රසායනික පොහොර තහනමත් රිවස්; ගෙන්වා විකිණීමට පෞද්ගලික අංශයට ඉඩ

රසායනික පොහොර, කෘමිනාශක, හා වල්නාශක ආනයනය කිරීමට අද (නොවැ. 24) සිට අවසර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.
ඔහු වැඩි දුරටත් පවසා සිටියේ, මීට අදාලව මින් පෙර නිකුත් කළ ගැසට් නිවේදනය ද අවලංගු කළ බව යි.
ජනතාවට සංවේදී ආණ්ඩුවක් ලෙස, පලිබෝධනාශක, දිලීර නාශක, වල් නාශක ඇතුළු රසායනික සම්පූර්ණයෙන් ආනයනය තහනම් කරමින් 2021 අප්‍රේල් 27 දා නිකුත් කළ ගැසට් නිවේදනය අද සිට ඉවත් කළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කර විවෘත වෙළෙඳපොලේ විකීණීමට අවස්ථාව ලබා දී ඇත.
රජයේ පොහොර සහනාධාරය, අවශ්‍ය බීජ ලබාදීම, වී සඳහා සහතික මිල, තාක්ෂණය, වෙළෙඳපොල ආදී සියල්ල හරිත කෘෂි කර්මාන්තයට ලබාදෙන බව ද ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් නොමැති බවත්, රජයේ ප්‍රතිපත්තිය හරිත කෘෂී කර්මාන්තය බවත් අමාත්‍යවරයා අවධාරණය කර පැවසුවේ හරිත කෘෂි කර්මාන්තයට සහනාධාර ලබා දෙන බවයි.
කෙසේ නමුත්, මෙම නව තීරණය අමත්‍යවරයා ප්‍රකාශයට පත්කරන්නේ වසර හතක් තිස්සේ තහනමට ලක්ව තිබූ ග්ලයිපොසේට් ඇතුළු පළිබෝධනාශක වර්ග පහක තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කිරීමෙන් දිනකට පසුවයි.
පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා නොවැම්බර් 22 දා ග්ලයිපොසෙට් ඇතුළු පළිබෝධනාශක 5ක් භාවිතය, විකිණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් පත්රය අවලංගු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙන් අමාත්‍ය අලුත්ගමගේ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා තනතුරින් ඉවත්කර විනයපරික්ෂන්යක් ආරම්භ කරන ලදී.
එම තීරණය ප්‍රකාශ කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නොවැම්බර් 23 දා පැවසුවේ තහනම් කර ඇති පළිබෝධනාශකවල තහනම තවදුරටත් ක්‍රියාත්මක බවත් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා නිකුත් කළ 2021.11.01 දිනැති ගැසට් නිවේදනය බල රහිත කරන බව ද, ඔහුට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් පවත්වන බව ද අමාත්‍යවරයා නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.
එහෙත් දිනකට පසුව එම තීරණය වෙනස් කිරීමට හේතුව දැනගැනීමට බීබීසී සිංහල සේවය අමාතයවරයා ඇමතීමට උත්සහකලද අමාත්‍යවරයාව දුරකතනයට සම්බන්ධ කරගැනීමට නොහැකි විය.
ග්ලයිෆොසෙට් ඇතුලු පලිබෝධනාශක 05ක තහනම ඉවතට.
ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධ නාශක 5 ක් භාවිතය සහ විකීණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නොවැම්බර් 22 දා නිකුත් නිකුත් කෙරිණ.
ඒ, පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්, ආචාර්ය ජේ. ඒ. සුමිත්ගේ අත්සනින් යුතුවයි.

2014 වසරේ දෙසැම්බර් 22 වැනිදා නිකුත් කළ අදාළ ගැසට් නිවේදනයෙන් ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් යන සක්‍රීය රස ද්‍රව්‍ය අන්තර්ගත පළිබෝධ නාශක භාවිතය, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම තහනම් කෙරිණ.
