එරෝෆ්ලොට් ගුවන්යානයට පැනවූ වාරණය අත්හිටුවීමෙන් අර්බුදය අවසන් වෙයිද ?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවාවට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් නිකුත් කළ වාරණය කොළඹ වාණිජ මහාධිකරණය අද (ජුනි 06) අත්හිටුවනු ලැබුවේය.
වාරණ නියෝගය අත්හිටුවනු ලැබුවේ නීතිපතිවරයා කොළඹ වාණිජ මහාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ය.
අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් සමාගම ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා ජුනි 02වැනිදා වග උත්තරකාර රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම වෙත මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබීය.
එම වාරණ නියෝගයත් සමග ශ්‍රී ලංකාව රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය රඳවා ගැනීම මේවන විට රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් තිබේ. මෙම අත්හිටුවීමෙන් පමණක් මේ වන විට වර්ධනයය වී ඇති අර්බුදය විසඳිය හැකිද යන්න ගැන විශ්ලේශකයින් ප්‍රශ්න කර සිටියී.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයෝ පෙන්වා දෙන්නේ මෙම අර්බුදය මෙරට බලශක්ති, සංචාරක හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි බවයි.
මෙම ගැටලුව හමුවේ ශ්‍රී ලංකාව රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා ඉල්ලා ඇති ඩොලර් මිලියන 500ක ණය ක්‍රමය ශ්‍රී ලංකාවට නොලැබී යයිද? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රුසියානු රජයේ අප්‍රසාදය
එරෝෆ්ලොට් ගුවන් යානයක් බණ්ඩාරනායක ගුවන් තොටුපළේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති ජනිතා අබේවික්‍රම ලියනගේ කැඳවා විරෝධය පළ කළ බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි.
ජුනි 3 වන දින රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ජේ.ඒ. ලියනගේ රුසියානු විදේශ අමාත්‍යාංශයට කැදවූ බව රුසියානු විදේශ අමාත්‍යාංශය උපුටා දක්වමින් එරට මාධ්‍ය අනාවරණය කළේය.
රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් එස්.යූ.- 288 දරන ගුවන් යානය ජුනි 02 දා උදෑසන රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ නැවත එදිනම දහවල් මගීන් 191 දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ 13 දෙනෙකු සමග කටුනායක සිට මොස්කව් බලා පියාසර කිරීමට නියමිතව තිබියදී කටුනායක ගුවන් තොටුපළෙන් ආපසු රුසියාව බලා පිටත්ව යාම කොළඹ වානිජ මහාධිකරණය මගින් අත්හිටුවා නියෝගයක් ලබා දීම නිසා මෙම ගුවන් යානය එදදින දහවල් සිට කටුනායක ගුවන් තොටුපළ තුළ රඳවා ගෙන තිබුණි.
ජූනි 2 වැනිදා කටුනායක සිට මොස්කව් බලා පියාසර කිරීමට නියමිතව තිබූ එරෝෆ්ලොට් (Aeroflot) ගුවන් යානයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රඳවා ගැනීමට ශ්‍රී ලංකාවේ අධිකරණයක් විසින් නියෝග කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානියාට අප්‍රසාදය පළ කළ බව අදාළ වාර්තා අනාවරණය කළේය.
"සාම්ප්‍රදායිකව මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි ඇති වන අහිතකර බලපෑම වළක්වා ගැනීම සඳහා මෙම ගැටලුව කෙටි කාලයක් තුළ විසඳා ගන්නා ලෙස අපි ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ඉල්ලා සිටියෙමු" යනුවෙන් රුසියානු විදේශ අමාත්‍යාංශය පැවසීය.
එරෝෆ්ලොට් ශ්‍රී ලංකාවට වාණිජ ගුවන් ගමන් අත්හිටුවයි
මේ අතර, Aeroflot විසින් ශ්‍රී ලංකාව වෙත වාණිජ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව නිවේදනය කර ඇත.
එරෝෆ්ලොට් ගුවන් සේවය රුසියාවේ විශාලතම ගුවන් සේවය වන අතර දැනට ක්‍රියාකාරීව පවතින ලොව පැණිතම ගුවන් සේවා වලින් එකකි.
"Aeroflot විසින් කොළඹ (ශ්‍රී ලංකාව) වෙත වාණිජ ගුවන් ගමන් අත්හිටුවන බවත් ගුවන් සමාගමේ ගුවන් යානා ශ්‍රී ලංකාවට බාධාවකින් තොරව පියාසර කිරීම සහතික කිරීම සම්බන්ධයෙන් පවතින තත්වයේ විශ්වාසනීයත්වයක් නොමැතිකම හේතුවෙන් එම පියවර ගත් බව ගුවන් සමාගම සඳහන් කළේය.
