'මුල්ලිවයික්කාල් කන්ජි' යනු මොනවා ද? එය සකස් කරන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය මීට වසර 15කට පෙර යුදමය වශයෙන් නිමාවුව ද යුද්ධය විසින් දෙපාර්ශවයට ම ඉතිරි කරන ලද අමිහිරි මතක රාශියකි.
මෙරට පැවති යුද්ධය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වූවන් සංඛ්‍යාව සම්බන්ධයෙන් නිශ්චිත සංඛ්‍යාව මෙපමණ යැයි සඳහන් කළ නොහැකි අතර, යුද්ධයෙන් අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හා ආබාධිතවූවන් සහ වින්දිතයින් බවට පත්වූ පිරිස මෙතකැයි කිව නොහැක.
යුද්ධයේ අවසන් සමය
යුද්ධයේ අවසන් සමයේදී යුද හමුදාව හා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රහාරයන්ට මැදි වූ සිවිල් ජනතාව අතුරින් බොහෝ පිරිසක් ජිවිතක්ෂයට පත්වු අතර, දමිළ ජනතාව විශාල පිරිසක් මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ සීමාවේ සීමිත ඉඩකට කොටු වී සිටියහ.
අවසන් යුද සමයේ උතුරු නැගෙනහිර ජනතාව වෙත භාණ්ඩ හා සේවා සැපයීම සීමා කොට තිබූ අතර, යුද්ධයේ අවසන් දිනවලදී එල් ඊ සංවිධානයේ පාලන සීමාවේ සිටි ජනතාවට අවශ්‍ය ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති විය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට සිය සීමාවන් තුළ සිටි ජනතාවට ලබාදීමට ප්‍රමාණවත් ලෙස භාණ්ඩ නොතිබු අතර, යුද්ධයට මැදිව සිටි සිවිල් ජනතාව තමන් සතු සියල්ල අතහැර කෑමට අවශ්‍ය දෑ පමණක් රැගෙන දිවි බේරා ගැනීමට ගමන් කරමින් සිටියහ.
යුද්ධයේ අවසන් දිනවල ලක්ෂ තුනකට වැඩි පිරිසක් ආහාර සපයා ගැනීමට ක්‍රමයක් නොමැතිව සිටි අතර, ඇතැමෙක් සතුව හාල් පමණක් තිබු බව යුද්ධයේ අවසන් දිනවල මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ සිටි පිරිස් පවසති.
අවසන් සටන් දිනවලදි මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ සිටි ඇතැමෙක් තමන් සතුව පැවති රන් පවුම් කිහිපයක් ලබා දී සහල් කිලෝ දෙක තුනක් ලබාගත් බව වැසියෝ පැවසූහ.

මුල්ලිවයික්කාල් කැඳ
යුද්ධය අවසන්වීමේ ජයග්‍රාහී සැමරුම පිරිසක් සමරන අවස්ථාවේ, උතුරු නැගෙනහිර ජනතාව යුද්ධයේ අවසන් දිනවල තමන් ගෙවු අමිහිරි මතක සිහි කරමින් විවිධ ස්මරණයන් පවත්වති.
යුද්ධය නිමා වී 2024 වන විට වසර 15 ක් ගෙවී ඇති අතර, පසුගිය වසර 15 ක කාලය තුළම සෑම වසරකම මැයි මස 11 වැනිදා සිට මැයි 18 වැනිදා දක්වා මුල්ලිවයික්කාල් කැඳ බෙදාදීමේ වැඩසටහන් පැවැත්වීමට උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව කටයුතු කරමින් සිටිති.
මෙවරද මුල්ලිවයික්කාල් කැඳ බෙදා දීමේ වැඩසටහන් රැසක් උතුරු නැගෙනහිර පළාත්වල සංවිධානය කොට තිබිණ.