කෙසේවෙතත් කෘෂී කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අවධාරණය කළේ, තහනම ඉවත් කරමින් පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය බල රහිත කිරීමට පියවර ගන්නා බවයි.
රසායනික පොහොර තහනම ඉවතට
හරිත කෘෂිකර්මාන්තය තවදුරටත් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරමින් නොවැම්බර් 22 දා පැවසුවේ රසායනික පොහොර රජය මගින් ආනයනය නොකරන බවත් පෞද්ගලික අංශය ආනයනය කරන රසායනික පොහොර වලට රජය සහනාධාර ලබා නොදෙන බවයි.
පරිසර හිතකාමී කෘෂි වගාවේ වත්මන් තත්ත්වය ගැන ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ජනාධිපතිවරයා පවසා සිටියේ, එළවළු, බඩ ඉරිඟු, ධාන්‍ය වර්ග වැනි වගාවන් සඳහා අවශ්‍යතාව මත කෘෂි රසායන පෞද්ගලික අංශය හරහා ගෙන්වීමට අවධානය යොමු කරන ලෙස යි.
රජයේ සහනාධාර වැඩපිළිවෙළ යටතේ කිසිවිටෙකත් රසායනික පොහොර හෝ කෘෂි රසායන ලබා නොදෙන බව ජනාධිපතිවරයා එහිදී පැවසුවේ ය.
ජනපතිවරයා වැඩිදුරත් පැවසුවේ රජයේ ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නොමැති බවත් මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බවයි.
රජයක් ලෙස කාබනික පොහොර බෙදාහැරීම, සහනාධාර ලබාදීම කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් සිදුකරන බවත් ගොවීන් නිසි ලෙස දැනුවත් කළ යුතු අතර එය ක්‍රියාත්මක කිරීමේදී පවතින රසායනික පොහොර මාෆියාව පිළිබඳ හඳුනාගෙන ඒ සමග සටන් වැඳ නිවැරදි දේ ජයග්‍රහණය කරවීමට නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.
කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ ඉරිදා (නොවැම්බර් 21) සඳහන් කර සිටියේ, තහනම් කරන ලද ද්‍රව්‍ය ඇතුළු ප්‍රමිතියෙන් යුතු ශාක පෝෂක යළි ගෙන්වීමට අවසර දී ඇති බව යි.
"හරිත කෘෂිකර්මය එක රැයින් ඇතිකළ හැක්කක් නොවන" බවත්, ආන්දෝලනයට තුඩුදුන් යූරියාවල ද මිල ඉහළ බැවින් විකල්ප ද්‍රව්‍යයක් ගෙන ඒමට ඇති හැකියාව පිළිබඳ සොයාබලන බවත් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කර සිටියේ ය.
ජනපති සමග විශේෂ සාකච්ඡාවක්
පොහොර ආනයනයට අවසර ගැනීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ද සහභාගීත්වයෙන් නොවැම්බර් 22දා උදෑසන පැවැත්වුණි.
කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පැවසුවේ තුන්වැනි කාණ්ඩයේ සහ සතරවැනි කාණ්ඩයේ පොහොර මෙරටට ආනයනය සඳහා අවසර ලබා ගැනීමේ අරමුණින් එම සාකච්ඡාව පැවැත්වූ බව යි.
"කාබනික වගාවට එකවර යන්න බැහැ. කන්න තුනක් ඇතුළත දී 100% කාබනික වගාවට යන්න බලාපොරොත්තු වෙනවා," යනුවෙන් එම රැස්වීමට පෙර ඔහු සඳහන් කළේ ය.
එළවළු සඳහා විශේෂිත පොහොරක්
ජනපතිවරයා සමග සාකච්ඡාවෙන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ, අයහපත් කාලගුණයත් සමග ඇතිවී ඇති වගා හානි, බඩුමිල, එළවළු මිල ගැන ද අද පැවති සාකච්ඡාවේ දී අවධානය යොමු වූ බව යි.
