පාලන මිල පිළිබඳ ගැසට් නිවේදන අතීසාරයට අමුඩ ගැසීමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශය මඟින් ක්‍රියාත්මක වන පාසල් සිසුන් සඳහා දිවා ආහාර ලබා දිමේ වැඩසටහන සඳහා මෙතෙක් එක් ආහාර වේලක් සඳහා සිසුවෙකුට වෙන් කළ රුපියල් 30ක මුදල ප්‍රමාණවත් නොවන බැවින් 2022 අගෝස්තු 01 වැනිදා සිට එය රුපියල් 60 දක්වා වැඩි කරනු ලැබීය.
එහෙත් මේවන විට බිත්තරයක මිල පවා රුපියල් 60 ඉක්මවා තිබේ. රටේ අඩු ආදයම්ලාභි ජනතාවගෙන් බහුතරයක ආහාර වේලේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලනු ලබන්නේ බිත්තරයි. ඒ අධික ලෙස මිල ඉහළ යාම නිසා මේ වන විට කුකුළු මස් හෝ වෙනත් මස් ජාතියක් තම ආහාර වේලට එක්කරගැනීමට නොහැකි බැවිනි.
බිත්තර මිල ඉහළ යෑම හමුවේ මිල පාලනය සඳහා බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අගොස්තු 19 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත්තේය.
ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43ක් කළ අතර රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45ක් ලෙස රජය නියමකර ඇත.
කුකුළු නිෂ්පාදකයින් පවසන්නේ, කුකුළු ආහාර හා සෙසු අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන පිරිවැය බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"නිෂ්පාදන වියදම ගැන අබමල් රේණුවක්වත් හිතන්නේ නැතිව අමනෝඥ තීන්දුවක් මේ අරන් තියෙන්නේ. බිත්තරය 43ට දෙන්නේ කොහොමද අද අමුද්‍රව්‍ය මිල 400%කින් වැඩි වෙලා," යනුවෙන් නම හෙලිදරව් කිරීමට අකමැතිවූ කුකුළු ගොවිපොළ හිමියෙකු සඳහන් කළේය.
බස්නාහිර පළාත් කුකුළු නිෂ්පාදකයින්ගේ සංගමයේ උප සභාපති රෝහණ ඉඟුරලආරච්චි කියා සිටියේ බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 48 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඔහු කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ රුපියල් 50කටවත් මිල ඉහළ දමන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවයි.
මේ අතර ගැසට් පත්‍රයේ සඳහන් උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කරන්නන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය අද සිට වැටලීම් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
එම අධිකාරිය සඳහන් කළේ දිවයින පුරාම පාහේ එම වැටලීම් ක්‍රියාත්මක බවයි.
ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය කුමක්ද?
වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු කියා සිටියේ, මෙය නිෂ්පාදකයාටත් පාරිභෝගිකයාටත් අසාධාරණයක් වන ක්‍රියාවක් නොවන බවයි.
පාරිභෝගික කටයුතු අධිකාරිය ඉතාම සාධාරණ මිල ගණනය කිරීමක් කර ඇති බව ඔහු සඳහන් කළේය.
ඔහු කියා සිටියේ " මේ අය ඉල්ලීමක් කරලා තියෙනවා පසුගිය කාලේ ඒගොල්ලන්ට පාඩු වුණා. දැන් ඒක පියවගන්න මේ බිත්තර මිල වැඩි කරන්න අවස්ථාව දෙන්න කියලා. ඉතින් ඒක කිසිසේත්ම අපිට අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි."
ආනයනය කිරීමේ සූදානමක් තිබේද?
අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසුවේ "නෑ., එකත් තීන්දු කරන්නේ නිෂ්පාදකයා තමයි. ඒ අය ඒ විදිහට හැසිරෙන්න ගත්තොත් රටේ ජනතාවට අවශ්‍ය කරන බඩු භාණ්ඩ නැති උනොත් හෝ අඩු වුණොත් තමයි අපි බිත්තර සහ කුකුළු මස් ඕන දෙයක් ආනයනය කරන්න කටයුතු කරන්නේ."
