කාබනික පොහොරින් වගා කළ වී ගොවීන්ට වන්දි - එළවළු ගොවීන් ද වන්දි ඉල්ලයි

ඡායාරූප මූලාශ්‍රය, Mahindananda Aluthgamage/Facebook
කාබනික පොහොර භාවිතයෙන් මහ කන්නයේ වී වගා කළ සියලු ගොවීන්ට වන්දි ගෙවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්නද අළුත්ගමගේ නිවේදනය කළේ ය.
කෙසේවෙතත් විවේචකයින් පෙන්වා දෙන්නේ රජයේ කාබනික කෘෂිකර්ම වැඩසටහන "නටපු තොවිලෙකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ" තත්ත්වයට පත්ව ඇති බවයි .
වගා හානි වූ වී ගොවීන්ට වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 40,000ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්නද අළුත්ගමගේ පැවසිය ඔහු පවසන්නේ වී ගොවින් සඳහා පමණක් මෙම වගා හානි වෙනුවෙන් වන්දි ගෙවන බවයි.
වගා හානි හේතුවෙන් පීඩාවට පත්ව සිටින කුඩා තේ වතු හිමියන් සහ එළවළු ගොවීන් ද දැන් රජයට බලකර සිටින්නේ, තම වගාවට ද හානි වී ඇති බැවින් වන්දි ලබාදෙන ලෙස යි.
"ඉල්ලන් කෑව වගේ වැඩක්"
පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පවසා සිටියේ, මෙරට ප්‍රධාන අහාරය වන බත නිපදවීමට තර්ජනයක් ඇතිකර සහල් පිටරටින් ගෙන එන තත්ත්වයකට පත් කිරීම ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් බව යි.
"අපි මේ ඉල්ලන් කෑව වගේ වැඩක්නෙ කරගෙන තියෙන්නේ. අපි නිදහස ලබලා දශක හතකටත් එහා නැඟගෙන ආපු කෘෂිකර්මය ආපස්සට හරවලා, එයින් වෙන පාඩුවට ගොවීන්ට වන්දිත් ගෙවලා, ලංකාවේ ප්‍රධාන ආහාරය වන බත නිපදවීමටත් තර්ජනයක් ඇති කරලා, ඒකත් පිටරටින් ගෙන තත්ත්වයකට පත් කරපු එක හරිම අවාසනාවන්ත සිද්ධියක්. 1940 අපේ මිලියන හයක් වෙච්ච ජනහගනයකට අවශ්‍ය 60%ක් ආහාර මියන්මාරයෙන් ගෙන්වලා තියෙනවා, ඒ දවස්වල. මීට අවුරුදු 82කට කලින්. දැන් ඊට අවුරුදු 82කට පස්සේ අපි නැවත සහල් ගෙන්වන්න යනවා," මහාචාර්යවරයා පැවසුවේ ය.
මෙරට වර්ෂිකව සහල් අවශ්‍යතාවය ටොන් ලක්ෂ 23- 24ක ප්‍රමාණයකි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරමේ පෙන්වා දෙන්නේ ජනවාරි මස10 වැනිදා සහල් ටොන් ලක්ෂ තුනක් ආනයනයට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව යි.
"අපිට ලැබුණා හෝ නැතා අපේ වෙළඳ අමාත්‍යවරයා ඊට අමතරව සහල් ටොන් මිලියනයක ආධාරයක් බලා පොරොත්තු වෙනවා චීනයෙන්. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 13ක්. අපේ රටට වාර්ෂිකව අවශ්‍ය වෙන්නේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 23, 24ක ප්‍රමාණයක්. ඒ කියන්නේ රටේ අවශ්‍යතාවෙන් 50%කටත් වැඩිය පිටින් ගෙන්වන තත්ත්වයට අපේ කෘෂි කර්මාන්තය ඇදලා දාල තියෙන්නේ. ඕක තමා අවාසනාවන්ත තත්ත්වය," ඔහු පවසා සිටියේ ය.
චීන හාල් කෑවොත් ලංකාවේ වකුගඩු රෝගය 18 ගුණයකින් වැඩිවෙයි?
චීනයෙන් සහල් ගෙන්වීමේ තීරණය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වූ රෝහණ පුෂ්පකුමාර තම මුහුනුපොතේ සටහනක් තබමින්, චීන හාල් පරිභෝජනයෙන් "ලංකාවේ වකුගඩු රෝගය18 ගුණයකින් වැඩි වෙයි ද?" යනුවෙන් ප්‍රශ්නකර සිටියේ ය.
