චීනයෙන් ශ්‍රී ලංකාවට හානිකර ක්ෂුද්‍ර ජීවීන් පැමිණියා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රුපියල් බිලියන 12.9ක් ගෙවා චීනයෙන් ගෙන්වීමට නියමිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000ක හානිකර ක්ෂුද්‍රජීවීන් අඩංගු බැවින්, ඒවා මෙරටට ගෙන්වීමෙන් කෘෂිකාර්මික ව්‍යසනයක් සිදුවනු ඇතැ යි ශ්‍රී ලාංකික විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.
චීනයෙන් ගෙන්වූ කාබනික පොහොර සාම්පල පරීක්ෂාවේ දී "Erwinia" සහ "Bacillus" නම් ගණයන්ට අයත් ක්ෂුද්‍රජීවීන් හමුවිය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යාව සම්බන්ධ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ බීබීසී සිංහල සමඟ ප්‍රකාශ කළේ, Erwinia ගණයේ ක්ෂුද්‍රජීවීන් විශේෂයෙන්ම කෘෂිකාර්මික බෝගවලට විශාල හානියක් සිදුකළ හැකි ජීවීන් බව යි.
කෙසේ නමුත්, "රජය ආනයනය කරන කාබනික නයිට්‍රජන් පොහොරවල සත්ත්ව, ශාක හා මිනිසාට අහිතකර ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජිවීන් සිටින බවට සමාජ මාධ්‍ය හා ඇතැම් ජාතික මාධ්‍යන්හි පලවන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව" පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Nalika Priyanwada Ranathunge
මහ කන්නයට පොහොර චීනයෙන්
ශ්‍රී ලංකා රජය පසුගිය මැයි මාසයේ දී රසායනික පොහොර ආනයනය හදිසියේම නවතා දැමුවේ රටට අවශ්‍ය කාබනික පොහොර මෙරට තුළම නිපවදවා ගොවීන්ට හිඟයකින් තොරව ලබාදෙන බව පවසමින් ය. එහෙත් සැලසීම කළ පරිදි මෙරට කාබනික පොහොර නිෂ්පාදනය සිදු නොවිණි. එනිසා, සැප්තැම්බර් මාසයේ දී ඇරඹෙන මහ කන්නයේ වී වගාව සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජය තීරණය කෙරිනි.
අගෝස්තු මස 5 දා නිකුත් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව, මුහුදු පැළෑටිවලින් නිපදවන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99 000ක් 'කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප්' නම් චීන සමාගමකින් ගෙන්වීමට තීරණය වී ඇත. ඒ සඳහා රජය විසින් අනුමත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 63.6කි.
අගෝස්තු මස 31 දා මෙම පොහොර සාම්පල දෙකක් ජාතික පොහොර ලේකම් කාර්යාලයය මඟින් ජාතික ශාක නිරෝධායන සේවයට ලබා දීමෙන් අනතුරුව සිදුකෙරුනු පර්යේෂණවලින් පෙන්නුම්කර තිබුණේ, මෙයින් එක් සාම්පලයක "Erwinia" සහ "Bacillus" යන ගණයන්ගේ ක්ෂුද්‍රජීවීන් බහුලව සිටිනබවත්, අනෙක් සාම්පලයේ "Bacillus" ගණයට අයත් බැක්ටීරියාවන් සිටිනබවත් ය.
එනමුත්, රජයෙන් ආනයනය කළ කාබනික පොහොරවල ක්ෂුද්‍රජීවීන් ඇතැ යි පැතිර යන ප්‍රවෘත්ති අසත්‍යක් බවට සැප්තැම්බර් 14 දා ප්‍රකාශ කළ කෘෂිකර්ම අමාත්‍යංශය, "ආනයනික කාබනික පොහොර භාවිත කිරීමට කිසිදු බයක් සැකක් ඇතිකර නොගන්නා ලෙස" ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
එසේම සැප්තැම්බර් 17 දා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් නම් කෙරුනු ස්වාධීන පරීක්ෂණාගාරයක සිදුකළ නිරීක්ෂණයන්ට අනුව, ආනයනික පොහොරවල එම අන්දමේ ක්ෂුද්‍රජීවීන් නැතැ යි පැහැදිලිව සඳහන්කර ඇතිබව යි.

