LTTE නායක ප්‍රභාකරන්ගේ ජීවිතයේ අවසාන පැය කිහිපය ගෙවී ගිය හැටි - විශ්ලේෂණයක්

ඡායාරූප මූලාශ්‍රය, Ishara S. KODIKARA/AFP via Getty Images
- Author, රෙහාන් ෆසාල්
- Role, බීබීසී හින්දි
2008 නොවැම්බර් 27 වන දින ප්‍රභාකරන් විසින් කරන ලද කතාව ඔහුගේ ජීවිතයේ අවසාන කතාව ලෙස සැලකේ.
ඔහුගේ ජීවිතය මාස කිහිපයකින් අවසන් වන බව කිසිවෙකු දැන සිටියේ නැත, නමුත් ඔහුගේ ජීවිතයේ අවසාන මොහොත දක්වා ම ඔහුගේ ආකල්පය වෙනස් වූයේ නැත.
1975 වසරේදී යාපනයේ එවකට සිටි නගරාධිපතිවරයා ඝාතනය කර වසරකට පසුව එල්ටීටීඊය ආරම්භ කළ ද, ප්‍රභාකරන් දිගු කලක් ලෝකය වැඩි දෙනෙකු නොදන්නා චරිතයක් ලෙස සිටියේ ය.
1982 මැයි මාසයේදී මදුරාසියේදී පළමු හා අවසාන වරට ඔහු අල්ලා ගන්නා විට, ඉන්දීය පරිපාලනය ඔහු කෙරෙහි එතරම් අවධානයක් යොමු නොකළ අතර, පසුව ඉන්දීය පරිපාලනය ප්‍රභාකරන් සුළු අපරාධකරුවෙකු ලෙස සැලකීය.
1983 දී, සිංහල සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විට,රට තුළ සුළුතරය වූ දෙමළ ප්‍රජාවට එරෙහි විරෝධයක් නිර්මාණය වූ අතර, එය ලංකාවේ ඉරණම සදහට ම වෙනස් කළේ ය.
එතෙක්, ශ්‍රී ලංකාව ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව තිබුණේ, එහි වැඩෙන තේ සහ ආකර්ෂණීය දර්ශන සම්බන්ධයෙන් පමණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රභාකරන්ගේ වැඩ කිරීමේ විලාසය
වසර හතරක් ඇතුළත ඔහුගේ බලපෑම සහ විශ්වාසය කෙතරම් ඉහළ ගියා ද යතහොත්, ඉන්දියාවේ හමුදා බලයට පවා අභියෝග කිරීමට ප්‍රභාකරන් කිසිදු පැකිලීමක් දැක්වූයේ නැත.
ශ්‍රී ලංකාවේ අනුරාධපුර ශුද්ධ නගරයේ සිංහල බෞද්ධයන් ඝාතනය කිරීමෙන් පසු ප්‍රභාකරන් දැඩි ආන්දෝලනයකට ලක් විය.
ඉන්පසු, LTTE සංවිධානයට ප්‍රතිවාදී ශ්‍රී ලංකාවේ දෙමළ සංවිධානවල නායකයින් ඝාතනය කිරීම ආරම්භ වූ අතර, මෙය දෙමළ ජනතාවගේ එක ම නායකයා වීමේ උත්සහයක් ලෙස සිදුවූ බවට විශ්වාස කෙරිණි.
ප්‍රකට මාධ්‍යවේදී එම්.ආර්. නාරායන් ස්වාමි ඔහුගේ 'The Rout of Prabhakaran' ග්‍රන්ථයේ මෙසේ ලියා තිබේ; "ප්‍රභාකරන්ගේ සෑම වචනයක් ම නීතියක් විය. ඔහුට අභියෝග කළ නොහැකි විය. ඔබ ඔහු ඉදිරියේ හිස නමා ඔහු පැවසූ සියල්ල සමග එකඟ වුවහොත් පමණක්, ඔබට දෙමළ ඊලම වෙනුවෙන් සටන් කළ හැකි ය."
