සත්‍ය හා ප්‍රතිසන්ධාන කමිටුව: ‘මේක ජිනීවාවලට පෙන්වන්න හදන නාටකයේ කොටසක්’

අතුරුදන් වූවන්ගේ පවුල්වල එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ඔහුගේ සංවිධානය නියෝජනය කරමින් සත්‍ය සෙවීමේ කමිටුව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමට සම්බන්ධ වී තිබේ. එහි දී එම කමිටුව විනිසුරුවරුන් කණ්ඩායමකින් හා විදේශීය විශේඥවරුන් හා විදේශීය නිරීක්ෂකයන් කණ්ඩායමකින් සමන්විත බවට දැනුවත් කළ බව ඔහු පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජනවාර්ගික ප්‍රශ්නයෙන් පීඩාවට පත් වූ සෑම ජන කොටසකටම සත්‍ය හෙළි කිරීමේ අරමුණින් සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වන විට කටයුතු කරමින් සිටියි.

සත්‍ය සෙවීමේ කොමිසම පිළිබඳ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන දැනුවත් කිරීමේ වැඩසටහනක් ජුලි 26 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රිගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබුණි.

මෙම නව කමිටුව නම් කර තිබෙන්නේ සත්‍ය හා ප්‍රතිසන්ධාන කමිටුව ලෙසයි. (Truth and Reconciliation Committee)

ශ්‍රී ලංකාවේ පැවති සත්‍ය සෙවීමේ යාන්ත්‍රණ

සිවිල් යුද්ධයක්, කෝළාහලයක් හෝ ජනසංහාරයක් වැනි ගැටුමකට යම් රටක් මුහුණ දුන් පසු එක් එක් පාර්ශවයන් අතින් සිදුවූ අපරාධ පිළිබඳ සත්‍ය හෙළි කර යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාමාර්ගයට දායක වීම මෙන් ම නැවත එවැනි ගැටුමක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ප්‍රජාව ප්‍රතිසන්ධානය කිරීම සත්‍ය හා ප්‍රතිසන්ධාන කමිටුවක මූලික කාර්යයි.

සාමාන්‍යයෙන් එවැනි සිදුවීමක් සිදුවූ පසුව වහාම කමිටුවක් යොදවන්නේ කල් ගතවත්ම සාක්ෂි නැති වී යාමේ අවධානම හේතුවෙන් ය. කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ එම කමිටුව පත් කිරීමට සැරසෙන්නේ දශක තුනක් පමණ පැවති සිවිල් යුද්ධය 2009 දී අවසන් වි වසර 14ක් ගතවන තැන ය.

මීට පෙර ද මේ සඳහා වෙනත් කමිටු සහ කොමිෂන් සභා ශ්‍රී ලංකා රජය විසින් පත් කර තිබේ.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමට මොකද වුණේ ?

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය 2009 මැයි මාසයේ දී අවසන් වීමෙන් පසුව එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් ප්‍රතිසන්ධාන කටයුතු වෙනුවෙන් 2010 දී "උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම" යනුවෙන් ජනාධිපති කොමිසමක් පත් කළේ ය. එහි සභාපතිවරයා වූයේ විශ්‍රාමික නීතිපතිවරයෙකු සහ සොලිසිටර් ජනරාල්වරයෙකු වූ ජනාධිපති නීතීඥ චිත්ත රන්ජන් ද සිල්වා ය. එම කොමිසමේ වාර්තාව 2011 ජනවාරි මාසයේ එළිදැක්වූ නමුත් එය ක්‍රියාත්මක වූයේ නැත.

අප ඒ පිළිබඳම මෙම කොමිසමේ පර්යේෂණ සඳහා මැදිහත් වූ මහාචාර්ය තිස්ස විතාරණගෙන් විමසීමක් කළෙමු. එහි දී ඔහු පැවසුවේ පර්යේෂණය අවසාන වූ පසු ඒවා ක්‍රියාවට නැංවීමට කටයුතු කිරීමේ දී තමාව නැවත කැඳවන බවක් පැවසුවද එලෙස සිදු නොවූ බවයි.

"අපි උතුරේ හා නැගෙනහිර ඇවිදලා තොරතුරු එක්රැස් කරලා නිර්දේශ සකස් කළා. මතක විදිහට 2011 දි වගේ වාර්තාවකුත් දැම්මා. මේවා ක්‍රියාත්මක කරනකොට මට කතා කරන්නම් කියා කිවුවාට මට නැවත කතා කළේ නෑ. මටත් ඒ ගැන හිටපු ආණ්ඩු වලින් විමසලා හොයා බලන්න බැරි වුණා. ඒක මගේ අඩුපාඩුවක්," යැයි මහාචාර්යවරයා පැවසුවේ ය.

 උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "මේවා ක්‍රියාත්මක කරනකොට මට කතා කරන්නම් කියා කිවුවාට මට නැවත කතා කළේ නෑ. මටත් ඒ ගැන හිටපු ආණ්ඩු වලින් විමසලා හොයා බලන්න බැරි වුණා. ඒක මගේ අඩුපාඩුවක්," යැයි මහාචාර්ය තිස්ස විතාරණ පැවසුවේ ය.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වෙනත් කමිටු අතුරින් කැපී පෙනෙන ක්‍රියාමාර්ගයක් වන්නේ 2016 දී පාර්ලිමේන්තුවේ සම්මත වූ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමයි. එහෙත් 2018 වසරේ සිට එය ක්‍රියාත්මක වුවද මෙතෙක් කිසිඳු අතුරුදන් වූවෙකු පිළිබඳ සත්‍ය හෙළි කිරීමට මෙම කාර්යාලය අපොහොසත් වී තිබේ.

2015 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්ථිර කරගත් 30/1 යෝජනාව තුළ මෙම සත්‍ය සෙවීමේ කමිටුවක් පිහිටුවීමට යෝජනා කර තිබේ. එහි සත්‍ය සෙවීමේ කමිටුව්ක් පිහිටුවීම, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ සෙවීමේ කාර්යාලයක් පිහිටුවීම, හානිපූර්ණය සඳහා කාර්යාලයක් පිහිටුවීම හා විදේශීය මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක වන අධිකරණ පද්ධතියක් සකස් කිරීම ඇතුළත් විය. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය හා හානිපූර්ණ කාර්යාලය පිහිටුවා තිබෙන නමුත් එහි මූලික යෝජනාව වූ සත්‍ය හෙළිදරව් කිරීමේ කමිටුවක් පිහිටුවීම මේ දක්වා ප්‍රමාද විය.

මෙම කමිටුව සඳහා රජය විසින් ජපානය, දකුණු අප්‍රිකාව සහ ස්විට්සර්ලන්තය යන රටවල් වල සහයෝගය ලබා ගැනීමට නියමිතයි. දකුණු අප්‍රිකාව සත්‍ය සෙවීමේ කමිටුවක් හරහා වර්ණභේදවාදය නිසා සිදු වූ අපරාධයන්ට යම් තාක් දුරකට යුක්තිය ඉටු කරදීමට සමත් වූ අතර අප්‍රිකානු මහද්වීපයේම රටක් වන රුවන්ඩාව ද එලෙස බොහෝ දුරට රට තුළ සිදුවූ ජන සංහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව් කිරීමට සමත් වු රටවල් ය.

රුවන්ඩාව සහ දකුණු අප්‍රිකාව සත්‍ය හෙළිදරව් කළේ කොහොමද?

1994 වර්ෂයේ දී රුවන්ඩාවේ හුටු ජනවර්ගය විසින් එරට විසූ ටුට්සි ජනවර්ගය ඉලක්ක කරගෙන දැවැන්ත ජනසංහාරයක් සිදුකරන ලදි. එහි දී ආසන්න වශයෙන් ටුට්සි ජනතාව සහ ඔවුන් වෙනුවෙන් පෙනීසිටි අය ලක්ෂ අටක් පමණ ඝාතනය විය. තවත් බොහෝපිරිසක් වධහිංසා වලට ලක් වූ අතර ඇතැම් ටුට්සි කාන්තාවන් ලිංගික ශ්‍රමිකයන් ලෙස සිරකර තබා ගන්නා ලදි. මෙහි සත්‍ය හෙළි කිරීම සහ යුක්තිය ඉටු කිරීම පියවර තුනක් ඔස්සේ ක්‍රියාත්මක වූ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් පත් කළ අපරාධ විනිශ්චය සභාවක් හරහා සාක්ෂි රැස්කරන ලදි.

රුවන්ඩා ජාතික උසාවි පද්ධතිය මඟින් නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කළ අතර සංහාරයට සම්බන්ධ වූ 22දෙදෙනෙකුට 1998 දී මරණ දඬුවම ලබා දුන්නේ ය.

2006 වන විට සැකකරුවන් 10,000ක් පමණ හඳුනා හැනීමට ඔවුහු සමත් වූහ.