ඡායාරූප මූලාශ්‍රය, Sanergy
ක්ෂුද්‍රජීවීන් හමුවූයේ තම දෙපාර්තමේන්තුව විසින් අවිධිමත් ක්‍රමයකින් ගෙන්වාගත් පොහොර සාම්පලයකින්යැ යි සඳහන් කරන අමාත්‍යවරයා, "නිකම් මේ ප්ලාස්ටික් බෑග් එකක තමයි මේ පොහොර ඇවිල්ල තියෙන්නේ. ඕනම කෙනෙකුට පුළුවන් මේ පොහොරට පොඩි ඉන්ජෙක්ෂන් කටුවකින් පොඩ්ඩක් ගැහුවොත් මේ සාම්පල් සම්පූර්ණයෙන්ම වෙනස්වෙනවා" යි ද ප්‍රකාශ කළේ ය.
කෙසේ නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා ඊයේ (සැප්. 28) ප්‍රකාශ කළේ චීන සමාගමෙන් ගෙන්වූ පොහොර වල නව සාම්පලයක් පරික්ෂා කිරීමෙන් අනතුරුව එහි ද අහිතකර ක්ෂුද්‍රජීවීන් සිටින බවට තහවුරු වූ බව යි.
නව සාම්පලයේ සිටින්නේ Erwiniaමදැ යි තහවුරුකර ගැනීමට නොහැකි නමුත්, එහි අහිතකර ක්ෂුද්‍රජීවීන් සිටිතැ යි නිශ්චිතවම පැවසිය හැකිබව ඔහු ප්‍රකාශ කළේ ය.
තමා අදාළ චීන සමාගමෙන් පොහොර ආනයනය කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන්නේයැ යි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළ ද, රජය මේ සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් තවමත් නිකුත්කර නැත.

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Saman Dharmakeerthi
"අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ"
පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පාංශු ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ ආචාර්ය වර්ශි දන්දෙනිය පළමු පොහොර සාම්පලවලින් හමුවූ "Erwinia" ගණයෙහි ක්ෂුද්‍රජීවීන්ගේ හානිකරබව BBC හා විස්තර කළා ය.
දැනට, ලෙඩරෝග ඇතිකරන Erwinia විශේෂ 30ක් පමණ හඳුනාගෙන ඇතත්, එයින් ලංකාවෙන් දැනට වාර්තා වන්නේ විශේෂයන් 2ක් පමණක් බවත්, එම විශේෂයන් දෙක ද වාර්තා වන්නේ යම් යම් ප්‍රදේශයන් කීපයකින් පමණක් බවත්, එනිසා ඒවා එම ප්‍රදේශවලට සීමාකර තබා ගැනීම පහසුබවත් ඇය පවසයි.
"නමුත් අපි දැන් පොහොරක් ගේනකොට ඔය පොහොරේ ඉන්නවා නම් Erwinia - ඔය වෙනත් වර්ග 28ක් ඉන්නවානේ මෙහෙ නැති - ඒවායින් එක්කෙනෙක් වුණොත් රිස්ක් එකක් තියෙන්නේ. අපි ඒ පොහොර ගෙනැල්ලා රට පුරා බෙදලා කෙලින්ම පසට නේ එකතු කරන්නේ, එහෙම වෙනකොට පාලනයකින් තොරව අර වගේ රෝගයක් පැතිරීමේ ඉඩකඩ වැඩියි," ආචාර්ය දන්දෙනිය සඳහන කළා ය.
කැරට් වැනි බෝගවල අස්වනු නෙලද්දී අලයේ ඇතිවන සියුම් සීරුම්වලින් එය තුළට ඇතුළු වන බැක්ටීරියාව, එම බෝගය වෙළඳපොළට ගෙන ඒමට ගතවන කාලයේ දී එළවළුව කුණුවීමට ලක් කරන බව ආචාර්යවරිය විස්තර කළා ය. මේ වන විට ද, Erwinia වැනි බැක්ටීරියා වර්ග බොහොමයක් හේතුවෙන් මෙරට පසු අස්වනු හානිය ඉතා ඉහළබව ඇය සඳහන් කරයි. එයින් 'මෘදු කුණුවීම' නම් රෝගය ඇතිකරයි.