"මුලින්ම අවධානය යොමු වුණේ වී වගාව ගැන. මේ වන විට හෙක්ටෙයාර් 650,000ක් වගා කර ඇති බවට නියෝජ්‍ය කොමසාරිස්වරු දැනුම් දීමක් කළා. ඒවට අවශ්‍ය පොහොර ලැබිල ද කියලා බැලුවා. සමහර තැන්වල පොහොර ලැබිලා තිබුණේ නැහැ. කඩිනමින් ඒ පොහොර ලබා දෙන්න කියලා එතුමා නියෝග කළා. ඒ වගේම නුවරඑළිය වගේ ප්‍රදේශවල ධාරාණිපාත වැස්ස නිසා, අපේ මේ හානියට, දිලීර නාශක ඒ වගේම යම් අඩුවක් තියෙනවා නම් ඒක ගෙන්වන්න කටයුතු කරන්න කියලා කිව්වා. මොකද නිශ්පාදනය අඩුවක් වන නිසා.
"ඒවගේම එළවළු සඳහා සුවිශේෂිත පොහොරක්, යූරියා, ටී.එස්.පී හැරුණු විට එළවළු වෙනුවෙන් විශේෂිත පොහොරක් පිළිබඳ අවධානය යොමු කරන්න කියලා කිව්වා. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ට ඒ නිර්දේශය ලබා දෙන්න කියලා කිව්වා. ඒ වගේම අධික වර්ෂාව නිසා එළවළු නිශ්පාදනයේ විශාල අඩුවක් වෙලා තියෙනවා. මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ගන්නා විකල්ප ක්‍රියාමාර්ග කුමක් ද කියන එක ගැන තමා සාකච්ඡා කළේ."
"රජයේ ප්‍රතිපත්තිය පරිසර හිතකාමී කෘෂි කර්මාන්තය. වී වගාවට අපි සම්පූර්ණයෙන් කාබනික පොහොරවලට ගිහින් තියෙන්නේ. නමුත් එළවළුවලට මේ ඇදහැලුනු අධික වර්ෂාව නිසා මේ කන්නයේ දී යම් දිලීර නාශක ප්‍රමාණයක් ගෙන්වා ගැනීම සඳහා තමයි රජයේ අවධානය යොමුවුණේ."
"යූරියා කියන්නේ භයානක යක්ෂයෙක් නෙවෙයි"
මේ අතරේ කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ, මේ කන්නයේ දේශීය වශයෙන් නිශ්පාදනය කරන ලද කාබනික පොහොරවලින් රටේ සම්පූර්ණ පොහොර අවශ්‍යතාව සැපයිය නොහැකි බව යි.
විශේෂයෙන්ම වී වගාව සඳහා මේ කන්නයේ දී මෙට්‍රික් ටොන් 80,000ක් පමණ නයිට්‍රජන් සැපයීමට සිදුව ඇති බවත්, මෙම සම්පූර්ණ ප්‍රමාණය දේශීයව නිපදවූ කොම්පෝස්ට්වලින් එකවර සැපයීම අපහසු බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ, යොදන ලද කාබනික පොහොරත් පසුගිය සමයේ වැසි සහිත තත්ත්වයත් සමග සේදී යාම නිසා, පවතින අපහසුතාව තවත් වැඩි වු බව යි.
"රසායනික පොහොර කියපු පමණින් හිතන්න එපා මේ වසයි විසයි ගේනවා කියලා. අපිට වී සඳහා තමයි දැනට ගැටලුව තියෙන්නේ. අපි මේක තුළත් ඉල්ලුවේ, අපිට හෙට උදේට මේ කියන කාබනික පොහොර මේ කන්නයට විශාල වශයෙන් හදන්න බැහැ. පිටරටින් ගේන්න යාමත් ඉතා භයානක යි. අපි දන්නවා ඇතිවෙලා තියෙන තත්ත්වය," කෘෂිකර්ම ලේකම්වරයා කියා සිටියේ ය.