"ඔහු සමග එකඟ නොවන්නේ නම්, එල්ටීටීඊ සංවිධානයෙන් හෝ ලෝකයෙන් ම ඉවත් වීමට සිදු විය. ඔහුට විරුද්ධ වූ ඕනෑ ම අයෙකු 'ද්‍රෝහියෙකු' ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර හිටපු සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් ඔහුගේ විරුද්ධවාදීන් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයට ම ඔහුත් ක්‍රියා කළේ ය."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දීර්ඝ ඝාතන මාලාවක්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ප්‍රභාකරන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද නිශ්චිත පුද්ගලයින් ඉලක්ක කර ගත්තේ ය. ඇතැම්විට ඔහුට හෝ එල්ටීටීඊයට උදව් කළ අය පවා ඉලක්ක විය.
ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක සහ කතුවරියක වන අනීතා ප්‍රතාප් ඇගේ 'Island of Blood' නම් කෘතියේ මෙසේ ලියා තිබේ, "ප්‍රභාකරන්ගේ මුල් ජීවිතය ගැන පොතක් ලිවීමට සැලසුම් කරමින් සිටි පුද්ගලයෙකු පැරිසියේ ඔහුගේ නිවස ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කරන ලදී."
"ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ උතුරු ප්‍රදේශවල දුප්පත් පවුල්වල දෙමළ දරුවන්ට ඔවුන්ගේ දෙමව්පියන්ගේ කැමැත්තට එරෙහිව එල්ටීටීඊය වෙනුවෙන් සටන් කිරීමට බල කෙරුණු අතර, ප්‍රභාකරන් ඔහුගේ ම දරුවන් තිදෙනාට ආදරය, සෙල්ලම් බඩු සහ සාපේක්ෂව සතුටුදායක ජීවිතයක් ලබා දුන්නේ ය. ඉන්දියාව වෙනුවෙන් ඔත්තු බලන බවට සැකය මත ඔහු තම පැරණි සහකරු මරා දැමී ය."
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යවරයෙකු තම කාර්යාලයට යමින් සිටියදී ඝාතනය කරන ලදී. දෙමළ විදේශ අමාත්‍යවරයෙකු පිහිනුම් තටාකයක පිහිනමින් සිටියදී ඝාතනය කරන ලදී. දැවැන්ත මැයි දින රැලියක් අමතමින් සිටියදී ජනාධිපතිවරයෙකු ඝාතනය කරන ලදී.
ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ද තමිල්නාඩුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රභාකරන්ගේ පාලනය හැකිළීම
සුළු කාරණා සම්බන්ධයෙන් ප්‍රචණ්ඩත්වයට යොමුවීම යම් දිනක ඔහුගේ වැටීමට හේතු වන බව ප්‍රභාකරන් කිසි විටෙකත් වටහාගෙන සිටියේ නැත.
ශ්‍රී ලංකාවෙන් තුනෙන් එකක් පමණ පාලනය කළ ප්‍රභාකරන්ගේ භූමි ප්‍රමාණය පාපන්දු පිටියකට සමාන වූ අවකාශයක් දක්වා කුඩා වූ කාලයක් උදා විය.
"පළමු වතාවට මම එල්ටීටීඊ සටන්කරුවන්ගේ ඇස්වලින් බිය දුටුවා. වසර ගණනාවක් තිස්සේ එල්ටීටීඊය සමීපව නිරීක්ෂණය කළ මා වැනි කෙනෙකුට මෙය සම්පූර්ණයෙන් ම අලුත් දෙයක්," නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් සිහිපත් කළේ ය.
