''ජනාධිපති 13 වැනි බදාදා ඉල්ලා අස්වෙනවා. සන්සුන්ව කටයුතු කරන්න''

පක්ෂ නායක රැස්වීම

ඡායාරූප මූලාශ්‍රය, Rauff Hakeem

කතානායකට ජනාධිපති ධූරය භාර ගන්නැයි පක්ෂ නායකයන් කළ ඉල්ලීම ජනපතිට දැනුම් දෙයි.

ව්‍යවස්ථානුකුලව ජනාධිපති ධූරය භාර ගන්නැයි පක්ෂ නායකයන් කළ ඉල්ලීම තව ස්වල්ප මොහොතකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන බීබීසීයට පැවසුවේය.

ඒ අනුව කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දෙන ලද තීරණය සහ ඔහු විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේය.

''අද දින පක්ෂ නායකයින්ගේ රැස්වීමෙන් අනතුරුව එළඹී එකඟතාවය අනුව මා විසින් එම තීරණය ජනාධිපතිවයාට පෞද්ගලිකව දන්වන ලදී. ඔහු විසින් එම තීරණය ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කළ නමුත් සාමකාමිව පාලනය භාරදීමේ අවශ්‍යතාවය නිසා ඔහුගේ ඉල්ලා අස්වීම 13 වන බදාදා දින සිඳුකරන බව රටට දන්වන ලෙස මා වෙත දැනුම් දෙන ලදී.''

''එබැවින් තවදුරටත් රටේ නොසනුන්තාවයක් ඇති කිරීමට අවශ්‍ය නොවන බැවින් සාමකාමිව පාලනය භාරගැනීමට හැකි වන පරිදි රට සන්සුන්ව තැබීමට ඔබ සියලුදෙනාගේම සහයෝගය රට වෙනුවෙන් සහ අපේ රටේ අනාගතය වෙනුවෙන් ලබාදෙන ලෙස මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.''

''මේ වන විට ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ පෞද්ගලික නිවසට ගිනි තබා විනාශකර ඇති අතර ඇතැම් පිරිස් ප්‍රචණ්ඩත්වය මුදාහැරීමට කටයුතු කර ඇත. එබැවින් තවදුරටත් එම ක්‍රියාවලට මැදිහත් නොවී සාමකාමිව නිවෙස්වලට විසිර යන ලෙස සියලුදෙනාගෙන්ම වගකීමෙන් යුත්තව ඉල්ලා සිටිමි.''

''එසේම මෙම කටයුතු සාර්ථකව අවසන් කරන තෙක් රටේ දෛනික කටයුතු සාමන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙසට සියලුම රාජ්‍ය සේවකයින්ගෙන් හා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමි.''

පක්ෂ නායකයන් කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දෙයි
Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් විය යුතු බවත් ව්‍යවස්ථානුකුලව ජනාධිපති ධූරය තමන්ට භාර ගන්නැයි පක්ෂ නායකයන් ඉල්ලා සිටි බවත් කතානායකවරයා තහවුරු කළේය. ඒ පවතින තත්වය හමුවේ අගමැතිවරයා විසින් අද සවස හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමෙන් අනතුරුවයි.

එම ඉල්ලීම සම්බන්ධයෙන් කතානායකවරයාගේ ස්ථාවරය බීබීසීය විමසන ලදී.

''ඒකට මට එකඟ වෙන්න දෙයක් නෑ. ඒක ව්‍යවස්ථානුකුල රාජකාරියනේ. ඒක ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ගන්න ඕනා තීරණයක් " යනුවෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රතිචාර දක්වන ලදී.

එබැවින් පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔහු පක්ෂ නායකයින්ගේ මෙම නිර්දේශයට එකඟ වන බව වැඩි දුරටත් පවසා සිටියේය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා ඉවත්වීමට මුලින් අකමැත්ත ප්‍රකාශකළ බවට මාධ්‍ය සඳහන් කළද අග්‍රාමාත්‍යවරයා මේ වනවිට පවසන්නේ තමන් ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට සූදානම් බව පක්ෂ නායකයින්ට ප්‍රකාශ කළ බවයි.

දීප ව්‍යාප්ත ඉන්ධන බෙදා හැරීම මේ සතියේදී යළි ආරම්භ කිරීමට නියමිත බවත්, ලෝක ආහාර වැඩසටහනේ අධ්‍යක්ෂවරයා මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිත බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් සැලකිල්ලට ගෙන තමන් මෙම තීරණය ගන්නා බව ඔහු පැවසූ බවට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.

අරගලකරුවන් දහස් ගණනක් අද (ජූලි 09) කොළඹට එක් රැස් වී ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කරගෙන ඇති පසුබිමක මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම පැවැත්වුණි.

මේ අතර ගෝඨාගෝගම අරගලකරුවන් විසින්ද මාධ්‍ය හමුවක් කැඳවා තිබේ. එහිදී ඔවුන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සිය ධූර වලින් ඉල්ලා අසවිය යුතුයැයි පවසමින් රට පාලනය කිරීමේ සය වැදෑරුම් වැඩපිළිවෙලක් අරගලකරුවන් ප්‍රකාශයට පත්කර සිටියේය.

මූලික තේමාවන් හයක් යටතේ එළිදක්වා ඇති එම වැඩ පිළිවෙලේ කරුණු:

  • ගෝඨාභය රාජපක්ෂ වහාම විධායක ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය.
  • රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ රෙජීමය ඇතුළු ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුය.(කැබිනට් - කැබිනට් නොවන - නියෝජ්‍ය - ව්‍යාපෘති ආදී සියලු අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂවරු, උපදේශකවරු, රාජ්‍ය ආයතන සහ සංස්ථා සභාපතිවරු, තානාපතිවරු ඇතුළු පිරිස.)
  • ගෝඨා - රනිල් ආණ්ඩුව ඉවත් වීමෙන් පසුව ජනතා අරගලයේ ආර්ථික, සමාජයීය, දේශපාලන අරමුණු සහ අභිප්‍රායයන්ට අනුකූල අන්තර්කාලීන පාලනයක් බිහිවිය යුතුය.
  • ගෝඨාභය බලයෙන් පහ කිරිමෙන් අනතුරුව ජනතා බලය සහතික කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා තෙක්,විධායක බලතල කප්පාදු කිරීම,නීතිය සැමට සාධාරණ කිරීම,ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම ආදිය සඳහා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කඩිනමින් කළ යුතුය.
  • ජනතා බලය සහතික කෙරෙන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයක් මගින් කඩිනමින් සම්මත කළ යුතුය.
  • අන්තර්කාලීන පාලනයේ මූලික අරමුණ ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම වන අතර, එලෙස ගොඩනැගෙන අන්තර් කාලීන පාලන ව්‍යුහය මාස 12ක උපරිම කාලසීමාවට යටත්ව නව ආණ්ඩුක්‍රම වයවස්ථාවක් සම්පාදනය කිරීම සමගින් අවසන් විය යුතුය.

ඉහත සියල්ල ඉටු කරන තෙක් පොදුජන අරගලය නව ආකෘතීන් යටතේ ක්‍රියාත්මක වනු ඇත යනුවෙන් ඔවුන් පැවසීය.