"වකුගඩු රෝගයට එකම හේතුව රසායනික පොහොර සහ රසායනික පළිබෝධනාශක භාවිතා කරමින් වගා කරනු ලබන කෘෂි නිෂ්පාදන අනුභව කිරීම බව," ප්‍රකාශ කරමින් ඇතැම් වෛද්‍යවරුන් සහ වෛද්‍ය සංගම් ශ්‍රී ලංකාවට රසායනික පොහොර සහ පළිබෝධ නාශක ගෙන්වීම තහනම් කිරීමට දායක වූ බව ඔහුගේ පෝස්ටුවේ දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Rohana Pushpakumara/Facebook
ඔහු ප්‍රකාශ කරන්නේ චීනය ඉඩම් හෙක්ටයාරයකට භාවිතා කරන රසායනික පළිබෝධනාශක භාවිතය ශ්‍රී ලංකාවට වඩා දහඅට ගුණයකින් ද, චීනයේ රසායනික පොහොර භාවිතය තුන්ගුණයකින් ද වැඩි බව යි.
"එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානයේ (FAO) 2018 වසරට අදාල දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ, වගා කළ හැකි ඉඩම් හෙක්ටයාර් එකකට, භාවිතා කර ඇති රසායනික පළිබෝධ නාශක ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 0.7 කි. හෙක්ටයාර එකකට භාවිතා කර ඇති රසායනික පෝර ප්‍රමාණය කිලෝග්‍රෑම් 138 කි."
"චිනයේ හෙක්ටයාර් එකකට භාවිතා කර ඇති රසායනික පළිබෝධ නාශක ප්‍රමාණය කිලෝග්‍රෑම් 13.1 කි. එසේම හෙක්ටයාර් එකකට භාවිතා කර ඇති රසායනික පොහොර ප්‍රමාණය කිලෝග්‍රැම් 393.3 කි."
"චීනයේ, රසායනික පළිබෝධනාශක භාවිතය, ශ්‍රී ලංකාවට වඩා 18 ගුණයකින් ද, රසායනික පොහොර භාවිතය තුන් ගුණයකින් ද වැඩිය," යනුවෙන් ඔහු පැවසීය.
"අන්න, දැන් චීනයෙන් හාල් ගේන්නයි යන්නේ, ඔබතුමාලා පෙන්වා දුන් ආකාරයට මේ හාල් කෑවොත් ලංකාවේ වකුගඩු රෝගය 18 ගුණයකින් වැඩි වෙයි ද?," යනුවෙන් ඔහු ප්‍රශ්න කර සිටියේය.
චීනයෙන් සහල් ආනයනයට සූදානමක් පවතින බැවින් මෙම පෝස්ටුව පළකර ඇතිබව ඔහු එහි සඳහන් කර ඇත.
මේ අතර, චීනයෙන් ගෙන්වනු ලබන සහල් කාබනික පොහොර භාවිතයෙන් කළ නිෂ්පාදනදැ යි සහතික කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහපෙරුම ජනවාරි 25 වැනිදා පැවති කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ප්‍රකාශ කර සිටියේ ය.
"පඹයො කොච්චර පිච්චුවත්, කෙතරම් පහර ගැසුවත්," කාබනික පොහොර ප්‍රතිපත්තිය වෙනුවෙන් තමා සිටගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ එහිදී අවධාරණය කළේ ය.
ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, "වසවිසෙන් තොර ආහාර වේලක් ලබා දෙන්න යි අපි උත්සහ කළේ," යනුවෙනි.
සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මෙසේ පවසා සිටියේ ය: "වසවිසෙන් තොර ආහාර වේලක් දෙනවා කියලානේ කිව්වේ. වසවිසෙන් තොර ආහාර වේලක් දෙන්න යන්නේ චීනයෙන් හාල් ගෙනල්ලා."
ඔහු පවසා සිටියේ කෘෂිකර්මාන්තයේ දී චීනය, ශ්‍රී ලංකාවට වඩා තුන් හතර ගුණයකින් යූරියා භාවිත කරන රටක් බව යි. මියන්මාරයේ ඊටත් වඩා යූරියා භාවිත කරන බව ඔහු සඳහන් කළේ ය. එවැනි රටවලින් ගෙන්වන සහල් වස විසෙන් තොරදැ යි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ ය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
යල කන්නයට මොකද වෙන්නේ? වර්ෂය පුරා සහල් ගෙන්වීමේ සූදානමක්
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මාරඹේ පවසන්නේ රජය මේ වර්ෂය පුරා සහල් ගෙන්වීමේ සූදානමක් ඇති බව යි.
"විද්‍යාඥයෝ ගිය අවුරුද්දේ ගණන් හදලා කිව්වා අපි දිගටම මේ ප්‍රතිපත්තිය මත පිහිටුවලා වැඩ කරන්න ගියොත් 2022 හාල් ටොන් ලක්ෂ 8-10ක් විතර ගේන්න වෙයි කියලා, විද්‍යාත්මක පසුබිමක ඉඳලා තමා විද්‍යාඥයෝ කිව්වේ. නමුත් අද යල කන්නය පෙනි පෙනී, පටන් ගන්නත් කලින් යල කන්නයෙන් වන හානියටත් එක්කම වර්ෂය පුරාවටම සහල් ගෙන්වීමේ උත්සාහයක් ඇති බව දැන් හොඳටම පැහැදිලි යි."
