ආණ්ඩුවක් නොමැති පැය 72ක්; සජිත් අගමැතිකම ඉල්ලයි, නව අගමැති රනිල් වික්‍රමසිංහ?

Sri Lankan university students clash with police as water cannons and tear gas are used to disperse them near the parliament, Colombo, Sri Lanka, on May 6, 2022. Hit hard by the coronavirus pandemic and rising oil prices, the government of President Gotabaya Rajapaksa has been left with as little as $50m in useable foreign reserves, the countrys finance minister said this week.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නව අග්‍රමාත්‍යවරයෙකු හෝ ආණ්ඩුවක් නොමැති 72 වැනි පැයටත් රට එළැඹ තිබේ. නව ආණ්ඩුවේ අගමැතිධුරය භාරගන්නේ කවුදැ යි යන්න තවමත් අවිනිශ්චිත ය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෝ සමගි ජන බලවේගයේ පර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අග්‍රාමාත්‍යධුරය භාරගනු ඇති බවට වාර්තා පළවුවත්, ෆීල්ඩ් මර්ෂල්වරයා එම වර්තා ප්‍රතික්ෂේප කළේ ය.

කෙසේ වෙතත් අලුත්ම දේශපාලන වාර්තා අනාවරණය කරන පරිදි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ රාත්‍රියේ ජනපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අද සවස අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම්දීමට නියමිත බවට දේශපාලන අරංචිමාර්ග පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා ප්‍රකාශ කළේ, තමා අග්‍රාමාත්‍යධුරය භාරගැනීමට නම් ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්විය යුතු බව යි. එහෙත් පසුව අද ඔහු පවසන්නේ අගමැති තනතුර කෙටිකාලයකට භාරගැනීමට ඔහු දැන් සුදානම් බවයි.

ජනාධිපතිවරයා වෙත සජිත් ප්‍රේමදාස අද (මැයි 12) යවන ලද ලිපියක දක්වා ඇත්තේ ඔහු සහ ජනාධිපතිවරයා සමඟ දුරකතනයෙන් කළ සාකච්ජාවකදී තමන්ට අග්‍රාමත්‍ය ධුරය භාර ගැනීමට කළ යෝජනාව සහ මහා නායක ස්වාමින් වහස්න්සේලා ප්‍රමුඛ ආගමික නායකයින්ගේ යෝජනාව මත සමගි ජන බලවේගයේ සහ සමගි බල සන්ධානය සමඟ කළ සාකච්ජා වලින් අනතුරුව කොන්දේසි වලට යටත්ව සමගි ජන බල සන්ධානයේ මුලිකත්වයෙන් අනෙකුත් පක්ෂ සමඟ එක්ව කෙටි කාලින ආණ්ඩුවක් පිහිටුවමින් තමන් අග්‍රාමත්‍යධුරය භාර ගැනීමට සුදානම් බවයි. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ඉදිරිපත් කළ කොන්දේසි:

  • නිශ්චිත කාල රාමුවක් තුල ජනාධිපතිවරයා ඉවත් වීම
  • සති දෙකක කාලයක් තුළ සියලුම පක්ෂ සහයෝගයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ බලාත්මක කිරීම
  • දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන අනුව ඉතාම අවම කාලයක් තුල සියලු පක්ෂ එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කොට, නීතියේ ආධිපත්‍ය තහවුරු කොට ඉහත සඳහන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ස්ථිරසාර රජයක් පිහිටු වීමට ජනතාවට අවස්ථාවක් ලබාදෙන පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම

සජිත් ප්‍රේමදාස ආණ්ඩුව භාරගන්නේ නම් එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදීමට සූදානම් බව ඊයේ (මැයි 11) කොළඹ දී මහා සංඝරත්නය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පැවසීය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි මේ වෙලාවේ ඉල්ලන්නේ, සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා විදියට මේ ආණ්ඩුව භාරගන්නේ නම්, අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ඒ ආණ්ඩුව ගෙනයෑමට යම් සහයෝගයක් ලබාදීමට පුළුවන් එය ලබාදීමට සූදානම්," ඔහු ප්‍රකාශ කළේ ය.

