ජනපති ගෝටාභය ඉන්ධන මිළට ගැනීම සඳහා පුටින්ගේ සහාය පතයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉතා දරුණු ආර්ථික අර්බුදයකට මේ වන විට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීම සඳහා සහාය දෙන මෙන් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ රුසියාවේ ජනපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලා සිටිබව ජනපතිවරයා ඊයේ නිවේදනය කළේ ය.
තමා ජනපති පුටින් සමග "ඉතා ඵලදායී සාකච්ඡාවක්" සිදුකළබව ජනපති ගෝටාභය ප්‍රකාශකර තිබේ.
නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාව සතු පෙට්‍රල් සියල්ල අවසන් වෙතැ යි ගෙවුණු සති අන්තයේ දී බලශක්ති අමාත්‍යවරයා නිවේදනය කිරීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව සිදුවිය.
බදාදා (ජුලි 6) ද සියගණනක් ජනයා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල මාර්ගවල විරෝධතාවන් සිදුකළහ. මේ අතර අද (ජූලි 7) ඉන්ධන ලබාගැනීමට පෝලිමේ රැඳී සිටි පුද්ගලයින් දෙදෙනකුගේ මරණ දෙකක්, එකක් පයාගලින් හා අනෙක කොළඹ බම්බලපිටියෙන්, වාර්තාවිය.
අද (ජුලි 7) පස්වරු 4ට ලිප්ටන් වටරවුමේ දී ද, හෙට (ජුලි 8) සවස්යාමයේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරනා විරෝධතාවක් කොළඹ දී ද පැවැත්වීමට නියමිත අතර, ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් විරෝධය දක්වන නීතිඥයින් වැනි වෘත්තිකයින් ද ඇතුළු පුළුල් ජන සහභාගීත්වයෙන් යුත් සාමකාමී මහජන විරෝධතාවක් ජුලි 9 (සෙනසුරාදා) උදෑසන සංවිධානාත්මකව කොළඹ කොටුවට පැමිණීමට නියමිත ය.
කොළඹ ගාලු මුවදොර පිටියේ පිහිටුවන ලද ගෝටාගෝගමට ද අදට (ජුලි 7) දින 89ක් සපිරෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Tharindu Uduwaragedara/Facebook


ඡායාරූප මූලාශ්‍රය, Inter University Students' Federation
"මා ඉන්ධන ආනයනය සඳහා ණය ආධාරයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටියා," ජනපති ගෝටාභය තමා රුසියානු නායකයා සමග සිදුකළ සාකච්ඡාව පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.
තමා මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් අරඹන්නැ යි "යටහත්ව ඉල්ලා සිටිබව" ද ජනපති ගෝටාභය ප්‍රකාශ කළේ ය. පසුගිය මාසයේ දී රුසියානු ජාතික ගුවන් සේවය වන එයරොෆ්ලොට්හි යානයකට ශ්‍රී ලංකාව පැනවූ වාරණයක් හේතුවෙන් එම සමාගම ලංකාවට සේවා සැපයීම අත්හිටුවීය.
"අප ජාතීන් දෙක අතර ඇති මිත්‍රත්වය ශක්තිමත් කිරීම උදෙසා සංචාරක, වෙළඳ, සහ සංස්කෘතික වැනි අංශවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අතිශයින් වැදගත්බවට අපි ඒකමතිකව එකඟවීමු," ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post

අර්බුදය අතරතුරේ ඉන්ධන සැපයුම ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව මෑත මාසවල දී ද තෙවන පාර්ශව හරහා රුසියාවෙන් ඉන්ධන මිලටගෙන ඇති අතර, බලශක්තියෙන් පොහොසත් එරටින් සෘජුවම තවත් ඉන්ධන මිලට ගැනුමට තමා කැමතිබැව් ශ්‍රී ලංකා රජය අඟවා තිබේ.
එහෙත් භූ දේශපාලනික හේතුන් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන රුසියාවෙන් සෘජුවම මිලදීගැනීමේ ගැටලු පැනනැනගිය හැකි බවට විචාරකයින් පවසයි.
ඉන්දියාවෙන් සහ චීනයෙන් මූල්‍යාධාර ලබාගැනීම ද ඇතුළුව, වසර 70කට වැඩි කලක් තුළ ශ්‍රී ලංකාවේ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය විසඳීම සඳහා ජනපති රාජපක්ෂ දැරූ උත්සාහයන් සති ගණනක් තිස්සේ පවතින ඉන්ධන, විදුලි, ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟය අවසන් කිරීමට මේ දක්වා අපොහොසත්වී ඇත.
රට තුළ ඉතිරිව ඇති පෙට්‍රල් ප්‍රමාණය සෑහෙන්නේ එක් දිනක සාමාන්‍ය ඉල්ලුම සැපයීමට පමණක්බව ඉරිදා (ජුලි 3) බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ ය.
පසුගිය සතියේ දී, වේගයෙන් අවසන්වෙමින් පවතින ඉන්ධන තොග ඉතිරිකර ගැනීමේ ප්‍රයත්නයක් ලෙස "අත්‍යවශ්‍ය නොවන" වාහන සඳහා පෙට්‍රල් සහ ඩීසල් නිකුත් කිරීම බලධාරීන් අත්හිටවනු ලැබුණි.
ඉහළ යන ජීවන වියදම පාලනය කිරීම සඳහා මහබැංකුව එහි මුල්‍ය පොලී අනුපාතිකය 1%කින් ද ඉහළ නංවනු ලැබීය.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.5% දක්වා ඉහළ නංවන ලද අතර, නිත්‍ය තැන්පතු අනුපාතිකය 14.5% දක්වා ඉහළ දමනු ලැබුණි. මෙය වසර 21කින් වාර්තා වූ ඉහළම අගය යි.
මෙම පියවර ගන්නා ලද්දේ, ජුනි මාසයේ ආහාර ද්‍රව්‍යවල උද්ධමනය 80%කින් ඉහළ නැගීම නිසා රටෙහි වාර්ෂික උද්ධමනය 54.6% දක්වා ඉහළයෑම හේතුවෙනි.
ජූලි 01 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාරේක්‍ෂව සියයට 44.3කින් අවප්‍රමාණය විය.
රටේ පවතින සිවිල් නොසන්සුන්තාව හේතුවෙන්, ශ්‍රී ලංකාවට සිදුකරන අත්‍යවශ්‍ය සංචාර සඳහා හැර අන් සියලු සංචාරයන්ට එරෙහිව එක්සත් රාජධානිය සිය වැසියන්ට ලබාදී තිබූ උපදෙස් මේ සතියේ දී නැවත ස්ථාපනය කළේ ය.
එක්සත් රාජධානියේ විදේශ කාර්යාලය අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, "කෙටි දැනුම්දීමකින් පෙලපාලි, මාර්ග බාධක සහ ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාවන්ට" මුහුණදීමට නිවාඩු ගතකිරීමට මෙරටට පැමිණෙන විදේශිකයින්ට සිදුවිය හැකිබව යි.
එරට විදේශ අමාත්‍යාංශයේ උපදෙස්වලට පටහැනිව විදෙස් සංචාරයන්හි නියැලීම මඟින් යමෙකුගේ සංචාරක රක්ෂණය අවලංගුවීමට ඉඩ ඇතැ යි බ්‍රිතාන්‍ය රක්‍ෂණකරුවන්ගේ සංගමය ද නිවේදනය කරයි.