Erwinia වලින් හානි ගෙනදෙන බෝගයන් අතරට කැරට්, අර්තාපල්, නෝකෝල්, බීට් වැනි අල බෝගත්, ගෝවා, සලාද වැනි එළවළුත්, කෝමාරිකා සහ වාණිජ වගාවන් වශයෙන් සිදුකෙරෙන ඩ්‍රසීනා, ඕකිඩ් වැනි මල් වර්ගත් අයත් ය.

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Agriculture
"ක්ෂුද්‍ර ජීවීන්ගේ විශේෂත්වය තමයි පොහොරත් එක්ක මේ අයව පසට දැම්මම, දාපු තැනම ඉන්නේ නෑනේ. එයා ජීවියෙක්, එයා ගුණනය වෙනවා. එයා ගහණය වැඩිකර ගන්නවා පොහොර ඇතුළේ ඉන්නකොටත්. පසට වැටුනම ඒක තවත් වැඩිවෙනවා. ඉතින් පසේ දී එයාව අපට නවත්තන්න බෑ. පසුත් එක්ක හතර වටේ යන්න පුළුවන්. හිතන්නකෝ, දැන් උඩරට ප්‍රදේශයක හරි කොහෙහරි ජලාශයක් ආශ්‍රිතව ඔය පොහොර යෙදුවොත්, අර මතුපිට හෝදගෙන යන පස් එක්ක, ජලය එක්ක එයා හතර වටේ පැතිරෙන්න පුළුවන්."
"අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ කියන්නේ? අන්න ඒ වගේ තමයි. මෙයාලා පසට දැම්මොත්, දැම්මාම තමා. ආයේ ඉතින් එකතු කරලා පාලනය කරන්න බෑ," ආචාර්ය දන්දෙනිය අවධාරණය කළා ය.
මෙරටට පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් බලපාන නීති විස්තර කරමින් ආචාර්යවරිය අප හා පැවසුවේ "ආනයනික ඝන කාබනික පොහොරවල ක්ෂුද්‍ර ජීවීන් සිටිය නොහැකි බවට" SLS ප්‍රමිතියක් ඇතිබව යි. ශාක නිරෝධායන සේවයේ වගකීමක් වන්නේ එම ප්‍රමිතීන්ට පොහොර සාම්පලයන් අනුකූලදැ යි පිරික්සුම බව ඇය සඳහන් කළා ය.
Erwinia බැරිවෙලාවත් අපේ පසට එකතු වුණොත්?
පොහොරත් සමග පැමිණෙන Erwinia යම් හෙයකින් අප රටේ පසට එකතු වුවහොත් කුමක් විය හැකිදැ යි කළ විමසීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පැවසුවේ, එයින් අපගේ කෘෂිකර්මාන්තය මෙන්ම පරිසර පද්ධතියටත් නැවත හැරවිය නොහැකි හානියක් සිදු වන බවයි.
"විශේෂයෙන්ම කුඹුරක පසක් වගේ එකකට මේ අලුත් ක්ෂුද්‍ර ජීවියෙක් යනවා කියන්නේ, ඒකෙන් බෝගයට, බෝගයේ වර්ධනයට, අවසානයේ අස්වැන්නට ඇතිවෙන හානිය අපට ආපස්සට හරවන්නට බැරිවෙනවා... විවිධ රෝගකාරකයන් ඇතිවීම තුළින් අපි මෙතෙක්කල් නොදැකපු අනිසි ප්‍රතිඵල අපේ බෝගවලට ඇතිවෙන්න පුළුවන්, වී වගාවත් ඇතුළත්ව. එවිට ඒවා වෙනුවෙන් වැය කරන්න වෙන වියදම, කාලය, ශ්‍රමය අපට මේ වෙලාවේ ගණනය කරන්න බෑ. ඉතා දරුණු තත්ත්වයකට තමයි එහෙම වුණොත් අපි මුහුණ දෙන්නේ."
"පහුගිය කාලයක් තිස්සේ අපට ආරංචි වුණා කීලේටගත ඛණිජ, ලවණ වගේ දේවල් තමයි ලංකාවට ගේන්නේ කියලා. අපි ඒ ගැන බොහොම පැහැදීමකිනුත් හිටියනේ ඇත්තටම. කාබනික ද්‍රව්‍ය ලංකාවට ගෙනාවා කියලා ආරංචි වෙලා, ඒවගේ තත්ත්වයක් උදාවුණාට පස්සේ තමයි මේ කථිකාවත නැවත ඇතිවෙලා තියෙන්නේ. නැතුව අපි රටේ කරන්න යන කර්තව්‍යයට සහායදීමක් තමයි දිගටම කරන්න උත්සාහ කළේ."
