ශ්‍රී ලංකාව: තේ දළු නෙළන්නියන් හා වගාකරුවන් ජීවන අරගලයක

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සශ්‍රීක තේ වතුවලින් නෙළාගන්නා තේ කොළ ලොව වටා තේ කෝප්ප තුළ රසවත් පානයන් බවට පත්වෙයි.
තේ, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන බෝගය වන අතර සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන 1කට වඩා වැඩි ආදායමක් ගෙනඑයි. නමුත් වත්මන් ආර්ථික අර්බුදයෙන් තේ කර්මාන්තය දැඩිසේ පීඩාවට පත්ව තිබේ.
ශ්‍රී ලංකා තේ වැඩි වශයෙන් වගාකරනු ලබන්නේ කුඩා තේ වතු හිමියන් විසිනි. කඩුගන්නාවට ආසන්නයෙන් අක්කර දෙකක තේ ඉඩමක් හිමි එවන් වගාකරුවෙකු වන රොහාන් තිලක් ගුරුසිංහ අප සමග අදහස් බෙදාගත්තේ ය.
නමුත් පසුගිය වසරේ රසායනික පොහොර තහනම් කිරීමට රජයගත් නොසැලකිලිමත් සහ හදිසි තීරණය නිසා ඔහු දැඩි බලපෑමට ලක්ව සිටියි.
"මගේ අතේ සල්ලි නැහැ," ඔහු බලාපොරොත්තු සුන්වූ ලෙස BBC වෙත පවසයි. "පොහොරවත්, තෙල්වත් නැතුව මට මගේ ව්‍යාපාරයේ අනාගතය ගැන හිතාගන්නවත් බැහැ."
බලයෙන් පහකෙරුණු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් පහළ යමින් පැවති විදේශ සංචිත ආරක්ෂා කිරීමේ උත්සාහයක් ලෙස ක්‍රියාත්මක කරන ලද පොහොර තහනම නිසා කෘෂිකාර්මික නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. එය ඔහු ගත් විනාශකාරී තීරණ ගණනාවකින් එකකි.
පසුව එම තහනම ඉවත් කරන ලද නමුත් මේ වන විට පොහොර මිල විශාල වශයෙන් ඉහළගොස් තිබේ. ඒ අතරේ ප්‍රමාණවත් ලෙස පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීමට පවා රජය අපොහොසත්ව සිටියි.
ගුරුසිංහ වැනි වගාකරුවන් තේ කොළ සැකසීම සඳහා කර්මාන්තශාලා වෙත තේ දළු යවන්නේ ලොරි රථ මඟිනි. එහෙත් ඉන්ධන අර්බුදය නිසා මෙම ප්‍රවාහන මාධ්‍ය කලට වේලාවට නොපැමිණෙන බැවින් තේ කොළ වියළී, ගුණාත්මකභාවය අඩුවීමට හේතු වේ.
"අපේ මූලික අවශ්‍යතා ටික දෙන්නවත් අපේ පාලකයන්ට ඕනකමක් නැහැ," ඔහු BBCයට පවසයි.
"එයාලා තමයි අපිව ණය කරලා තියෙන්නේ. ඩොලර් හොරකම් කරලා, ඕන ඕන විදියට වියදම් කරලා. දැන් ලංකාව මුහුදේ අතරමං වෙච්ච නැවක් වගේ."