අනිසි තොග රැස් කරන බිත්තර නිෂ්පාදකයින්ගේ බිත්තර තොග රාජසන්තක කරන බවද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අවධාරණය කළේය.
ඔහු කියා සිටියේ, බිත්තර සඳහා උපරිම මිල පැනවීමත් සමඟ ඇතැම් වෙළෙන්දන් අනවශ්‍ය ලෙස තොග රැස්කර තබා ගැනීමත්, අලෙවිය සඳහා වෙළෙඳපොලට ඉදිරිපත් නොකිරීමත් මුල් කර ගනිමින් මේ තීරණය ගත් බවයි.
භාණ්ඩයක් හිතාමතා වෙළෙඳපොලට ඉදිරිපත් නොකරන්නේ නම් නීතිමය පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ගැසට් වලින් මිල පාලනය කළ හැකිද?
මේ ගැසට් පත්‍රයක් මඟින් රජය මිල පාලනය කළ පළමු අවස්තාව නොවන අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේද මිල පාලනය සඳහා ගැසට් නිවේදන ගණනාවක් නිකුත් කළත් ඉන් කිසිවක් ප්‍රතිඵලදායක වූයේදැයි යන්න ප්‍රශ්නාර්ථයක් බවට ආර්ථික විශේෂඥයින් පවසයි.
'ජෝතිපාල කැසට් ගහනව වගේ ගෝඨාභය ගැසට් ගහන්නේ' යනුවෙන් පොදු ව්‍යවහාරයේ කතාබහක් පැවතුණේ ද ඔහුගේ පාලන සමයේ නිකුත් කළ ගැසට් නිවේදන හේතුවෙනි.
එම කාලසීමාවේදී සහල්, සීනි, පොල් තෙල්, ගෑස් , සිමෙන්ති, පමණක් නොව පොල් ගෙඩිය සඳහා ද එහි වට ප්‍රමාණය අනුව උපරිම මිල නියම කරමින් ගැසට් නිවේදන නිකුත් කළේය.
එහෙත් ආර්ථික විශේෂඥයින් පවසන්නේ එම ගැසට් නිවේදනවලින් බලොපොරොත්තු වූ පරිදි ප්‍රථිපල නොලැබුණු බැවින් එම ගැසට් නිවේදන හකුලා ගැනීමට සිදු වූ බවයි.
බිත්තර සඳහා උපරිම සිල්ලර මිල නියම කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ අවධාරණය කළේ, "පාලන මිල පිළිබඳ ගැසට් නිවේදනය අපි දකින්නේ අතීසාරයට අමුඩ ගැසීමක් විදිහට."
"බිත්තර මිල වැඩි වීමේ හේතු සාධක කුමක් දැයි සොයා බැලීමේදී සත්ත්ව ආහාරවල මිල පහළ දමන්නේ නැතිව බිත්තරයකට පාලන මිලක් නියම කිරීම ඔලමොට්ටල කමක් නොවේදැයි අපි පාලකයින්ගෙන් අහනවා." යනුවෙන් ඔහු විමසා සිටියේය.
"අපිට සාධාරණ සැකයක් තියෙනවා බිත්තර ලංකාවට ආනයනය කිරීමේ සූදානමක් මත තමයි ප්‍රායෝගික නොවන මෙම ගැසට් පත්‍රය නිකුත් කළේ" රංජිත් විතානගේ පැවසීය.
හොඳ අධ්‍යයනයක් කළ යුතුයි
වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා BBCයට කියා සිටියේ කුකුළු නිෂ්පාදන මිල සම්බන්ධයෙන් හොඳ අධ්‍යයනයක් කළ යුතු බවයි.
"පාලකයෝ තේරුම් ගන්න ඕනේ අපි මේ ඉන්නේ විවෘත ආර්ථිකයක. විවෘත ආර්ථිකයක භාණ්ඩවල මිල තීරණය වන්නේ සාපේක්ෂව ඉල්ලුම් හා සැපයුම් න්‍යාය මත. අපි කියන්නේ අදෘෂ්‍යමාන හස්තයක් විසින් මිල පාලනය කරනවා. ඔය වෙළෙඳපොලට අනිසි ලෙස රාජ්‍ය මැදිහත් වීම සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේ හොඳ සිද්ධාන්තයක් නෙමෙයි."