"එක එක මති මතාන්දර, මිත්‍යාවන් පස්සේ යන්නැතිව විද්‍යාත්මක පදනමක් මත තීරණ අරන් ගියොත් අපේ කෘෂි කර්මාන්තය වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්නට පුළුවන්. හැබැයි ඒවා අමතක කරලා නැවත වතාවක් කේවට්ට උපදෙස් මත ඉස්සරට යන්න ගියොත් අපිට ගොඩනැඟෙන්න දරන්න ඕන වෙහෙස අනාගතයේ දී ගොඩක් වැඩි වෙනවා. අපි දැන්වත් මේක නවත්ත ගන්න එක තමා හොඳම දෙය," ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ප්‍රකාශ කළේ ය.
"ගොවියා කියන්නේ හැම පැත්තෙන්ම තැලෙන ජාතියක්. අපි මේගොල්ලන්ව ගොවිතැනෙන් එළවන්න නෙමේ ඕනේ. ගොවිතැනෙන් මීට වඩා සාර්ථක වෙච්ච හොඳ අඩිතාලමක් සකස්කරපු තැනක ජීවත්වෙන්න ඉඩයි තියන්න ඕනේ," ඔහු පැවසුවේ ය.
වන්දි වී ගොවීන්ට පමණ යි
මෙවර මහ කන්නයේ වී වගාකළ කුඹුර ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර් අටලක්ෂයකි. කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ, මහ කන්නයේ අස්වැන්න පිළිබඳ මේ වන විට නිරීක්ෂණය කරමින් සිටින බව යි. ඒ සඳහා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු කරමින් සිටිතැ යි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
කෙසේ වෙතත්, දැනටමත් දිස්ත්‍රික්ක රැසක ගොවීන් මැසිවිලි නඟන්නේ මහකන්නයේ තමන්ට සාර්ථක වී අස්වැන්නක් නොලැබුණු බවට යි.
මහකන්නයේ වී වගාකළ සියලු ගොවීන්ට අනිවාර්යෙන් වන්දි ලබා දෙන බව ජනවාරි 25 වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පවසා සිටි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ඒ සඳහා රුපියල් මිලියන 40,000ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ප්‍රකාශ කළේ ය.
වන්දි ලබා දෙනු ලබන්නේ වී ගොවීන් සඳහා පමණක් බව ද අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Agriculture Sri Lanka
පසුගිය දා කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය ගාල්ලේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ, කුඹුරු වගාව හා ඒ ආශ්‍රිත ගොවියන්ගේ වගා හානි සම්බන්ධයෙන් වන්දි ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යවරයා ගත් පියවර අගය කරන බව යි.
රසායනික පොහොර නැවැත්වීම නිසා දිවයින පුරා සිටින කුඩා තේ වතු හිමියන්ට ද දැඩි බලපෑමක් ඇති වී තිබෙන බව කුඩා තේවතු හිමියෝ ද පෙන්වා දෙති.
"කොහොමද ඒ බලපෑම කියනවා නම්, අක්කරයකට අපි උදාහරණ වශයෙන් ගත්තොත් දළු කිලෝ පන්සීයක් කඩනවා කියලා, දැන් ඒ මිනිස්සුන්ගේ ආදායම දළු කිලෝ 250 දක්වා අඩු වුණා. අපි හිතමු දළු කිලෝග්‍රෑම් එකකට රුපියල් 100 යි ලැබෙන්නේ කියලා, පහතරට සාමාන්‍යයෙන් රුපියල් සීයක මිලක් තියෙන්නෙ. රුපියල් 50,000ක ආදායමක් ලබපු කුඩා තේ වතු හිමියා දැන් ලබන්න රුපියල් 25,000ක ආදායමක්."
කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය රජයෙන් ප්‍රශ්න කර සිටින්නේ, කුඩා තේ වතු හිමියන් වෙනුවෙන් ගන්නා තීන්දුව කුමක් ද යන්න පිළිබඳව යි.
මේ අතර, වී ගොවියාට ලබාදෙන වන්දි මුදල එළවළු ගොවියාට ද ලබාදෙන ලෙස එම ගොවීහූ රජයෙන් ඉල්ලා සිටිති. වී ගොවියන්ට පමණක් වන්දි ලබා දෙන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා කළ ප්‍රකාශයට උඩරට එළවළු ගොවීහූ පසුගිය දා සිය විරෝධය පළ කළහ.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිත් ඉල්ලා අස්වෙයි
මෙතෙක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිධුරය දැරූ නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා, එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු පවසා සිටින්නේ, තවදුරටත් සිතට එකඟව ආයනතයේ රැඳී සිටීමට නොහැකි නිසා තමන් ධුරයෙන් ඉල්ලා අස්වූ බව යි.
ඉල්ලා අස්වීමේ ලිපිය කෘෂිකර්ම අමාත්‍යවරයාට හා අමාත්‍යංශ ලේකම්වරයාට භාරදුන් බව ද ඔහු සඳහන් කළේ ය.









