ආහාර උද්ධමනයෙන් ලොව පෙරට එන ශ්‍රී ලංකාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මහ බංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ ඉදිරියේදී උද්ධමනය පිළිබඳ ධානාත්මක තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි. කෙසේවෙතත් මේවන විට ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම ආහාර උද්ධමනය ඇති රටවල් අතර 5 වැනි ස්ථානයට පත්ව ඇතැයි ලෝක බැංකු වාර්තාවක් අනාවරණය කරයි.
අදාළ වාර්තාවට අනුව, ලොව ඉහළම ආහාර උද්ධමනයක් පවතින්නේ ලෙබනනයේය. සිම්බාබය, වෙනිසියුලාව සහ තුර්කිය පිළිවෙළින් එහි දෙවන, තෙවන හා සිව්වැනි ස්ථාන හිමිකර ගෙන සිටී.
ඒ අනුව ශ්‍රී ලංකාව සිටින්නේ ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව සහ තුර්කියට පිටුපසින් පමණි.
අඩු සහ මධ්‍යම ආදායම් ලබන සෑම රටකම පාහේ ඉහළ ආහාර උද්ධමනයක් පවතින බව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අදාළ වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාව නාමික ආහාර උද්ධමනය 91% (YoY) කි. ලෙබනනය (332%), සිම්බාබ්වය (309%), වෙනිසියුලාව (155%) සහ තුර්කිය (95%) කි.
ශ්‍රී ලංකාවේ පොහොර හිඟය නිසා කෘෂිකාර්මික නිෂ්පාදනය 40% ත් 50% ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇති අතර විදේශ විනිමය හිඟයක් පවතින බැවින් ආහාර ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත. එපමණක් නොව 2022 වසරේ අගෝස්තු 19 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාරේක්‍ෂව සියයට 44.5කින් අවප්‍රමාණය වී ඇති බවට මහ බැංකු දන්ත පෙන්නුම් කරයි.
පොහොර සහ ඉන්ධන හිඟය(ඉඩම් සකස් කිරීම, ප්‍රවාහනය සහ අස්වනු නෙලීමේ කටයුතු සඳහා) ආහාර සැපයුම සීමා කරනු ඇතැයි අපේක්ෂා කරන බව අදාළ වාර්තාවේ දැක්වෙයි.
සැබෑ ආහාර උද්ධමනය (real food inflation) සැලකීමේදී ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාව 4 වන ස්ථානයේ සිටින බව අදාළ වාර්තාව අනාවරණය කරයි.
එහි දැක්වෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන 40%ත් 50%ත් අතර ප්‍රතිශතයකින් අඩුවීම ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය ඉහළ යාමට හේතු වී ඇති බවයි.
පොහොර හිගය හා ආහාර ආනයනය සඳහා විදේශ විනිමය ප්‍රමාණවත් නොවීම ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනයට බලපා ඇතැයි ලෝක බැංකු වාර්තාවේ සඳහන් වෙයි.
ඉන්ධන හිඟය හේතුවෙන් ගොවිතැනට අවශ්‍ය බිම් සැකසීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ .
මේ හේතුවන් ශ්‍රී ලංකාවේ ආහාර සැපයීම තවදුරටත් පහළ යනු ඇති බව ලෝක බැංකුව අනතුරු අඟවයි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද. 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය හෙවත් භාණ්ඩ මිල වැඩිවීමේ වේගය, ජුනි මාසයේ පැවති සියයට 58.9හි සිට ජූලි මාසයේ දී සියයට 66.7ක් දක්වා ඉහළ ගොස් ඇත.
එය ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උද්ධමන අනුපාතයයි.
ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන් වල සිදුවූ මාසික ඉහළ යාම උද්ධමනය ඉහළ යාමට හේතුවී ඇතැයි මහ බැංකුව පෙන්වා දෙයි.
ජූලි මාසය තුළ ආහාර මිල ගණනන් 82.5% කින් ඉහළ ගොස් තිබේ.