මෙහි කැපීපෙනෙන අංගයක් වූයේ ගචාචා (Gacaca) නමින් හැඳින් වූ බිම්මට්ටමේ ක්‍රියාත්මක වූ අධිකරණ ක්‍රමයයි. 2005 දී ආරම්භ වූ එයට ඒ ඒ ප්‍රදේශවලින් විනිසුරුවරුන් තෝරාගන්නා ලදි. ඔවුන් වින්දිතයන්ගේ ගම් වෙත ගොස් සාක්ෂි හා පැමිණිලි එකතු කළේ ය. 2012 වන විට එවැනි ගචාචා 12,000කින් පැමිණිලි හා ප්‍රකාශ මිලියන 1.2ක් එකතු කර තිබුණි.

දකුණු අප්‍රිකාවේ ද 1994 දී පමණ වර්ණභේදවාදය අවසන් කිරීමෙන් පසුව අලුතෙන් පත් වූ ආණ්ඩුව විසින් මෙලෙස සත්‍ය හෙළිදරව් කිරීමේ යාන්ත්‍රණයක් 1995දී ආරම්භ කරන ලදි. එහිදී වරදකරුවන්ට කමිටුව වෙත පැමිණ වරද භාරගතහොත් දඬුවම ලිහිල් කිරීමට කටයුතු කළ නිසා බොහෝ අය කමිටුව හමුවේ සත්‍ය හෙළිදරව් කර සාක්ෂි ලබා දෙන ලදි. එමෙන් ම වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් ඔවුන්ට සමාව ලබා දීමට එකඟ වන්නේ නම් සමාව ලබා දීමට ද කටයුතු කරන ලදි. අධිකරණ ක්‍රියාවලිය යටතේ ද පරීක්ෂණ පවත්වා දඬුවම් පැමිණවීම සිදුවිය.

එම රටවල් දෙකම සිය රටවල් තුළ සිදුවූ අපරාධ වහාම සෙවීම සඳහා කටයුතු කර තිබෙන අතර ඒ නිසාම ඔවුන්ට යුක්තිය ඉටුකිරීම හා සත්‍ය හෙළිදරවු කිරීමේ දී සාර්ථක වීමට හැකි ව තිබේ. එමෙන් ම ගචාචා වැනි යන්ත්‍රණයකින් ග්‍රාමීය මට්ටමට ගොස් වින්දියා මුණගැසී පැමිණිලි ලබා ගැනීම තුළින් යටපත්වීමට ඉඩ තිබූ අපරාධ පවා හෙළිදරව් විය. අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාද නොකර ඉක්මන් කිරීම ද එම රටවල් දෙකෙහිම නිරීක්ෂණය කළ හැකි ලක්ෂණයකි.

වින්දිතයන් මෙම කමිටුව විශ්වාස කළ යුතු ද?

ශ්‍රී ලංකාව තුළ සිදු වූ බවට සැලකෙන අපරාධ සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කිරීමට රජයට අවශ්‍යතාවයක් ඇති බවක් නොපෙණෙන බවත්, මෙම නව කමිටුව කෙරෙහි ජනතාව විශ්වාසය තැබීමට අදාල හේතුවක් රජය විසින් මෙතෙක් පෙන්වා නොමැති බවත් අප මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ මානව හිමිකම් ක්‍රියාධරයන් විසින් ප්‍රකාශ කරන ලදි.

"මේ කමිටුව තවත් ඇස් බැන්දුමක්"

දැනට පවතින අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය ශක්තිමත් කර සත්‍ය හෙළිදරව් කරගන්නවා වෙනුවට අලුතෙන්ම කමිටුවක් පත් කිරීම ඇස්බැන්දුමක් බව බීබීසී සිංහල වෙත අදහස් දැක් වූ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන රුකී ප්‍රනාන්දු පැවසුවේ ය. ඔහු පෙන්වා දෙන්නේ පවතින කාර්යාල ශක්තිමත් කිරීම හා අධිකරණ යාන්ත්‍රණය ඉක්මන් කිරීම සිදු නොකර නැවත නැවත විවිධ කමිටු පත් කිරීම ප්‍රතිඵල රහිත වැඩක් බවයි.

"අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පසුගිය අවුරුදු පහටම එකම අතුරුදහන් වුණ කෙනෙක් ගැනවත් සත්‍ය හෙළිදරව් කරන්න අසමත් වුණාට යම් යම් නඩුවලට අදාලව ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියෙන් යම්දුරකට සත්‍ය හෙළිවෙලා තියෙනවා. තරුණයන් එකොළොස්දෙනෙක් පැහැරගැනීම සම්බන්ධයෙන් නාවික හමුදාවට චෝදනා එල්ල වී ඇති නඩුව වගේම මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ නඩුවල ඔවුන්ට සිදු වුනේ කුමක්ද කියලා යම්තාක් දුරකට හෙළිදරව් කරගෙන තියෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ පරීක්ෂණවලින්මයි. මේ තරමට හරි සත්‍ය හෙළිවෙලා තියෙන්නෙ අධිකරණ ක්‍රියාවලියෙන්. ඒ නිසා අධිකරණ ක්‍රියාවලිය ඉක්මන් කිරීමත් වැදගත්."