"මෑත කාලීන ඉතිහාසයේ අපි හාල් මිල පාලනය කරන්න ගිහින් වෙච්ච දේවල් බැලුවම, හැම වෙලාවෙම රජය මිල පාලනය කරන්න ගත්ත උත්සාහයන් අන්තිම අසාර්ථක වෙලා තියෙනවා. ඒකෙන් වෙලා තියෙන්නේ තිබුණ මිලටත් වඩා කළු කඩ මිලක් නිර්මාණය වෙනවා."
"අපි පිලිගන්න ඕනේ මේ වෙලාවේ වෙළෙඳපොල යාන්ත්‍රණය සම්පූර්ණයෙන් කඩා වැටිලා තියෙන්නේ. රටක් බංකොලොත් වෙනකොට ඒකෙ තියෙන එක ලක්ෂණයක් තමා වෙළෙඳපොල කඩා වැටීම," මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
"එතනදී නිෂ්පාදකයෝ වෙන්න පුළුවන් ඕනෑම සමූහයක් එකතුවෙලා ඒකාධිකාරයක් ගොඩනඟා ගන්නවා. ගොඩනඟා ගත්තට පස්සේ ඔවුන්ට පුළුවන් අර වෙළෙඳපොළේ තියෙන සහ රජයේ තියෙන දුර්වලකම හේතු කරගෙන තමන්ට කැමති විදහට වෙළෙඳපොල හසුරුවන්න. ඒක තමා අද බිස්කට් වෙළෙඳපොළේ හරි, සිමෙන්ති වෙළෙඳපොළේ හරි අපි දකින්නේ," මහාචාර්යවරයා පැවසීය.
"බිත්තර නිෂ්පදකයින්ටත් ඔය දේ පොදුයි. වෙළෙඳපොළ ඔවුන් හසුරුවනවා. අපි ඔය දෙකම සැලකිල්ලට අරන් බලන්න ඕනේ. මේක කෘතිමව කරන මැදිහත් වීමක්ද? කියලා . එවැනි මැදිහත් වීමක් නම් පාරිභෝගික කටයුතු අධිකාරිය හෝ රාජ්‍ය යාන්ත්‍රණය මැදිහත් වීම සාධාරණීකරණය කරන්න පුළුවන්."
මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සඳහන් කළේ, "හැබැයි ඇත්තටම ඔවුන්ට ප්‍රශ්නයක් තියෙනවද, අපි දන්නවා මේ වෙලාවේ තෙල් පිළිබඳ ප්‍රශ්න තියෙනවා, කුකුළු ආහාර පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, මේ ඔක්කොම ප්‍රශ්න තියෙද්දි සියල්ල අමතක කරලා එක පාර ඉරක් ගහලා, මේක මිල කියලා තීරණය කරන්න ගියොත් ඒකෙන් වෙන්න පුළුවන් වෙන්නේ බිත්තර නිෂ්පාදකයෝ තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඈත්වෙලා වෙළෙදපොලට සපයන බිත්තර ප්‍රමාණය තවදුරටත් සීමා කළොත් ඒකෙන් මේ තිබිච්ච මිල තවදුරටත් වැඩි වෙන්න පුලුවන්."
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ "මේකෙන් පීඩාවට ලක්වෙන්නේ ජනතාව. අඩු අදායම් ලාභින්ගේ මන්දපෝෂණය තවදුරටත් වැඩි වෙන්න පුළුවන්."
පාලන මිලෙන් පාරිභෝගිකයාට සහනයක් ලැබුණාද?
බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළත් වෙළෙන්දන් ප්‍රකාශ කළේ එම මිල ගණන්වලට බිත්තර අලෙවි කළ නොහැකි බවයි.
"කඩේකට ඇවිල්ල බන්නකෝ මේ ඇමතිලා පාලන මිලක් තියෙනවද කියලා." පාරිභෝගිකයෙකු වන තුෂාන් ගුණරත්න තලාවතුගොඩදී බීබීසී සිංහල සේවය සමඟ සඳහන් කළේය.