"තමන් යුද්ධ පිටියෙන් පළා නොයන බවත්, අවි බිම තබන්නේ නැති බවත්, නමුත් සටනින් ඉවත් වීමට අවශ්‍ය ඕනෑ ම අයෙකුට එසේ කිරීමට නිදහස ඇති බවත්, සිවිල් වැසියන් සමග එක් වීමට කැමති අයට තම ආයුධ අතහැර එහි යා හැකි බවත්, සතුරාගේ අතට පත්වීමෙන් වැළකී සිටීමට මිය යාමට කැමති අයට සයනයිඩ් කරල් ලබා ගත හැකි බවත් මැයි 17 වන දින ප්‍රභාකරන් ඔහුගේ සමීප සහයකයින්ට පැවසීය."
සූර්ය දෙවියන්ගේ අවතාරයක් ලෙස අනුගාමිකයන් හැඳින්වූ, එමෙන් ම, කිසි දා පරාජය කළ නොහැකි යැයි විශ්වාස කළ මිනිසෙකුට එය කනගාටුදායක සමුගැනීමක් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රභාකරන් සහ අංක 8
ප්‍රභාකරන් තමාට කීමට අවශ්‍ය ඕනෑ ම දෙයක් පැවසීමට මැයි 17 වන දින තෝරා ගැනීම අහම්බයක් නොවේ.
දැන් රාඝවන් ලෙස හඳුන්වන, ප්‍රභාකරන්ගේ පැරණි සහයකයෙකු වූ රාජේෂ් කුමාර් මේ වන විට බ්‍රිතාන්‍යයේ වාසය කරයි.
"ප්‍රභාකරන් 8 වන අංකය ඔහුගේ අවාසනාවන්ත අංකය ලෙස සැලකුවා. අනාගතයේදී කරදර ඇති කළ හැකි කිසිදු වැඩක් 8, 17 සහ 26 යන දිනවල ප්‍රභාකරන් කිරීමෙන් වැළකී සිටියා. ඔහුගේ මිථ්‍යා විශ්වාසය කොතරම් ප්‍රබල ද කියනවා නම්, ඒ දිනවල ඔහු මුළු දවස ම තම සැඟවුම් ස්ථානයේ හැංඟිලා ඉඳලා එළියට ආවෙ ඊළඟ දවසේ," ඔහු පැවසීය.
"1980 ගණන්වල තමිල්නාඩුවේ එල්ටීටීඊ පුහුණු කඳවුරු දහයක් සංවිධානය කළත්, ඇත්තට ම, අට වෙනි පුහුණු කඳවුර හිතාමතා ම සංවිධානය නොකළ නිසා පුහුණු කඳවුරු නවයක් පමණක් සංවිධානය කර තිබුණේ මේ නිසා වෙන්න පුළුවන්," රාඝවන් පැහැදිලි කරයි.
අඛණ්ඩ පරාජයන් නිසා චිත්ත ධෛර්යය පහත වැටෙයි
2008 අප්‍රේල් මාසයේදී, මන්නාරම දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා හමුදාවේ පාලනය යටතට පත් විය. මෙයින් පසු, නොවැම්බර් මාසයේදී, දෙමළ කැරලිකරුවන්ට උපායමාර්ගිකව වැදගත් ස්ථාන වන පූනරින් සහ මාන්කුලම් හැර යාමට සිදු විය.
2008 මැයි මාසයේදී එල්ටීටීඊ සංවිධානයේ වැඩි ම පළපුරුද්දක් සහිත හමුදා නායක කන්දියා බාලසේකරන් හෙවත් බල්රාජ් හෘදයාබාධයකින් මිය යාමෙන් ප්‍රභාකරන්ට දැඩි පහරක් එල්ල විය.
බාලසේකරන් වෙනුවෙන් එල්ටීටීඊය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබිණි. බොහෝ හිටපු දෙමළ කොටි සටන්කරුවන් විශ්වාස කරන්නේ බල්රාජ් මිය නොගියේ නම්, ශ්‍රී ලංකා හමුදාව සමග පැවති ඔවුන්ගේ සටනේ ප්‍රතිඵලය වෙනස් වීමට ඉඩ තිබූ බව ය.