මුල්ලිවයික්කාල් කැඳ බෙදීම ආරම්භ වූයේ කෙසේ ද? එය සකස් කරන්නේ කෙසේ ද?
මුල්ලිවයික්කාල් කැඳ බෙදීම ආරම්භ වූයේ කෙසේ ද? එය සකස් කරන්නේ කෙසේද? යන්න සම්බන්ධයෙන් යුද්ධයේ අවසන් දිනවල මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ රැදී සිටි එම්.ශිවපාලමුහුන්දන් කියා සිටින්නේ මෙවැන්නකි.
“යුද්දේ අවසන් දවස්වල එල් ටී ටී ඊ සංවිධානය යි, හමුදාව යි දෙපැත්තෙන් ම වෙඩි තියා ගන්නවා. අපිට කර කියා ගන්න දෙයක් නැතුව අපි යුද්දෙට මැදි වෙලා හිටියේ."
"ඒ දවස්වල අපිට කියලා අපේ කිසි ම වස්තුවක් අපි අරන් ගියේ නෑ. අපේ ඇස් ඉදිරිපිට මිනිස්සු මැරිලා වැටෙනවා. තුවාල වෙනවා. කවුරු තියන වෙඩි ද කියලා අපි දන්නේ නෑ. අපි කරන්නේ මැරිලා වැටිලා ඉන්න අය වළදාලා,තුවාල වුණ අයට පුළුවන් විදියට බෙහෙත් දාන එක."

"ඒ වෙලාවේ අපිට කන්න බොන්න දෙයක් නෑ. බොන්න නන්දිකඩාල් කලපුවේ වතුර තිබුණා. එහෙම නැත්නම් මුහුදු වතුර තමයි."
"කන්න කියලා බත්, මාළු පිනි වර්ග මොකුත් නෑ.තියෙන හාල් ටිකෙන් කැඳ හදාගන්නවා.හැමොටම කැඳ හදන්න හාල් තිබුණේ නෑ. විවිධ සංවිධාන හා මිනිස්සු ළඟ තිබුණ හාල් එකතු කරලා තමයි කැඳ හැදුවේ."
"ඒ කැඳ ටික බිව්වොත් තමයි ජිවිතේ රැක ගන්න පුළුවන් වෙන්නේ. පොඩි දරුවෝ කන්න බොන්න ඉල්ලලා අඩනවා.ඒත් කරන්න දෙයක් නෑ. ලොකු පොඩි හැමෝටම බඩගින්න වෙනුවෙන් තිබුණේ කැඳ විතරයි".
"කොහෙන් හරි හාල් ටිකක් එකතු කරගෙන, කලපුවේ වතුර හරි, මුහුදු වතුර හරි මුට්ටියකට දාලා රත් කරලා කැඳ ටික හදාගන්නවා."
"ඒ කැඳ එකට දාන්න පොල්කිරි, සීනි, හකුරු, ලුණු කියන මොකවත් නෑ. ඒ කැඳ එකෙන් තමයි අපි යුද්ධයේ අවසන් දවස්වල ජිවත්වුණේ."
"යුද්දේ ඉවරවුණාට පස්සේ අපි දකිනවා හැම අවුරුද්දෙම මැයි මාසයේදී මුල්ලිවයික්කාල් කැඳ හදනවා කියලා විවිධ පිරිස් කැඳ හදලා බෙදනවා. පාරේ යන එන හැමෝටම බෙදනවා."