කොළඹ පමණක් නොව, දිවයින පුරාම දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබේ.
දිවයිනේ සංචාරක කර්මාන්තය කොවිඩ්-19 වසංගතයේ බලපෑම නිසා අඩාල වූ අතර, රජයේ අත්තනෝමතික තීරණ සමග ඇරඹෙන්නට පටන්ගත් ආර්ථික අර්බුදය නිසාවෙන් මහජනතාව ජනාධිපතිට එරෙහිව උද්ඝෝෂණය කර, ඔහු ඉල්ලා අස්වන තැනට පත්කළෝ ය.
ගෝඨාභයගේ අනුප්‍රාප්තිකයා ලෙස පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කළ දේශපාලනඥයා වන්නේ රනිල් වික්‍රමසිංහ යි. තමා ඔහු ද පිළිනොගන්නා බව විරෝධතාකරුවන් පෙන්වා දී තිබේ.
විචාරකයන් දකින්නේ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ පරම්පරාවට ඉතා සමීප පුද්ගලයෙකු ලෙස ය. සය වතාවක් අගමැතිවරයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු විරෝධතාකරුවන් ඉල්ලනු ලබන වෙනස නියෝජනය කරන්නෙකු නොවේ.
කෙසේ වෙතත්, තවදුරටත් පවතින දේශපාලන අස්ථාවරත්වය නිසා ආර්ථික අර්බුදය විසඳීම වඩාත් අභියෝගාත්මක වනු ඇත.
තේ කම්හල් හිමියන් අතර ඇත්තේ ද දැඩි කලකිරීමකි. තේ අපනයනය වටිනා ඩොලර් මූලාශ්‍රයක් වන අතර, තේ කර්මාන්තයේ මිලියන දෙකක පමණ පිරිසක් සේවය කරන නමුත් නිෂ්පාදන ප්‍රමාණය පහත වැටී ඇත.
මීසාන් මොහිදීන් අංකුඹුරේ විශාල තේ වත්තක සහ කර්මාන්තශාලාවක ප්‍රධානියා ය. "ඉන්ධන නැති නිසා අපට වැඩකරගන්න අමාරු යි. මෙහෙම ගියොත් අපිට ඔක්කොම ෆැක්ටරි වහලා දාන්න වේවි," ඔහු BBC වෙත පැවසීය.
"සාමාන්‍යයෙන් අපේ ලොරි 20ක් විතර දුවනවා. දැන් දුවන්නේ අට යි. ඒ වගේම කරන්ට් කපන එක නිසා වැහිලා ගියපු කර්මාන්තශාලා තියෙනවා. ඒවා වැඩ කරන්නේ සතියට දවස් තුන හතර යි."

මොහිදීන්ගේ කම්හල එහි විශාලත්වය නිසා පුද්ගලික ආනයනකරුවෙකු හරහා ඉන්ධන ලබාගැනීමට සමත්වූ නමුත්, ඒ වන තෙක් ක්‍රියාත්මක වී තිබුණේ අඩු දින ගණනකි.
අනෙකුත් කුඩා කර්මාන්තශාලා ඊට වඩා පීඩනයකට පත්ව තිබේ. නමුත් මේ අර්බුදයෙන් වැඩිපුරම පීඩා විඳින්නේ දුප්පත් ජනතාව යි.
දැඩි හිරු රශ්මිය යටතේ ඉණ වටා බැඳගත් ගෝනියකට ළා තේ දළු නෙළමින් දවස පුරා වෙහෙසෙන තේ දළු නෙළන්නියන්ට සාමාන්‍යයෙන් ලැබෙන්නේ ඉතා සුළු වැටුපකි.
නමුත් ශ්‍රී ලංකාවේ ආහාර ද්‍රව්‍ය මිල අහස උසට නැග තිබේ. පසුගිය වසර හා සසඳන විට ජුනි මාසයේ උද්ධමනය 50%කටත් වඩා වැඩි විය.
මොහිදීන්ගේ වත්තේ තේ දළු නෙළන්නියෝ තේ දළුවල බර කිරීම සඳහා තමා වෙසෙන යටත් විජිත සමයේ "ලැයින් කාමර" ආසන්නයට රැගෙන යන ගමනේ දී, තමා මුහුණදී සිටින දුෂ්කරතාව ගැන අදහස් දැක්වූහ.
"ඉස්සර අපි මොකක්හරි කරගත්තා, ඒත් දැන් මිල දෙගුණයකට වඩා වැඩි වෙලා," නාගේෂ්වරී පවසයි. "අපේ දවසේ වියදම කන්න බොන්නම වියදම් වෙනවා."
"අපි දැන් දවල්ට කන්නෙ නෑ," පංචවර්ණී කියයි. "අපි 10ට විතර එකපාරක් කනවා. ආයෙ කන්නේ හවස් වරුවේ."
වැඩි වශයෙන් ඉන්ධන ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ද සාකච්ඡා කරමින් සිටියි. නමුත්, කවුරුන් රට භාරගත්ත ද, මෙම ජීවන දුෂ්කරතාව දිගටම පවතින බව නම් පැහැදිලි ය.












