මහ කන්නයේ “අතපසුවීම්” යල කන්නයේ දී නිවැරදි වෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, Gotabaya Rajapaksa/Facebook
"ගිය කන්නයේ යම් අතපසුවීම් වුණා. මේ කන්නයේ එවැනි අතපසුවීම් නොවෙන්න අප ක්‍රියාකරනවා," ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා මෙලෙස ප්‍රකාශ කළේ මහ කන්නයේ වගාව ගැන සඳහන් කරමිනි.
රසායනික පොහොර ආනයනය එකවරම තහනම් කරමින්, කාබනික පොහොර ක්ෂණිකව හඳුන්වාදෙමින් ආරම්භ කළ මහ කන්නයේ වගාව අර්බුදයට ලක්වූයේ ගොවීන්ට නිසි කලට ප්‍රමාණවත් පොහොර නොලැබීම හේතුවෙන් ය.
මේ හේතුවෙන් තම අස්වැන්න 50%කින් පමණ අඩුවී ඇති බවට ගොවිහු මැසිවිලි නඟති. දැන් ගොවි ජනතාවගේ උත්සාහය යල කන්නය සාර්ථකකර ගැනීමට යි.
යල කන්නයට සූදානම
මෙවර යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර ලක්‍ෂ හයක් පමණ වගා කිරීමට අපේක්‍ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ ය. මහ කන්නයේ හෙක්ටෙයාර් ලක්ෂ අටකට ආසන්න කුඹුරු ප්‍රමාණයක වගා කටයුතු සිදුකෙරිණ.
මේ වන විට මහ කන්නයේ වී අස්වනු නෙලීම අඩකින් පමණ අවසන් කර ඇත. තවමත් ප්‍රදේශ රැසක මහ කන්නයේ වී ඇස්වනු නෙලීමට නියමිතව ඇතැ යි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. අනතුරුව යල කන්නයේ වගාව සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ වනු ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මෙවර යල කන්නයට කලින්ම ජලය නිකුත් කිරීමට හැකිවනු ඇති බව යි.
කන්න රැස්වීම්වලින් පසු යල කන්නය සඳහා ප්‍රමාණවත් පරිදි ගොවීන් වෙත ජලය නිකුත්කිරීමට පියවර ගන්න බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
ජනපතිගේ පොරොන්දුව
පසුගිය දා, මහවැලි රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය පිළිබඳ පැහැදිලි කළේ ය.
"අප මේ රටේ වැඩි කොටසක් ඉන්න ගොවි ජනතාව කෙරෙහි විශ්වාසය තබනවා. තමුන්නාන්සේලාට පොහොර නොමිලේ දෙනවා කිව්වා. කිව්වා වගේම දුන්නා. ඒ වාගේම අප වීවල සහතික මිල වැඩි කරනවා කියා කිව්වා. අප මිල වැඩි කළා. හරිත කෘෂිකර්මාන්තයක් ආරම්භ කරනවා කියා ඔබට අප පොරොන්දු වී තිබෙනවා. අවසානාවකට ගොවි ජනතාව අතරට නිවැරදිව ඒ සංකල්පය ගෙනයන්න බැරි වුණා. ඔවුන් දැනුම්වත් කරන්න බැරි වුණා."
ජනාධිපතිවරයා චෝදනා කර සිටියේ මේ හේතුව නිසා විපක්ෂයේ ඉගැන්වීම් යටතේ විවිධ උද්ඝෝෂණ පැවැත්වුණු බව යි.
"අප මේ තීරණය ගත්තේ ගොවි ජනතාව ජීවත්වන ප්‍රදේශවල ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම ගැන සිතා යි. ඒ වගේම පස පිරිහීම සම්බන්ධව සිතා යි. පරිසරය විනාශවීම ගැන සිතා යි. ජල මූලාශ්‍රවල විනාශවීම සම්බන්ධව අධ්‍යනයන කරලා යි. මේ තීරණය ඉදිරි පරම්පරාව වෙනුවෙන් ගත්ත තීරණය යි."
"කාබනික පොහොර කියන්නේ, කොළ ටිකක් එකතුකර පොහොර හදන එක නොවෙයි. එහි තාක්ෂණය ඉතා ඉහළට ගිය එකක්. කාබනික පොහොර යොදා රාසායනික තරමටම අස්වැන්න ගන්න පුළුවන්. නමුත් අප ඒ ගැන ගොවියා දැනුවත්කරන්න ඕනෑ. ගොවියාට තමන්ගේ ආදායම වැඩි කරගන්න ක්‍රමයක් හදන්න ඕනෑ. ඒකට ගොවි ජනතාව හරි ආකාරව දැනුම්වත් කළ යුතු යි," ජනපතිවරයා ප්‍රකාශ කළේ ය.
