"අපි හිතුවේ අපිට කවදාවත් පණ පිටින් එළියට එන්න ලැබෙන එකක් නැහැ කියලා," දිලුජන් පත්තිනජකන් පවසයි.
මැයි මාසයේදී රුසියානු හමුදා විසින් අල්ලා ගන්නා ලද ශ්‍රී ලාංකිකයන් හත් දෙනාගෙන් දිලුජන් එක් අයෙකි. මෙම කණ්ඩායම ඊසානදිග යුක්රේනයේ කුපියන්ස්ක්හි පිහිටි තම නිවෙස්වලින් කිලෝමීටර් 120ක් පමණ දුරින් පිහිටි කාර්කිව් වෙත විශාල පා ගමනකින් පිටත්ව ගොස් ඇත.
නමුත් ඔවුන්ට හමු වූ පළමු මුරපොලේදී රුසියානු සොල්දාදුවන් විසින් ඔවුන් අල්ලා ගන්නා ලදී. ශ්‍රී ලාංකිකයන්ගේ දෑස් හා දෑත් බැඳ, රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි වොව්චාන්ස්ක් නගරයේ යන්ත්‍ර උපකරණ කම්හලකට රැගෙන ගොස් ඇත.
එය මාස හතරක බියකරු කාලයක ආරම්භය වී ඇති අතර එහිදී ඔවුන් සිරකරුවන් ලෙස තබා ගැනීම, බලහත්කාරයෙන් ශ්‍රමය සඳහා භාවිතා කිරීම සහ වධ හිංසාවලට පවා ලක් ව තිබේ.
අවවාදයයි: සංවේදී පුද්ගලයින්ට පහත කරුණු ආතතිමය විය හැක.
මෙම කණ්ඩායම යුක්රේනයට පැමිණ ඇත්තේ රැකියාවක් සොයා ගැනීමට හෝ ඉගෙනීමටය. ඔවුන්ට සිරකරුවන් ලෙස ඉතා සුළු ආහාර වලින් දිවි ගලවා ගනිමින්, දිනකට විනාඩි දෙකක් පමණක් වැසිකිළිය භාවිතා කිරීමට අවසර ලබමින් ජීවත් වීමට සිදුවිය. ඔවුන්ට ස්නානය කිරීමට අවසර දුන් අවස්ථා වලදී එය ද විනාඩි දෙකකට සීමා විය.
20 හැවිරිදි පිරිමි අය එක් කාමරයක රඳවා තිබුණි. කණ්ඩායමේ සිටි එකම කාන්තාව වන 50 හැවිරිදි මේරි එඩිට් ඌතජ්කුමාර් වෙනම තබා ඇත.

"එයාලා අපිව කාමරයක හිර කළා," ඇය පවසයි. "අපි නාන්න ගියාම අපිට ගැහුවා. මට අනිත් අයව මුණගැහෙන්නවත් දෙන්නේ නැහැ. අපි මාස තුනක් ඇතුළේ හිරවෙලා හිටියා."
මේරිගේ මුහුණේ ශ්‍රී ලංකාවේ කාර් බෝම්බයකින් ඇති වූ කැළැල් දකින්නට ලැබේ. ඇයට හෘදයාබාධ තත්ත්වයක් ද ඇති නමුත් එයට කිසිදු ඖෂධයක් ලැබී තිබුණේ නැත.
තනිව සිටින්නට සිදුවීම ඇයට දැඩි මානසික බලපෑමක් විය.
"තනිකම නිසා මම ගොඩක් කලබල වුණා," ඇය පවසයි. "මට මානසික සෞඛ්‍ය ගැටලු තියෙනවා කියලා එයාලා මට ටැබ්ලට් දුන්නා. ඒත් මම ඒවා ගත්තේ නැහැ."
තවත් අය සතුව ඔවුන්ට සිදුවූ දේවල් පිළිබඳ දෘශ්‍යමාන සාක්ෂි ඉතිරිව ඇත. එක් අයෙකු තම පාවහන් ගලවා ඔහුගේ නියපොතු ගලවා දමා ඇති බව පෙන්වීය. එම වධ හිංසාවට ලක්වූ තවත් අයෙක් පිළිබඳව ද වාර්තා වේ.
කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව පහර දීම ගැන ද කණ්ඩායම අදහස් දැක්වීය. රුසියානු සොල්දාදුවන් බීමත්ව ඔවුන්ට පහර දී තිබුණි.
35 හැවිරිදි තිනේෂ් ගොගෙන්දිරන් පැවසුවේ "එයාලා තුවක්කුවෙන් මට ගොඩක් වතාවක් පහර දුන්නා. මගේ බඩට ගැහුවා. ඒක මට දවස් දෙකක් යනකම් රිදුණා. ඊට පස්සේ මගෙන් සල්ලිත් ඉල්ලුවා."