"හැබැයි, පෙනි පෙනීම ලංකාවේ කෘෂිකර්මාන්තයට අවැඩක් වෙන්න යනවා නම්, මං හිතන්නේ ඒක තමයි අද විද්‍යාඥයෝ මේ ඉස්සරහට ඇවිල්ලා කතා කරන්නේ," මහාචාර්ය මාරඹේ ප්‍රකාශ කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Senal Weerasooriya
"අද මිනිස්සු මේ එලියට ඇවිල්ලා කෑගහන්නේ අවශ්‍යතාවයට නේ. කෙනෙකුට කියන්න පුළුවන් දේශපාලනයක් තියනවා කියලා, තව කෙනෙකුට කියන්න පුළුවන් පොහොර ගෙන්වන සමාගම්වලින් සල්ලි ගත්තා කියලා. ඒ කොයි දේ කිව්වත්, එතන අවශ්‍යතාවය පැහැදිලි කරන්නේ හොඳ විද්‍යාත්මක දැනුමක් සහිතව. නිකන් කටට ආවට කියන දේවල් නෙවෙයි මේවා."
"තේ වගාකරුවෝ බලන්නකෝ උදාහරණයක් හැටියට. ඔවුන් ඉතා පැහැදිලිව කිව්වා තමන්ට අනාගතයේ වෙන දේ. අපටත් කලින් කතා කළා ඒගොල්ලෝ, ඒ ගොල්ලන්ට දශක ගණනාවක තියෙන පළපුරුද්ද මත. අද තමයි අපි තේ වගාව ගැන කතා කරන්නේ. බහු වාර්ෂික බෝගයක්, මුල දී ආපු පොහොර ප්‍රමාණය දැන් ඉවරවෙලා තියෙනවා. දැන් ටිකෙන් ටික, ටිකෙන් ටික තේ වගාවටත්, අපට විදේශ විනිමය උපයලා දෙන බෝගයටත්, මේ බලපෑම ඇතිවෙමින් පවතිනවා."
කෘෂි කර්මාන්තයෙන් ඉදිරියට යෑමට අවශ්‍ය නම්, ආහාර සුරක්ෂිතතාව ගැන හැඟීමක් ඇත්නම්, විද්‍යාත්මකව පිළිගත්, ප්‍රායෝගිකව අත්දුටු යහපත් කෘෂිකාර්මික පිළිවෙත්වලට අනුගතවීම අත්‍යවශ්‍යබව ඔහු සඳහන් කරයි.
"කාබනික පොහොර භාවිතයෙන් කෘෂිකර්මාන්තය අනාදිමත් කාලයක සිට කෙරෙමින් පවතිනවා. මේකේ එහෙම කිසි ගැටලුවක් නෑ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, විශ්වවිද්‍යාල හැමදෙනාම කියන්නේ කාබනික ද්‍රව්‍ය සමග කෘත්‍රිම රසායනික පොහොර, එහෙම නැත්නම් වෙන පෝෂක ලබාදෙන කෘත්‍රිම ද්‍රව්‍ය එකට යොදන්න කියලා."
"එතකොට තමයි පොහොර භාවිතයේ කාර්යයක්ෂමතාව වැඩිවෙන්නේ. ඒක 'අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි' කියනවා වගේ දෙයක්, මොකද පර්යේෂණවලින් හොඳටම පැහැදිලි වෙලා තියෙන්නේ ඉතාම සුදුසු ආකාරය හැටියට. මෙතන මේ ගැටලුව පැන නැගලා තියෙන්නේ සියලුම කෘත්‍රිම රසායනික පොහොර කියන එක ඉවත් කරලා, වැඩියෙන් පෝෂක ලබාදෙන්න පුළුවන් පොහොර වර්ග ඉවත් කරලා, ඉතාම අඩු සාන්ද්‍රණයකින් යුතු පෝෂක තියෙන කාබනික පොහොරවලින් පමණක් කෘෂිකර්මාන්තයේ උන්නතිය තීරණය කරන්නට යෑම නිසා," යනුවෙන් ඔහු පැවසීය.