2009 වන විට, ප්‍රභාකරන් තවත් පසුබෑම්වලට මුහුණ දීමට පටන් ගත්තේ ය. රජයේ හමුදා පළමුව පරන්තන් අල්ලා ගත් අතර, පසුව එල්ටීටීඊ පරිපාලන ප්‍රදේශයේ අගනුවර ලෙස සැලකෙන අසල පිහිටි කිලිනොච්චිය අල්ලා ගත්තේ ය.
දෙමළ කොටි නායකත්වය විදේශීය අමුත්තන් හමුවූ ස්ථානය මෙය වූ අතර 2002 අප්‍රේල් මාසයේදී ප්‍රභාකරන් සිය අවසන් මාධ්‍ය හමුව ඇමතූ ස්ථානය ද මෙය විය.
කිලිනොච්චියේ පරාජය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ චිත්ත ධෛර්යයට දැඩි ලෙස බලපෑවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
යුද්ධය අවසන් කරන ලෙසට ශ්‍රී ලංකාවට බලපෑම්
ප්‍රභාකරන්ගේ කතා පරිවර්තනය කළ ඔවුන්ගේ ඉහළ පෙළේ මාධ්‍ය සම්බන්ධීකාරක දයා මාස්ටර් හෙවත් වේලායුදන් දයානිධි සහ ජෝර්ජ් හෙවත් කුමාර් පංචරත්නම් යුධ පෙරමුණේදී ශ්‍රී ලංකා හමුදාවට යටත් වූ විට එල්.ටී.ටී.ඊ.යට විශාල නින්දාවක් අත්විඳීමට සිදු විය.
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ ඒ වන විට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වූ අතර එල්ටීටීඊයට එරෙහි හමුදා මෙහෙයුමට නායකත්වය දෙමින් සිටියේය.
"සටන් වහා ම අවසන් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දැඩි පීඩනයක් එල්ල විය. ඇමෙරිකානු පුරවැසිභාවය ද දැරූ රාජපක්ෂ, එක්සත් ජනපද සාකච්ඡාකරුවන්ට කිසිදු සහතිකයක් ලබා නොදුන් නමුත් මැයි 14 වන දින ඔහුගේ හමුදාපතිවරුන් සමග සිය ගැටලු ගැන සාකච්ඡා කළේ ය," එම්.ආර්. නාරායන් ස්වාමි ලියා තිබේ.
"ඔහු ඔවුන්ගෙන් ඇහුවා මේ යුද්ධය කොච්චර කල් යයි ද කියලා? මේ යුද්ධය ඉක්මනින් ජයග්‍රහණයෙන් අවසන් විය යුතු යි, නැතිනම් ඇමරිකානු පීඩනයට ඔරොත්තු දීම දුෂ්කර වනු ඇති බව ඔහු පැවසුවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සටන අඛණ්ඩව පවත්වාගෙන යාමට ප්‍රභාකරන් තීරණය කරයි
2008 මැයි 16 වන දින, ශ්‍රී ලංකා හමුදාව එල්ටීටීඊයේ අවසාන ආරක්ෂක වළල්ල විනාශ කළේ ය.
මෙම පුවත ඇසූ වහා ම, ජී-11 සමුළුවට සහභාගි වී සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ, එල්ටීටීඊ සංවිධානයට එරෙහිව හමුදා ජයග්‍රහණයක් ලබා ගත් බව කලින් ම ප්‍රකාශ කළේ ය.
එල්ටීටීඊ ජාත්‍යන්තර කටයුතු ප්‍රධානී කේ.පී. හෙවත් කුමරන් පත්මනාදන් එදින ම ක්වාලාලම්පූර්හිදී නිවේදනය කළේ, "සටන අවසන් අදියරට පැමිණ ඇත. අපි අපේ තුවක්කු බිම තැබීමට තීරණය කර ඇත්තෙමු," යනුවෙනි.
මහින්ද සහ කේපී දෙදෙනා ම කඩිමුඩියේ කතා කළේ, බොහෝ විට පැති තුනකින් වට වී සිටි ප්‍රභාකරන් සටන දිගට ම කරගෙන යාමට තීරණය කර තිබූ නිසා විය හැකි ය.