"ගිය කන්නයේ යම් අතපසුවීම් වුණා. මේ කන්නයේ එවැනි අතපසුවීම් නොවෙන්න අප ක්‍රියාකරනවා. බඩ ඉරිඟු වගේ සමහර බෝගවලට රාසායනික පොහොර අවශ්‍ය යි. අප ඒකට ඉඩ දී තියෙනවා. විශේෂයෙන්ම අප අපේ රටේ නිෂ්පාදන දියුණුකර ගන්න අවශ්‍ය යි. ඒක තමයි අපේ රටේ ප්‍රතිපත්තිය.
"අප අපේ තරුණ පරපුරට තාක්ෂණික ගොවිතැන හඳුන්වා දෙන්න අවශ්‍ය යි. ඒ අය පැරණි විදියටම ගොවිතැන් කරන්න කැමති නැහැ. ඔවුන්ට තාක්ෂණික ක්‍රම භාවිතා කරන්න පුළුවන්. ඔවුන්ට ව්‍යවසායකයන් වෙන්න පුළුවන්. ගොවි නිෂ්පාදන ප්‍රයෝජනයට අරගෙන, ඔවුන්ට ඒවා පිටරට යවන්න පුළුවන්. ඒ හරහා කර්මාන්ත ආරම්භ කරන්න පුළුවන්. මේවා තමයි අපේ තරුණ තරුණයන් අතරට ගෙනයන්න ඕනෑ. ඒ සඳහා තරුණ පරපුර අප කෘෂිකර්මාන්තයට, ආහාර සුරක්ෂිතතාවට යොමු කරවන්න ඕනෑ," ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ය.
මහ කන්නයේ වගා හානිවූ ගොවීන්ට 50,000කට යටත්ව දිරි දීමනාවක්
2021 මහ කන්නයේ වගා හානි සඳහා හෙක්ටයාරයකට රුපියල් 50,000කට යටත්ව දිරි දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇතැ යි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියේ ය.
2021 සහ 2022 වර්ෂවල මහ කන්නයේ වී අස්වැන්න අඩුවීම හේතුවෙන් බලපෑමට ලක්වන ගොවීන්ගේ ආදායම් මට්ටම සුරක්ෂිත කිරීම සඳහා වී කිලෝග්‍රෑම් එකකට රුපියල් 25 බැගින් වූ වන්දි මුදලක් ගෙවීම සඳහා සුදුසු ක්‍රමවේදයක් මහා භාණ්ඩාගාරය විමසමින් සකස් කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබිණ.
ඒ අනුව අදාල නිර්ණායක පදනම්කර ගනිමින් ගණනය කරනු ලබන වන්දි මුදල, ඇගයීම් දිරි දීමනාවක් වශයෙන් උපරිම වගා වපසරිය අක්කර පහක ප්‍රමාණයට ලබාදීමටත්, යැපුම් මට්ටමේ කුඩා පරිමාණ ගොවීන්ට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ට ද අදාල ඇගයීම් දිරි දීමනාව ලබාදීමටත් හැකි වන පරිදි ක්‍රමවේදයක් ද මේ වන විට සකස්කර තිබේ.
එම දිරි දීමනාව හෙක්ටයාරයකට රුපියල් 50,000කට යටත්ව මේ සතියේ සිට ගෙවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය දා සඳහන් කළේ ය.
යල කන්නය සඳහා බන්ඩි පොහොර
යල කන්නයේ වී වගාව සඳහා මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මියුරියේට් ඔෆ් පොටෑෂ් සුලබව යොදන පොටෑසියම් පොහොරක් වන අතර, ගොවීන් වී වගාව සඳහා බන්ඩි පොහොර ලෙස මෙය භාවිත කරනු ලබයි.
ඒ අනුව ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේද අනුගමනය කරමින් එකී පොහොර ප්‍රමාණය ආනයනය කිරීමටත්, රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ මෙම පොහොර ගොවීන් වෙත ලබාදීමටත් කෘෂිකර්ම අමාත්‍යංශය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
යල කන්නයේ වී වගාව සඳහා මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික් ටොන් 38,500ක් ආනයනය කිරීමට අනුමැතිය හිමිව ඇත.