"වගාව සඳහා යූරියා දෙනවා කිව්වාම ඒකේ ගැටලුවක් පේන්නැහැ. යූරියා කියන්නේ භයානක යක්ෂයෙක් නෙවෙයි. ඒක භාවිතා කරන විදහ යි මේකේ තියෙන්නේ," ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Shasheendra Rajapaksa/Facebook
'යූරියා' යනු කාබනික සංයෝගයකි. මෙය පරිවෘත්තීය ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස මිනිස් සිරුර තුළ ද නිපදවෙන ද්‍රව්‍යයකි. යූරියාවල ඉහළ නයිට්‍රජන් ප්‍රමාණයක් අඩංගු නිසා කෘෂි කර්මාන්ත කටයුතු සඳහා පොහොර ලෙස මහා පරිමාණයෙන් නිපදවනු ලැබේ.
පොහොර ගෙන්වීමේ දී වාණිජ කෘෂිකර්මාන්තය සඳහා ප්‍රමුඛතාවක් දිය යුතු බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කර සිටියේ ය.
"විශේෂිත ඇග්‍රිකල්චර්, ප්‍රොටෙක්ටිව් ඇග්‍රිකල්චර්, හරිතාගාර, මේ වගේ විශේෂිත ඒවාට අවශ්‍ය ශාක පෝෂක සහ ශාක ආරක්ෂක සඳහා අවශ්‍ය කෘමිනාශක, දිලීරනාශක ආදිය අපි ගෙනාවා කැබිනට් එකෙන්. බඩ ඉරිඟු සඳහාත් මෙට්‍රික් ටොන් 5000ක් ලබා දුන්නා. ඒ සඳහා ඉතුරු ප්‍රමාණය අපිට අවශ්‍ය දේ අපිට කියන්න කියලා තියනවා."
වී වගාවට මොකක්ද කරන්නේ?
ලේකම්වරයා පැවසුවේ, වී වගාව සඳහා විශේෂයෙන් නැනෝ නයිට්‍රජන්වලින් ලැබෙන පෝෂණයට අමතරව ලබා දීම සඳහා ඇමෝනියම් සල්පේට් හෝ සමාන යමක් ගෙන්වීමට සිදුව ඇති බව යි.
"යූරියා කියන පොහොර, එහෙම නැත්තන් ඉහළ පෙළේ හයර් ඔඩර් එකක් මේ වෙලාවේ ගෙන්වීම ඉතා මිල අධික යි. ඒක ගේන්න අසීරු නිසා ඇමෝනියම් සල්පේට් හෝ මොකක් හරි එකක් කෝරිලේෂන් එකක්, 'ගවමන්ට් ටු ගවමන්ට්' ඩීල් එකක් කරලා හරි, ඉහළ මට්ටමෙන් අපි ගේන්න ඕන කියන එක තමයි එන්නේ. ඒ සඳහා තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ," ඔහු පවසයි.
කෘමිනාශක හා වල් නාශක ගෙන්වන්න පුළුවන් ද?
තහනම් කර තිබූ ඇතැම් සඳහා ද්‍රව්‍ය බලපත්‍ර සඳහා යන මට්ටමට නිවැරදි කරගෙන ක්‍රියාවලියට අනුගත වූ බව ද ලේකම්වරයා සඳහන් කරයි.
ඔහු පැවසුවේ, අවාසනාවන්ත තත්ත්වයකට යාමට ඉඩ නොදී ඉතා ඉක්මනින් නිවැරදි මාවතකට පිවිසීම සඳහා වන වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව යි.
කෘමිනාශක, වල්නාශක, දිලීරනාශක අවශ්‍ය ප්‍රමාණවලින් ලබා ගැනීමට කටයුතු කරන බව ද ලේකම්වරයා තවදුරටත් පැවසී ය.