සටන් කොතරම් දරුණු ද යත් දෙමළ කොටින් දින ගණනාවක් ස්නානය කර නොතිබිණි. ඔවුන්ගේ ආහාර සැපයුම් ද අවසන් වීමට ආසන්නව පැවතිණි. ශ්‍රී ලංකා සොල්දාදුවන්ට හසු නොවන පරිදි සමහර දෙමළ ගරිල්ලෝ සියදිවි නසා ගත්හ.
මැයි 17 අවසන් වරට ජීවතුන් අතර දක්නට ලැබීම
මැයි 17 වන දින රාත්‍රියේ, ශ්‍රී ලංකා සොල්දාදුවෝ අවසන් කොටි කණ්ඩායම වර්ග මීටර් 1600ක ප්‍රදේශයකට සීමා කළහ. ඔවුන් තුන් පැත්තකින් වට කර තිබිණි. සිව්වන පැත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව මුර කරමින් සිටි නන්දිකඩාල් කලපුව විය.
මැයි 17 වන දින එල්ටීටීඊයට ඉතා අවාසනාවන්ත දිනයක් බව ඔප්පු විය. මන්ද එදින ඔවුන්ගේ සටන්කරුවන් 150කට වැඩි පිරිසක් මිය ගිය අතර, ඒ අතර ඔවුන්ගේ අණ දෙන නිලධාරීන් බොහෝ දෙනෙක් ද වූහ.
'SK' නම් එල්ටීටීඊ ගරිල්ලා සාමාජිකයෙක් පසුව සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පැවසීය, "ප්‍රභාකරන් අවසන් වරට ජීවතුන් අතර සිටිනු දුටුවේ මැයි 17 වන දින උදෑසන යි. මම ප්‍රභාකරන් සිටි ස්ථානයට සවස 6ට ළඟා වුණා. අපේ කෑම බීම ඔක්කොම ඉවර වෙලා තිබුණා."
"විශ්වාස කළත් නැතත්, ප්‍රභාකරන් සම්පූර්ණයෙන් ම සාමාන්‍ය පරිදි ඉන්න බවක් පෙනුණා, දෙමළ ඊලම නිර්මාණය කිරීමේ ඔහුගේ සිහිනය බිඳ වැටීමට ආසන්න බව ඔහුට වැටහී තිබුණා."
ප්‍රභාකරන්ගේ වැඩිමහල් පුත්‍රයාගේ මරණය
ඊළඟ දවසේ ඉතිරි වී සිටි කොටි සාමාජිකයෝ හමුදා වටලෑම බිඳ දැමීමට උත්සහ කළහ. ඔවුන් එය සාර්ථක කර ගත් නමුත් මිනිත්තු 30ක් ඇතුළත ශ්‍රී ලංකා සොල්දාදුවෝ නැවත එක්රැස් වූහ.
මෙවර ඔවුන් දියත් කළ ප්‍රතිප්‍රහාරයේදී, බොහෝ එල්ටීටීඊ අණ දෙන නිලධාරීන් සහ ප්‍රභාකරන්ගේ 24 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා වූ පුත් චාල්ස් ඇන්තනි ද මිය ගියහ.
ශ්‍රී ලංකා සොල්දාදුවන් ඇන්තනිගේ මළ සිරුර පරීක්ෂා කළ විට, ඔහු සතුව ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 23ක මුදලක් සොයා ගන්නා ලදී.
53 වන සේනාංකයේ අණදෙන නිලධාරී කමල් ගුණරත්න පිළිගත්තේ ඒ වන විට ප්‍රභාකරන්, පොට්ටු අම්මාන් සහ සූසෙයි හැර කොටි සංවිධානයේ ඉහළ ම නායකත්වය විනාශ කර තිබූ බව ය.
ප්‍රභාකරන් පිළිබඳ කිසියම් ආරංචියක් ලැබෙන තුරු සටන අඛණ්ඩව පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා පැහැදිලිව කියා තිබිණි.