බටහිර රටවල අප්‍රසාදයට පත්වීමේ අවදානම ගනිමින්
අන්බරාසන් එතිරාජන්, කතෘ - දකුණු ආසියාව, BBC News
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම සඳහා අත්‍යවශ්‍ය ඉන්ධන සහ සංචාරකයන් යන දෙඅංශයම ලබාගැනීම සඳහා, රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගේ සහාය ශ්‍රී ලංකාවට දැඩිසේ වුවමනා ය.
මේ වන විට ලංකාවේ ඉන්ධන අවසන්ව ඇති හෙයින් එරට පොදු ප්‍රවාහනය සහ ව්‍යාපාර අඩපණව ඇත.
විදෙස් මුදල් හිඟකම මෙන්ම බැංකු හා මුල්‍ය ක්‍රමයන්හි ඇති දුෂ්කරතා ද හේතුවෙන්, සාමාන්‍යයෙන් ඉන්ධන සපයන මැදපෙරදිග රටවලින් හෝ වෙනත් රටවලින් ඉන්ධන ලබාගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත්ව සිටියි.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රුසියාවේ ඉන්ධන සඳහා සීමා පැනවීමට බටහිර රටවල් කටයුතුකර ඇත. නමුත් බටහිර රටවල අප්‍රසාදයට පත්වීමේ අවදානම ගැනීමට ජනපති ගෝටාභය සූදානම් වග පැහැදිලිවම පෙනෙන්නට තිබේ.
ශ්‍රී ලංකා රජයේ දුක්ඛිත තත්ත්වය වර්ධනය කරමින්, පසුගිය මාසයේ දී එයරොෆ්ලොට් සමාගම මොස්කව්-කොළඹ මඟී ගුවන් සේවා අත්හිටුවන ලද්දේ ය. ඒ, ශ්‍රී ලංකාවේ අධිකරණයක් විසින් තෙවන පාර්ශවයකට ගෙවීම් සම්බන්ධ වාණිජ ආරවුලක් හේතුවෙන් අදාළ සමාගමේ එක් ගුවන් යානයක් කෙටි කලකට රඳවා තබාගැනීමෙන් පසුව ය.
යුක්රේනයේ යුද්ධය ඇරඹීමට පෙර ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගෙන් පහෙන් එකක් පමණම පැමිණියේ රුසියාවෙනි.
ගුවන් ගමන් නැවත ඇරඹුණ ද, මෙරට රැඳී සිටින නිවාඩුව අතරතුර ගනුදෙනු කිරීමේ අපහසුතා ඇතිවීමේ ඉඩකඩක් ඇති හෙයින් රුසියානු සංචාරකයින් ආකර්ෂණයකර ගැනීම ද අපහසු විය හැකි ය.
යුක්රේනයේ යුද්ධයට එරෙහි පියවරක් ලෙස රුසියානු බැංකු කිහිපයක් සඳහා SWIFT ජාත්‍යන්තර ගෙවීම් පද්ධතිය භාවිතාව අවහිරකර ඇති අතර, Visa සහ Master ණයපත් ආයතන ද සිය රුසියානු මෙහෙයුම් අත්හිටුවා ඇත.
ආර්ථික කළමනාකරණයේ අඩුපාඩු හා වසංගතයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදෙස් මුදල් සංචිත සිඳී ගියේ ය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්ධන, ආහාර, හා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයන් සඳහා මුදල් ගෙවීම දුෂ්කර කර්තව්‍යයක්බවට පත්ව ඇත.
මැයි මාසයේ දී ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු වරට ණය ගෙවීම පැහැර හැරියේ ය. ඒ, දින 30ක සහන කාලයක් ලබාදීමෙන් අනතුරුව ඩොලර් මිලියන 78ක නොගෙවූ ණය පොලී කල් ඉකුත්වීම හේතුවෙනි.
ශ්‍රී ලංකාව මේ වන විට පවුම් බිලියන 3ක මුල්‍ය සහන පැකේජයක් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වමින් සිටියි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ සහායයෙන් මෙවසරේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 5ක් අවැසිබවට ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කරයි.