ඔහු පෙන්වා දෙන්නේ එලෙස හෙළිදරව් වී ඇති සත්‍ය යටපත් කිරීමට මෙම නව කමිටුව පත් කරන්නේදැයි තමාට සැකයක් පවතින බවයි.

"මේක ජිනීවාවලට පෙන්වන්න හදන නාටකයේ කොටසක්"

අතුරුදන් වූවන්ගේ පවුල්වල එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ඔහුගේ සංවිධානය නියෝජනය කරමින් සත්‍ය සෙවීමේ කමිටුව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමට සම්බන්ධ වී තිබේ. එහි දී එම කමිටුව විනිසුරුවරුන් කණ්ඩායමකින් හා විදේශීය විශේඥවරුන් හා විදේශීය නිරීක්ෂකයන් කණ්ඩායමකින් සමන්විත බවට දැනුවත් කළ බව ඔහු පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නව කමිටුවක් ක්‍රියාත්මක කරවීමට මුදල් සම්පාදනය කරගන්නේ කෙසේද කියා මෙතෙක් රජය ප්‍රකාශ කර නොමැති බව බ්‍රිටෝ ප්‍රනාන්දු පවසයි.

අතුරුදන් වූවන්ගේ පවුල්වල එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ඔහුගේ සංවිධානය නියෝජනය කරමින් සත්‍ය සෙවීමේ කමිටුව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමට සම්බන්ධ වී තිබේ. එහි දී එම කමිටුව විනිසුරුවරුන් කණ්ඩායමකින් හා විදේශීය විශේෂඥවරුන් හා විදේශීය නිරීක්ෂකයන් කණ්ඩායමකින් සමන්විත බවට දැනුවත් කළ බව ඔහු පැවසුවේ ය.

"මේ කමිටුවට ගිහින් කෙනෙක්ට අතුරුදන් වූ කෙනෙක් ගැන සත්‍ය දැනගන්න ඕනෑ කිව්වොත් ඔවුන්ව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලටත්, වන්දි ලබා ගැනීමට අවශ්‍ය නම් හානිපූර්ණ කාර්යාලයටත්, යුක්තිය අවශ්‍ය නම් නීතිපති වෙතත් යොමු කරන බව අපට පැවසුවා. මේ ඔක්කොම ආයතන දැනට තියෙන ඒවා. ඒවාටම යොමු කරන්න ඇයි අලුත් කමිටුවක්?" ඔහු විමසයි. එමෙන් ම දැනට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ වැඩකටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය මානව සම්පත් සහ මුදල් නොමැති තත්ත්වයක් තිබිය දී නව කමිටුවක් ක්‍රියාත්මක කරවීමට මුදල් සම්පාදනය කරගන්නේ කෙසේද කියා මෙතෙක් රජය ප්‍රකාශ කර නොමැති බවද ඔහු පෙන්වා දුන්නේ ය. තවද මෙවැනි දේශීය යාන්ත්‍රණයකට උතුරේ හා නැගෙනහිර මානව හිමිකම් සංවිධාන රැස්වීමේදී විරෝධය පළ කළ බවද ඔහු පැවසුවේය.

රජය මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සුදානම් වන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පිළිතුරක් වශයෙන් බව ඔහු පෙන්වා දෙයි. "2015 දී රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටිය දී ශ්‍රී ලංකා රජය සම දායකත්වය දක්වමින් 30/1 යෝජනාව ගෙන ආවා. ඒ යෝජනාවෙ මේ සංවිධාන පිහිටුවන්න කියලා තිබුණා. නමුත් පහුගිය අවුරුද්දේ විදේශ ඇමති අලි සබ්‍රි ගිහින් ඒ යෝජනාවලට ශ්‍රී ලංකාව විරුද්ධ බව කියලා ඒ යෝජනාවලින් අයින් වෙලා ආවා. නමුත් ඔවුන් ඒ යෝජනාවේ කරන්න කියපු දේවල් කරනවා. ඔවුන් යෝජනාවෙන් ඉවත් වෙලා මේක කරන්න හේතුවක් තමයි එතකොට ඔවුන්ට එක්සත් ජාතීන්ගේ සුපරීක්ෂණයෙන් ගැලවෙන්න පුළුවන්. ඒ වගේම කමිටුවක් තියෙනවා කියලා නාටකයක් පෙන්වලා හැම අවුරුද්දෙම මාර්තු හා සැප්තැම්බර් මාසවලදි ජිනීවාවලට පෙන්වන්නයි හදන්නේ," ඔහු පවසයි.