ප්‍රභාකරන්ගේ මරණය පිළිබඳ පුවත කමල් ගුණරත්න වෙත
මැයි 19 වන දින උදෑසන වන තෙක් ප්‍රභාකරන් සිටින ස්ථානය පිළිබඳව මේජර් ගුණරත්නට කිසිදු හෝඩුවාවක් නොතිබිණි. එවිට ඔහුගේ කනිෂ්ඨ නිලධාරියෙකු ඔහුට දැනුම් දුන්නේ නන්දිකඩාල් ප්‍රදේශයේ මඩ සහ ලුණු සහිත ජලයේ දරුණු සටනක් ඇති වූ බව ය. බොහෝ එල්ටීටීඊ සටන්කරුවෝ එහි සිරවී සිටියහ. ඔවුන්ගෙන් කිසිවෙක් ආයුධ බිම තැබීමට සූදානම් නොවූහ.
අවසානයේ, සටන අවසන් වී පැයකට පසු, ගුණරත්නට ඔහු බලා සිටි පුවත ලැබිණි.
ගෝර්ඩන් වයිස් ඔහුගේ ' 'The Cage, The Fight for Sri Lanka and the Last Days of the Tamil Tigers' නම් පොතේ මෙසේ ලියා ඇත. "කර්නල් රවිප්‍රිය මේජර් ජෙනරල් ගුණරත්නට 'සර්, අපි ප්‍රභාකරන්ව මැරුවා' කියා පැවසුවා."
පුදුමයට පත් ගුණරත්න ඇසුවේ, 'ඔබට විශ්වාස ද?' කර්නල් රවිප්‍රිය පිළිතුරු දුන්නේ, 'ඔව්, ඉර හඳ වගේ විශ්වාසයි සර්' කියා යි.
නමුත් ගුණරත්නට නිසැකව ම ඒ බව දැන ගැනීමට අවශ්‍ය වූ නිසා ඔහු කර්නල් ලලින්ත ගමගේව එම ස්ථානයට යැවීය. මිනිත්තු කිහිපයක් ඇතුළත ගමගේගේ කෑගසන හඬ හමුදා දුරකතනයේ දෝංකාර දුන්නේ ය, 'සර්, යුරේකා. සර් ඒක හරි. ඒ ප්‍රභාකරන්'.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රභාකරන්ගේ සිරුර හමුවෙයි
සම්පූර්ණයෙන් ම තහවුරු වීමෙන් පසු, ගුණරත්න හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකාට මෙම පුවත දැනුම් දුන්නේ ය. මෙයට පෙර, ඔහු තම සොල්දාදුවන්ගෙන් ප්‍රභාකරන්ගේ දේහය තමා වෙත ගෙන එන ලෙස ඉල්ලා සිට තිබිණි.
එම්.ආර්. නාරායන් ස්වාමි ඒ ගැන ලියා තිබුණේ මෙසේය; 'ඒ වන විට ශ්‍රී ලංකා සොල්දාදුවන් තුන් දහසක් පමණ ප්‍රභාකරන්ගේ දේහය තිබූ ස්ථානයේ රැස්ව සිටියහ. සොල්දාදුවන් පිරිසක් අපිරිසිදු නොගැඹුරු ජලයට පැන මළ සිරුර රැගෙන ආහ."
"ප්‍රභාකරන්ගේ සිරුර දුටු විගස සොල්දාදුවන් අහසට වෙඩි තැබීමට පටන් ගත්හ. නිලධාරියෙකු එම සොල්දාදුවන් හික්මවීමට උත්සහ කළ නමුත් ඔහුගේ වචන කිසිවෙකුට බලපෑමක් ඇති කළේ නැත."