කොළඹට ගුවන් ගමන් සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවිය තාවකාලිකව නවතා ඇත," සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
කොළඹ (ශ්‍රී ලංකාව) සිටින සහ ජුනි 2, ජූනි 4 සහ ජූනි 5 දිනැති මොස්කව් වෙත යෑමට ප්‍රවේශපත්‍ර ඇති මගීන් ජුනි 4 සහ ජුනි 5 යන දිනවල පිටත් වන SU289 ගුවන් යානා මගින් මොස්කව් වෙත යෑමට අවස්ථාව සලසා දෙන බව ගුවන් සමාගම සඳහන් කළේය.
රුසියාවට ලිපි හා පාර්සල් යැවීමත් නවතී
මේ අතර රුසියාව බලා ගුවන් ගමන් නිසි පරිදි යළි ක්‍රියාත්මක වන තුරු රුසියාවට ලිපි හා පාර්සල් යැවීමට භාර නොගන්නා බව තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කළේය.
අධිකරණ නියෝගය
රුසියානු "ඒරෝෆ්ලොට්" ගුවන් සේවාවට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය ජුනි 02 වාරණ නියෝගයක් නිකුත් කළේය.
අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නමැති සමාගම විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග විසින් වග උත්තරකාර රුසියානු ගුවන් සමාගම වෙත මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.
මෙම වාරණ නියෝගය ජුනි 16 වන දක්වා බලපැවැත්වෙන බව ද එම නියෝගයේ සඳහන් වෙයි.
පැමිණිලිකාර සමාගම සඳහන් කරන්නේ වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම සමග තමන්ගේ බේරුම්කරණ නඩුවක් පවතින බවයි.
එබැවින් වගඋත්තරකාර ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන් ඉවත් වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පැමිණිලිකාර සමාගම අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා විසින් එම වාරණ නියෝගය නිකුත් කරනු ලැබීය.
මේ අතර තම යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් නිකුත් කළ වාරණය අත්හිටුවන ලෙස ඉල්ලා එරෝෆ්ලොට් ගුවන් සමාගම කළ ඉල්ලීමක් ලබන 08වැනිදා විභාගය ට ගැනීම ට කොළඹ වාණිජ මහාධිකරණය තීරණය කර තිබේ.
රුසියානු ගූවන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කොළඹ වානිජ මහාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම ඉදිරිපක් කර තිබුණි.
කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග හමුවේ මෙම ඉල්ලීම සලකා බැලුණු අතර නඩුවේ දෙවන වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින කටුනායක ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ගමන් පාලක වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ අන්තර්ජාතික ගිවිසුම් හා ද්වි පාර්ශ්වික එකඟතාවයන්ට අනුව අන්තර්ජාතික ගුවන් යානා වලට ශ්‍රී ලංකාවේ ගොඩ බෑමට සහ පිටත්ව යාමට අවශ්‍ය පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටින බවයි.
ඒ අනුව ගොඩබානු ලබන ගුවන්යානාවලට යළි පිටත්ව යාම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂවරයාට නීතියෙන් බලය පැවරී තිබෙන බවත් මෙවැනි වාරණ නියෝගය නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේය.
අධිකරණ විසින් වාරණ නියෝග නිකුත් කිරීමෙන් පසුව අධිකරණයේ පිස්කල්වරයා ගුවන් ගමන් පාලක මැදිරියට ගොස් අදාළ ගුවන් යානයේ ගමන අත්හිටුවන ලෙස දන්වා තර්ජනය කර තිබෙන බවත අතිරේක සොලිස්ටර් ජනරාල් වරයා පැමිණිලි කර සිටියේය.
එහිදී විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ දෙවන විත්තිකරු වශයෙන් නම් කර සිටින කටුනායක ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම ගමන් පාලකවරයා වෙත කිසිදු වාරණ නියෝගයක් අධිකරණය නිකුත් කර නොමැති බවයි.
අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය හේතුවෙන් අදාළ ගුවන් යානයෙන් මොස්කව් බලා පිටත්ව යාමට සිටි මගීන් 191 දෙනෙකුට සහ කාර්ය මණ්ඩලයේ 32 කුට ශ්‍රී ලංකාවෙන් පිටව යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බව රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
එම මගීන් විවිධ හෝටල් වල රඳවා තැබීමට තම සේවාදායක සමාගමට සිදුව තිබෙන බව පෙන්වා දුන් එම නීතිඥවරයා ඒ හරහා අති විශාල පාඩුවක් දැරීමට සිදුව තිබෙන බවද පැවසීය.
පැමිණිලිකාර සමාගම ඉදිරිපත් කළ පදනම් විරහිත කරුණු සැලකිල්ලට ගෙන මෙම වාරණ නියෝගය ලබාගෙන තිබෙන බවත් එය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් රුසියානු ගුවන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා ) පුද්ගලික සමාගම සඳහන් කළේ, මෙය එරෝෆ්ලොට් රුසියානු ගවන් සමාගම සහ සීමා සහිත සෙලෙස්ටියල් එවීයේෂන් ට්‍රේඩින් අතර වාණිජ ගනුදෙනුවක් බැවින් එය දෙපාර්ශවය විසඳහා ගත යුතු බවයි.