"මිලිටරිකරණය වූ සන්දර්භයක් තුළ ප්‍රතිසංධානයක් අපේක්ෂා කරන්න බෑ"

මේ වනවිට කමිටු කිහිපයක් ම මඟින් ශ්‍රී ලංකාවේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් වාර්තා ලබාගෙන තිබියදී යළිත් ඒවා එක්‍ රැස්කරගැනීමට නව කමිටුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය කුමක්දැ'යි නීතිය හා සමාජ භාරයේ විධායක අධ්‍යක්ෂිකා සකුන්තලා කදිරගාමර් විමසයි.

"අපිට සත්‍ය දැනගැනීමට අවශ්‍යයි. අපට වගවීම අවශ්‍යයි. ඒ වගේම ප්‍රතිසන්ධානයත් අවශ්‍යයි. නමුත් විශල වශයෙන් මිලිටරිකරණය වුණ හා හිංසාකාරී සන්දර්භයක් තුළ අපට එවැනි දෙයක් අපේක්ෂා කරන්න බෑ"

එමෙන් ම පැරණි, සත්‍ය සෙවීමේ අරමුණින් පිහිට වූ කමිටු වාර්තා සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමක් මෙතෙක් සිදුව නොමැති බව ඇය පෙන්වා දෙයි. "මිනිස්සුන්ට මේක විශ්වාස කරන්න සාධාරණ හේතුවක් නෑ. මේකට බිම් මට්ටමේ සහයෝගය ලැබෙන්නෙ නෑ. හුදෙක්ම කාලය කා දැමීමක් තමයි වෙන්නෙ."

ශ්‍රී ලංකාව වර්තාමනයේ මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය නිසා වින්දිතයන් තවදුරටත් පීඩාවට පත්ව සිටින නිසා නව කමිටුවකින් නැවත ඔවුන්ට පැමිණ සාක්ෂි ලබා දෙන ලෙස පැවසුවද එය සාර්ථක නොවනු ඇතැයි, සකුන්තලා කදිරගාමර් පෙන්වා දුන්නේය .

"ආණ්ඩුව වින්දිතයන් ගැනත් සංවේදී විය යුතුයි"

සත්‍ය සෙවීමේ කමිටුවක මූලිකාංගවලට සමාන මූලිකාංග සහිත කමිටු 11ක් පමණ මෑත ඉතිහාසයේ ශ්‍රි ලංකාව තුළ යම් යම් කාලවලදි ක්‍රියාත්මක වූ බව ස්වාධීන පර්යේෂකයෙකු සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ හිටපු කොමසාරිස්වරයෙකු වන මිරාක් රහීම් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් වින්දිත පවුල් කමිටු කිහිපයක් ඉදිරියේ සිය ප්‍රශ්න ඉදිරිපත් කර ඇති බවයි.

"කමිටු හදන්න ලේසියි. ක්‍රියාත්මක කරවන්න අමාරුයි. ඒ නිසා වින්දිත පවුල් කමිටු කීපයකටම ගිහින් තියෙනවා. නමුත් යුක්තියක් නෑ. දැන් ඔවුන්ට ආපහු අලුත් කමිටුවකට එන්න කියනවා. මේ විදිහට ඒ මිනිස්සු කමිටු කීයකට ප්‍රකාශ දෙන්නද? ආණ්ඩුව මේ වින්දිතයන්ගේ පැත්තෙනුත් මේ ප්‍රශ්නය දෙස බැලිය යුතුයි."

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ වර්තමාන සන්දර්භය හඳුනාගෙන ඊට ගැලපෙන සත්‍යසෙවීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට දැන්වත් රජය මැදිහත්විය යුතු බවයි. රුවන්ඩාවේ ගචාචා ක්‍රමය ඒ රටට ගැලපෙන ක්‍රමයක් ලෙස ඔවුන් නිර්මාණය කරගත් බවත් ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාවට ගැලපෙන ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර යුතු බව රහීම් පවසයි.

"ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ සත්‍ය හෙළිදරව් කරන්න.යුද්ධය ඉවර වෙලා අවුරුදු පහළොවකටත් ආසන්නයි. දැන්වත් අපට ගැලපෙන යාන්ත්‍රණයක් මේ සඳහා නිර්මාණය කළ යුතුයි."