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"ඒත් ඒ කැඳවලට රතු කැකුළු හාල් දාලා, පොල් කිරි දාලා, සීනි දාලා, සමහර වෙලාවට හකුරුත් දාලා දෙනවා අපි දැකලා තියෙනවා."
"ඒක විවිධ දේශපාලන කණ්ඩායම්, විවිධ සංවිධාන විසින් සිද්ධ කරන වැඩක්. හැබැයි කවුරුහරි මිනිහෙකුගේ බඩගින්න එයින් නිවෙනවා නම් ඒකේ ඇති වැරැද්දක් නෑ.
"ඒත් ඇත්තටම යුද්ධයේ අවසන් දිනවල මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ හිටපු මිනිස්සු බීපු කැඳ එකෙයි, දැන් ඔය පාරවල් අයිනේ දෙන කැඳ එකයි සම්පූර්ණයෙන්ම වෙනස්."
"මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ අවසන් දවස්වල හිටපු මිනිස්සු ජිවිතේ අවසන් දිනය කියලා හිතාගෙන තමයි ඒ කැඳ එක බිව්වේ. ඒ කැඳ එකට ලුණු තිබුණත් එකයි, නැතත් එකයි."
"මිනිස්සු නොමැරී ඉන්න හාල් ටිකට වතුර ටිකක් දාලා රත්කරලා බිව්වා. ඒක තමයි මුල්ලිවයික්කාල් කැඳ කියලා කිව්වේ. දැන් ලබාදෙන මුල්ලිවයික්කාල් කැඳ කියන එකෙන් මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ අපි බීපු කැඳ එක මතක් වෙනවා. ඒත් ඒ රහ නෑ."
"ලුණු නැති වුණත් මුල්ලිවයික්කාල් කැඳ බීපු මිනිස්සුන්ට යුද්ධයේ අවසන් දිනවල ඒක දිව්‍ය භෝජනයකට වඩා රසයි. දැන් පාරවල් අයිනේ තියාගෙන සීනි, ලුණු, හාල්, පොල් කිරි හෝ එළකිරි හා තවත් රස කාරක දාලා මුල්ලිවයික්කාල් කැඳ කියලා දුන්නත් ඒ කැඳවල අපි ජිවත්වුණ අතීතයේ රස නෑ කියලා තමයි මට හිතෙන්නේ."
"යුද්ධයේ අවසන් දවස්වල මිනිස්සු තමන්ගේ අතට අහුවුණු කෝප්පය,පිගාන,හට්ටිය,මුට්ටිය අරගෙන ගිහිල්ලා කැඳ පෝලීමේ ඉඳලා කැඳ අරගෙන තමයි බ්ව්වේ."
"ඒත් දැන්නම් පාරවල් අයිනේ පොල්කටු පිරිසිදු කරලා, ඒකට කැඳ දාලා පිළිවෙලකට දෙනවා.”

මුල්ලිවයික්කාල් කැඳ බෙදීම සෑම වසරකම සිදුකරන්නේ ඇයි?
මුල්ලිවයික්කාල් කැඳ බෙදීම යනුවෙන් කැඳ බෙදීමේ වැඩසටහන් සෑම වසරකම පවත්වන්නේ ඇයිද? යන්න වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති කේ.රාජ්කුමාර්ගෙන් අපි විමසුවෙමු.
"යුද්දේ අවසන් දවස්වල උතුරු නැගෙනහිර ජනතාව විශාල පිරිසක් යන්න එන්න තැනක් නැතුව මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ රැදී හිටියා."
"ඒ වෙලාවේ ඒ අයට කන්න බොන්න දෙයක් තිබුණේ නෑ.ඒ අය කැඳ විතරක් බීලා තමයි ජිවත් වුණේ.දැන් යුද්දේ ඉවරයි. ඒත් මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ හිරවෙලා හිටපු අපේ ඥාතීන් කැඳ බීලා ජිවත්වුණ අතීතයක් තිබුණා. ඒ අතීතය සිහි කරන්න තමයි අපි හැම අවුරුද්දකම මුල්ලිවයික්කාල් කැඳ බෙදාදීමේ වැඩසටහන් සංවිධානය කරන්නේ."
"ඒ හරහා අපේ ඥාතීන් විදපු වේදනාව, යුද්ධයෙන් මියගිය අය,යුද්ධයෙන් අතුරුදහන්වු පිරිස, යුද්ධයෙන් තුවාල වුණ පිරිස සිහි කිරීමත් සිදු කරනවා," හෙතෙම කියා සිටියේය.