එයට ශ්‍රී ලංකා රජයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා ) පුද්ගලික සමාගම අවධාරණය කළේය.
ජුනී 6 වැනිදා නීතිපතිවරයා කොළඹ වාණිජ මහාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් අදාළ වාරණ නියෝගය අත්හිටුවන ලෙස කරන ලද ඉල්ලීම සලකා බලා කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග එම එරෝෆ්ලොට් ගුවන් සේවාවට අයත් ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් නිකුත් කළ වාරණය කොළඹ වාණිජ මහාධිකරණය අත්හිටුවනු ලැබුවේය.
ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මේ වනවිට රඳවාගෙන ඇති රුසියානු එරෝෆ්ලොට් මගී ගුවන් යානය පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
එහි දැක්වෙන්නේ මෙම කාරණය පිළිබඳ තවමත් අධිකරණයේ අවසන් තීරණය අපේක්ෂාවෙන් සිටින බවය.
එමෙන්ම මේ පිළිබඳ සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ද සාකච්ඡා කෙරෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
දැනට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) ඇති Aeroflot මගී ගුවන් යානා SU-289 ගුවන් යානය පසුගිය 2 වන දින බස්නාහිර පළාත් වාණිජ මහාධිකරණය විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන්ගත වීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව ද එහි දැක්වෙයි.
විශාල ආර්ථික හානියක් විය හැකියි.
කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හසිත කන්දඋඩහේවා කියා සිටියේ මෙම ගැටලුව හමුවේ ශ්‍රී ලංකාවට අංශ තුනකින් බලපෑම් එල්ල විය හැකි බවයි.
"රුසියාව අපිට එකඟවෙලා තියෙනවා අඩු මිලට තෙල් දෙන්න. සෘජුවම දෙන්නත් එක්ක එකඟවෙලා තියෙනවා. ශ්‍රී ලංකාවට ඉදිරි මාස හතර නැත්නම් හය තුළ රුසියානු සංචාරකයන් ලක්ෂ 4ක් එන්න සැලසුම් කරලා තිබ්බා. මේ දෙකට තමා ගැටලුවක් ඇතිවෙන්නේ. මේක රජයක් රජයන් අතර ප්‍රශ්නයක් නෙමේ පෞද්ගලික සමාගමක් තමයි ඉල්ලලා තියෙන්නේ අධිකරණ නියෝගය. ප්‍රශ්නය තමා ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රිකව එකඟ වෙලා තිබෙනවා රුසියාවේ කිසිදු යාත්‍රාවකට බාධා පමුණුවන්නේ නැහැ කියලා. අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම නිසා රාජතාන්ත්‍රික වශයෙන් ඉහළ මට්ටමේ සම්බන්ධතාව බිඳ වැටීමට ලක් වෙලා තිබෙනවා. මේක හොඳ නැහැ. අපේ බලශක්ති කේෂේත්‍රයට. ඉකනොමික් රිකවරි එකට."
"මේක මේ වෙලාවේ අපේ තියෙන ආර්ථික තත්ත්වයට ගොඩක් ලොකු තර්ජනයක්. ඔවුන් ඉස්සරහට හොඳ සම්බන්ධතාවයක් තියාගන්න එකක් නැහැ. අපි රුසියාවෙන් තෙල් ගන්න ඩොලර් මිලියන 500ක ක්‍රෙඩිට් ලයින් එකක් ඉල්ල ලා තියෙනවා ඊළඟ මාසේ. ණයට තෙල් ගන්න. ඒකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ තත්ත්වය." අචාර්ය කන්දඋඩහේවා සඳහන් කළේය.
"මේකේ දෙපැත්තක් තියෙනවා. එක පැත්තකින් අධිකරණ ක්‍රියාවලියකට මැදිහත් වෙන්න බැහැ. නමුත් තවත් පැත්තකින් රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමක වලංගුභාවය නැතිවෙලා තියෙනවා." ඔහු වැඩිදුරටත් පැවසීය.
2022 වසර තුළ මෙරටට රුසියානු සංචාරකයින් පැමිණීම
මාසය සංඛ්‍යාව ප්‍රතිශතය
ජනවාරි 13478 16.4
පෙබරවාරි 15340 15.9
මාර්තු 8899 8.4
අප්‍රේල් 3874 6.2
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ශ්‍රී ලංකාවේ රඳවාගෙන තිබෙන රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය වහාම විසඳීම මෙරට බලධාරීන් වහා කටයුතු කළ යුතු බවයි.
දෙරට අතර හා ආර්ථික වශයෙන්ද විශාල හානියක් සිදුවීමට මත්තෙන් අවශ්‍ය පියවර ගැනීමට වහා ක්‍රියා කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.