25 හැවිරිදි දිලුක්ෂාන් රොබට්ක්ලයිව් පැහැදිලි කළේ "අපි ගොඩක් තරහයි, දුකයි - අපි හැමදාම ඇඬුවා.
"අපිව ජීවත් කරවපු එකම දෙය බලාපොරොත්තු - සහ පවුලේ මතකයන්."
රුසියාව සිවිල් වැසියන් ඉලක්ක කිරීම හෝ යුද අපරාධ සිදු කිරීම ප්‍රතික්ෂේප කර ඇතත්, ශ්‍රී ලාංකිකයන්ගේ චෝදනා වලට අමතරව රුසියානු ආක්‍රමණික හමුදාවන් විසින් සිදු කරන ලද සාහසික ක්‍රියා පිළිබඳ තවත් බොහෝ වාර්තා තිබේ.
යුක්රේනය අයිසියුම් අසල වනාන්තරයේ සුසාන භූමියකින් සිරුරු ගොඩගෙන ඇති අතර සමහර ඒවායේ වධහිංසා පැමිණවූ බව සලකුණු දක්නට ලැබේ. එමෙන්ම යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ "කාර්කිව් ප්‍රදේශයේ මුදාගත් ප්‍රදේශවලින්, විවිධ නගරවලින් දැනටමත් වධකාගාර 10කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති" බවයි.

මෙම මස මුලදී යුක්රේන හමුදාව නැගෙනහිර යුක්රේනයේ වොව්චාන්ස්ක් ඇතුළු ප්‍රදේශ යළි අත්පත් කර ගැනීම ආරම්භ කළ අවස්ථාවේ ශ්‍රී ලාංකිකයන් හත්දෙනාට නිදහස ලැබුණි.
නැවත වරක් කාර්කිව් දෙසට පා ගමන ආරම්භ කිරීමට කණ්ඩායමට හැකි විය. දුරකථන නොමැතිව ඔවුන්ට ඔවුන්ගේ පවුල් සම්බන්ධ කර ගැනීමට ක්‍රමයක් නොතිබුණි.
නමුත් අවසානයේදී, ඔවුන්ගේ වාසනාව වෙනස් විය. යමෙකු ඔවුන්ව මඟදී දැක පොලිසියට කතා කළේය. එක් නිලධාරියෙක් තම දුරකථනය ඔවුන්ට ලබා දුන්නේය.
40 හැවිරිදි අයිංකරනාදන් ගනේෂමූර්ති තම බිරිඳ සහ දියණිය වීඩියෝ ඇමතුමකින් දැක, කඳුළු සැලුවේය. තවත් ඇමතුම් ගත් අයට අත් වූයේ එම ඉරණමමය. අවසානයේ පොලිස් ප්‍රධානියා වටා රොක් වූ පිරිස ඔහුව වැළඳ ගත්තේ ය.
පිහිනුම් තටාකයක් සහ ව්‍යායාම මධ්‍යස්ථානයක් සහිත පුනරුත්ථාපන මධ්‍යස්ථානයක නිදා සිටියදී මෙම පිරිස මුදවා ගෙන කාර්කිව් වෙත ගෙන ගොස් ඇති අතර එහිදී ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර සහ නව ඇඳුම් ලබා දුනි.
"දැන් මට හරිම සතුටක් දැනෙනවා" දිලුක්ෂාන් සිනාසෙමින් පවසයි.
යුක්රේනය යුද්ධයෙන් අඩපණ විය හැකි නමුත්, රුසියාව අතින් පීඩාවට පත්වූවන්ට සෙවණ සලසමින්, ඔවුන්ගේ දුක් වේදනා බෙදා ගනිමින් කැපී පෙනෙන බැඳීමක් ඇති කර ගෙන තිබේ.
ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය
බීබීබී සිංහල සේවය විසින් මේ සම්බන්ධව කළ විමසීමකදී විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය කියා සිටියේ මෙම ශ්‍රී ලාංකිකයින් හත් දෙනා නීතිවිරෝධිව යුරෝපයට සංක්‍රමණයවීමට උත්සාහ කළ පිරිසක් බවයි.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම පිරිස පසුගිය මාර්තු මාසයේදී රුසියානු හමුදා ග්‍රහණයට හසුව ඇති බවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය එහිදී පැවසීය.
කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රී ලාංකිකයින් පිරිස යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද, ඔවුන් දැනට යුක්රේන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක රඳවා සිටින බවද අප වෙත ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
රුසියානු සහ යුක්රේන ප්‍රතිචාරය
බීබීබී සිංහල සේවය විසින් කොළඹ පිහිටි ශ්‍රී ලංකා රුසියානු තානාපති කාර්යාලයෙන් සහ නව දිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා යුක්රේන තානාපති කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කරමින් විද්‍යුත් පණිවිඩයක් යොමු කොට ඇති අතර ඔවුන්ගෙන් පිළිතුරු අපේක්ෂාවෙන් පසුවෙයි.