මෙම පුවත ලැබෙන විට ජෙනරල් සරත් ෆොන්සේකා සිටියේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ය. ෆොන්සේකාට දුරකතනයෙන් ගුණරත්න සිංහලෙන් පැවසුවේ, 'මහ එකා ඉවරයි' යන්න ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හැඳුනුම්පතේ අනුක්‍රමික අංකය 001
ප්‍රභාකරන් මිය යන විට ඔහුගේ වයස අවුරුදු 54 කි.
එම්.ආර්. නාරායන ස්වාමි මෙසේ ලියා තිබේ. "ඔහුගේ නළලේ විශාල තුවාලයක් තිබූ අතර ඉන් ඔහුගේ හිස කොටස් දෙකකට බෙදී තිබිණි. ඔහුගේ මුඛය විවෘතව තිබූ අතර ඔහුගේ දෑස් ඉහළට බලා සිටියේ ගොළු වූවාක් මෙනි. ඔහුගේ රැවුල සුදු පැහැති විය."
"මේජර් ජෙනරල් ගුණරත්න ඔහුගේ සිරුර ස්පර්ශ කරන විටත් එය උණුසුම්ව පැවතිණි. ඔහුගේ නළලේ තිබූ තුවාලය හැර ඔහුගේ සිරුරේ වෙනත් කිසිදු වෙඩි උණ්ඩ ප්‍රහාරයක් නොතිබිණි. ප්‍රභාකරන් හමුදා නිල ඇඳුමක් ඇඳ සිටියේ ය. ඔහුගේ සාක්කු පරීක්ෂා කරන විට, අනුක්‍රමික අංක 001 සහිත එල්ටීටීඊ හැඳුනුම්පතක් හමු වූ අතර එය 2007 ජනවාරි 1 වන දින නිකුත් කරන ලද්දකි."
මේ හැරුණු විට ඔහු සතුව දියවැඩියා ඖෂධ කිහිපයක් ද තිබී ඇත. සිංගප්පූරුවෙන් මිල දී ගත් මිදි සුවඳැති අත් ආලේපනයක් ද ඔහු සතුව තිබී හමු විය. ඔහුගේ හිසෙහි ගැඹුරු තුවාලය නිල් පැහැති රෙද්දකින් ආවරණය කර තිබිණි.
ගෝර්ඩ්න් වෙයිස් මෙසේ ලියා තිබිණි, "ප්‍රභාකරන් 12.7 මි.මී. උණ්ඩයකින් මිය ගිය බව හමුදා නිලධාරියෙක් මට කිව්වා."
ශ්‍රී ලංකා හමුදා ප්‍රධානී ජෙනරල් ෆොන්සේකා ප්‍රභාකරන්ගේ නිල ඇඳුම ඉවත් කරන ලෙස නියෝග කළේ ය. ඔහුගේ තර්කය වූයේ, ශ්‍රී ලංකා සොල්දාදුවන් හැර වෙනත් කිසිවෙකුට හමුදා නිල ඇඳුම ඇඳීමට අයිතියක් නොමැති බව ය.
ප්‍රභාකරන්ගේ දේහය හඳුනාගැනීම
"ප්‍රභාකරන්ගේ දේහය හඳුනා ගැනීම සඳහා හිටපු එල්ටීටීඊ නායකයින් දෙදෙනෙකු වන කර්නල් කරුණා සහ දයා මාස්ටර් එහි යවන බව ෆොන්සේකා ගුණරත්නට පැවසීය" යනුවෙන් නාරායන ස්වාමි ලියා තිබේ.
"හිටපු කොටි සාමාජිකයින් දෙදෙනාව ම හමුදා ගුවන් යානයකින් එතනට රැගෙන ආවේ ය. ප්‍රාණය නිරුද්ධ දේහය හඳුනාගැනීමට ඔවුන්ට තත්පරයක්වත් ගත වුණේ නැහැ."
ප්‍රභාකරන්ගේ මරණයත් සමග, ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ පැවති දෙමළ ඊළාම් සන්නද්ධ ව්‍යාපාරය සහ ලේ වැකි සිවිල් යුද්ධය අවසන් විය.