ආහාර නොවන භාණ්ඩ හා සේවාවල ජුලි මාසයේ මිල වැඩිවීම 52.4 % කි.කිරිපිටි සහ නැවුම් මාළු බිස්කට් සහ කුකුළු මස් මිල ඉහළයාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි මහ බැංකුව සඳහන් කළේය.
කෙසේ වෙතත් එළවළු පොල් තෙල් සහ පොල් මිල ගණන් වල පහළ යාමක් එම කාලසීමාව තුළ පෙන්නුම් කරයි.
මහ බැංකු අධිපති මොකද කියන්නේ?
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේ "උද්ධමනය 70% ට වඩා ඉහළ ගොස් දෙසැම්බර් මාසය දක්වාම එය ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපි කලින් සිතුවා. නමුත් දැන් මුදල් ප්‍රසාරණය හිමින් සිද්ධ වෙන්නේ. විනිමය අනුපාතිකය ස්ථායි වෙමින් තියෙනවා. මා කලින් සඳහන් කළ පරිදි උද්ධමනය ඉදිරියේදී ධනාත්මක දිශානතියක පවතින්නේ."
උද්ධමනය එලෙස ඉහළ යාමට කරුණු ගණනාවක් හේතු විය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අදූරදර්ශි සහ හදිසි රසායනික පොහොර තහනම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හමුවේ මෙරට කෘෂිකර්මාන්තය විනාශ මුඛයට ගමන් කළ බවට කෘෂිකර්ම විශේෂඥයින් පවසයි.
ආර්ථික විශේෂඥයින් පවසන්නේ නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නොමැතිව ආනයන තහනම් කිරීම, භාණ්ඩ වලට උපරීම මිලක් නියම කිරීම වැනි අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් භාණ්ඩ හා සේවවාන් හී මිලගණන් ඉතාමත් විශාල ලෙස ඉහළ ගිය බවයි.
නිල විදේශ සංචිත ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩු වීම, ඉන්ධන හිඟය හා දෛනික විදුලි කප්පාදුව හේතුවෙන්, මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව තිබේ.
මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඩොලර් බිලියන තුනක ණය පහසුකමක් අපේක්ෂා කරයි.
ඒ සඳහා සාකච්ඡා වට කීපයක් පැවතුනත් මේ දක්වා සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර නොමැත.තවමත් දෙපාර්ශවය අතර මූලික අවශ්‍යතාවය වන නිලධාරි මට්ටමේ එකඟතාවක් පවා ඇතිකර ගැනීමට හැකිවී නොමැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ක්ෂණික ණය පහසුකම් ලබා ගැනීම පිළිබඳව මුලින් සාකච්ඡා වුවත් මේ වන විට වනවිට විස්තීරණ අරමුදල් පහසුකමක් සැපයීම පිළිබඳව සාකච්ඡා කරමින් ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදළේ (IMF) නිලධාරීන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් අතර සාකච්ඡා වටයක් අගෝස්තු 24 වැනිදා කොළඹදී නැවත ආරම්භ විය.
ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට නියෝජිතවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ද සහභාගී විය.
එම සාකච්ඡා අගෝස්තු 31 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කරන බවට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය බවයි.
එනම් ණය ආපසු ගෙවීම පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඉල්ලා තිබේ.
රජය මේ වන විට ජාත්‍යන්තර ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමට අදාළ ක්‍රියාවලිය ආරම්භකර ඇති අතර මේ වන විට චීනය එම ක්‍රියාවලියට එකඟ කරගැනීමට නොහැකිවීම මත ණය තිරසරභාවය පිළිබඳව ප්‍රශ්න මතුවී තිබේ.
ණය සහන පිළිබඳ සිය ස්ථාවරය විශාල ලෙස වෙනස් කරන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ Nikkei Asia සමඟ පසුගිය දා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ණය තිරසරභාවය ඇතිකිරීමට සියලුම ණය හිමියන් සමඟ එකඟත්වයකට එළඹීම සරල කාර්යයක් නොවන බව පිළිගන්නා බවයි.