තවත් අයෙකු සඳහන් කළේ "බිත්තරයක් 60යි, 62යි පාලන මිලට ගන්න බිත්තර කඩේ ගන්න නැහැ."
කෙසේවෙතත් වෙළෙඳපොළේ සැරි සැරීමේදී ඇතම් වෙළෙඳසැල්වල පාලන මිලට බිත්තර අලෙවි කරන අයුරු දක්නට ලැබෙන අතර ඇතැම් වෙළෙඳ සැල්වල බිත්තර අලෙවි කෙරෙන්නේ නැත.
බිත්තර මිලට අමතරව වෙළෙඳපොළේ කුකුළු මස් කිලෝග්‍රෑම් එකක සිල්ලර මිල ද රුපියල් 1400 ඉක්මවා ඇත.
සමස්ත ලංකා කුකුළු මස් නිෂ්පාදන ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර කියා සිටියේ අවශ්‍ය පහසුකම් සැලසීමට රජය පියවර ගන්නේ නම්, ඉදිරියේදී කුකුළු මස් මිල අඩු කිරීමට පියවර ගන්නා බවයි.
මාළු මිලත් ඉහළ යන ලකුණු
අගෝස්තු (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් ලීටරයක මිල සියයට 290 කින් එනම් රුපියල් 253 කින් ඉහළ නංවා ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේය.
ඒ අනුව නව මිල රුපියල් 340 කි.
මෙතෙක් භූමිතෙල් ලීටරයක් අලෙවි වුයේ රුපියල් 87කටය.
ඒ අනුව භූමි තෙල් සඳහා මෙම මිල වැඩි කිරීම වාර්තාගත මිල ඉහළ දැමීමකි.
භූමිතෙල් මිල ඉහළ දැමීමේ වැඩිම බලපෑමක් එල්ලවන්නේ ධීවරයින්ට සහ නාගරිකව වෙසෙන දිලිඳු ජනතාවට බවට ආර්ථික විශේෂඥයින් විසින් පවසයි.
භූමිතෙල් නොමැති වීම හේතුවෙන් සිය ජීවිකාව කර ගැනීමට නොහැකි ව ධීවරයින් විශාල පිරිසක් පසුගිය කාලසීමාවේ මුහුදු යාමෙන් වැලකී සිටි අතර මේ හේතුවෙන් මාළු මිල ගණන්ද සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
භූමිතෙල් මිල මෙලෙස වාර්තාගත අගයකින් ඉහළ දැමීමට සාපෙක්ෂව වෙළෙඳපොළේ මාළු මිල ගණන්ද තවදුරටත් ඉහළ යනු ඇතැයි වෙළෙඳපොල විශ්ලේෂකයින් විසින් අනාවරණය කළේය.
මේවින විට සුපිරි වෙළෙඳ සැල්වල කොප්පරා තලපත් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 2950ක් වන අතර කෙලවල්ලා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 3350 දක්වා ඉහළ ගොස් ඇත.
හුරුල්ලා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 2520කටද, සූඩයා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 790කට ද අලෙවි වෙයි.
තෝර මාළු කිලෝ ග්‍රෑම් එකක් මිල රුපියල් 5600 ඉක්මවා තිබේ.
මේවන විට ටින්මාළු මිලද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර ග්‍රෑම් 425ක ටින් මාළු ටින් එකක් රුපියල් 875 ත් රුපියල් 910ත් අතර මිල කට අලෙවි වෙයි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ජුනි මාසයේ පැවති සියයට 54.6හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 60.8ක් දක්වා ඉහළ ගිය බවට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්නුම් කරයි.
වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර නොවන සහ ආහාර කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු වී ඇති බවට මහ බැංකුව පවසයි.
ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජුනි මාසයේ පැවති සියයට 80.1හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 90.9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජුනි මාසයේ පැවති සියයට 42.4හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 46.5 දක්වා ඉහළ ගොස් ඇති බවට මහ බැංකුව පවසයි.