රසායනික පොහොර භාවිතාව අධෛර්යමත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයෙන් පලකළ වීඩියෝවක්: රසායනික වහල්භාවයෙන් මිදෙමු
සියල්ලන්ම එකඟ ද?
තහනම් කරන ලද ද්‍රව්‍ය ඇතුළු ප්‍රමිතියෙන් යුතු ශාක පෝෂක යළි ගෙන්වීමේ තීරණය සාමූහික තීරණයක් බවත්, ඊට කවුරුන් හෝ අනුගත නොවන්නේ නම් එහි ඇත්තේ පරාර්ථකාමයකට වඩා ආත්මාර්ථකාමයක් බවත් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා රූපවාහිනී මාධ්‍ය සමග සංවාදයකට එක්වෙමින් කියා සිටියේ ය.
"මේක සාමූහික තිරණයක්. මේකයි, කවුරුත් කියනවා නම් මේක වැඩපිළිවළ කඩාකප්පල්කිරීමක් කියලා, මං ප්‍රසිද්ධියේම අහනවා ඒ කියන කෙනාටම ප්‍රසිද්ධියේ අත උස්සලා ඒක කියන්න. කඩාකප්පල් වුණේ කොහොම ද, කළේ කවුද, වෙන්නේ කොහොමද කියලා මම ප්‍රශ්න කරනවා. මටත් අයිතියක් තියනවා. කෘෂි විද්‍යාඥයෙක් හැටියට මේක සාමූහික යි. ඒකට කවුරු හරි අනුගත වෙන්නේ නැත්තන්, ඒ පුද්ගලයගේ තියෙන්නේ පරාර්ථකාමයකට වඩාආත්මාර්ථකාමයක්."
මාධ්‍යට අදහස් දක්වමින් කෘෂිකර්ම ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, "පස හැදෙන්නේ කොහොමද කියලා දන්නැති අයගේ උපදෙස් ඕන නෑ. එහෙම නැත්තන් තමන්ගේ වෘත්තීය අත ඇරලා අනුන්ගේ වෘත්තීන් කරන අයගේ සහයෝගය ඕනේ නෑ. මම හිතනවා අමාත්‍යාංශයත්, දෙපාර්තමේන්තුව මේ සියලුම අය ඒක සමග ඉන්නවා."
විපක්ෂ නායකවරයාගේ ප්‍රතිචාරය
ආණ්ඩුව "රිවස් එකක් ගහන්නට" සැරසෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ ය.
"ආපහු රසායනික පොහොර ගෙන්නුවට කමක් නැහැලු. ශාක පෝෂක කියලා අලුත් නමකුත් ගොතලා, ගුණාත්මකභාවයෙන් ඉහළ වචනෙත් දාලා, අපිට පේනවා ආණ්ඩුව රිවස් එකක් ගහන්න ලෑස්ති වෙනවා කියලා. හැබැයි මම තව තවත් බලාගෙන ඉන්නවා හරියට මේ දේ කරනකම්," ඔහු ප්‍රකාශ කළේ ය.
ගොවි විරෝධය අඛන්ඩව
කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය 2021 අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව තහනම් කෙරිණි.
ඒ අනුව රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක කාණ්ඩයේ භාණ්ඩ ආනයනය තහනම් කරමින් පසුගිය මැයි 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
මෙම තීරණයත් සමග නිසි පරිදි කාබනික පොහොර හා වල් හා කෘමිනාශක නොමැති වීමෙන් මහ කන්නයේ වගාවේ නිරත ගොවීයෝ දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටිති.
මීට විරෝධය පළ කරමින් දිවයින පුරා පැවැත්වෙන ගොවි උද්ඝෝෂණ හා විරෝධතාවන්ගේ අවසානයක් මෙතෙක් දක්නට නැත.