"මොකද හේතුව රට අරාජික කරන්න බෑ. අද අපි පක්ෂ 11ක නායකයින් සමගත් සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. ඒ තීන්දුවත් ඉදිරියේ දී ගන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරයා යනකල් අගමැතිවරයා පත්කරන්න බැහැ කියන මතයේ ඉන්නවාට වැඩිය අපි කියන්නේ ඒ නායකත්වය අරගෙන වැඩකරන්න. ඔවුන්ට තමා ආරාධනා කරලා තියෙන්නේ ජනාධිපතිවරයා පළවෙනියෙන්."

"ඒ ක්‍රියාදාමය සිදුවෙන්නේ නැත්නම් ඊළඟට බලන්න ඕනේ ඊළඟට ගන්න පුළුවන් ක්‍රියාදාමය මොකද්ද කියලා," ඔහු කියා සිටියේ ය.

"ජනාධිපතිතුමා ඉවත්වුණොත් රට අරාජික වෙයි. එතකොට අගමැතිත් නෑ, ජනාධිපතිත් නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? ඉස්සෙල්ලා අගමැතිකම භාරගෙන තමා ඉතුරු ටික කියන්න ඕනේ ජනාධිපතිතුමාට යන්න කියලා. ජනාධිපතිත් නැතුව අගමැතිත් නැතුව රට කවුද භාරගන්නේ?"

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ රාත්‍රියේ පැවසුවේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා අගමැති තනතුර බාරනොගන්නේ නම් ඒ සඳහා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් නම් තුනක් අගමැති තනතුර සඳහා යෝජනා කරන බවයි.

"වත්මන් ජනපති යටතේ කිසිදු තනතුරක් ගන්නේ නැහැ"

ගෝඨාභය රාජපක්ශ ජනාධිපති ලෙස සිටින රජයක කිසිදු තනතුරක් ලබාගැනීම තමා එකහෙලා ප්‍රතික්ෂේප කරන බව සරත් ෆොන්සේකා ප්‍රකාශ කර සිටියි.

සමස්ථ ශ්‍රී ලාංකීය ජාතියම සාමකාමී, අවිහිංසාවාදී පුරවැසි අරගලයක් හරහා ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම් සමග තමා කොන්දේසි විරහිතව සිටගන්නා බව ද ඔහු කියා සිටියේ ය.

ගාලුමුවදොර විරෝධතා භූමියේ සිට රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, දැයේ දුවාදරුවන්ගේ අනාගතය වෙනුවෙන් හඬ නගන ජනතාවගේ ඉල්ලීම් පිළිබඳව තමා අතිශයින් සංවේදී බව ද ඔහු සඳහන් කළේ ය.

"ගාලුමුවදොර විරෝධතා භූමියේ සිට රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, දැයේ දුවාදරුවන්ගේ අනාගතය වෙනුවෙන් හඬ නගන ජනතාවගේ ඉල්ලීම් පිළිබඳව අතිශයින් සංවේදී වෙමි.

ආරම්භයේ සිටම අරගලයේ නියුතු අභීත සටන්කාමී පුරවැසි දූදරුවන්ට හදවතින්ම ආශිර්වාද කළ මම කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ෂලාගේ අර්බුදය විසඳීමේ කොටස්කරුවකු නොවෙමි," ඔහු ප්‍රකාශ කරයි.

අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යැවීමේ උත්සාහය තරයේ හෙළා දකින බව ද ඔහු පැවසීය.

Sarath Fonseka denies joining the government

ඡායාරූප මූලාශ්‍රය, Field Marshal Sarath Fonseka/Facebook

මේ අතර ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ ස්වාධීන පක්ෂ 11ක් නියෝජනය කරන කණ්ඩායම කළ සාකච්ඡාවේ දී නව අග්‍රාමාත්‍යධුරය සඳහා සුදුසුයැ යි යෝජනා කළ නම් මේ වනතෙක් ජනාධිපතිවරයා වෙත ඉදිරිත් කර නැතැ යි, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ ස්වාධීන පක්ෂ 11ක් නියෝජනය කරන කණ්ඩායම ඊයේ (මැයි 11) කොළඹ දී රැස්වී තීරණය කරනු ලැබුවේ නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, සහ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂගේ නම් අගමැතිධුරය සඳහා යෝජනා කරන බවයි.

"ඕනෑම විසඳුමක් සඳහා ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්විය යුතු යි"

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

ඕනෑම දේශපාලන විසඳුමක් සඳහා ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්විය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.

"රට අරාජික වෙලා තියෙනවා. ජනතාවගේ ඉල්ලීම් ඉටුවෙලා නැහැ තාම. අනික් පැත්තෙන් රටේ ආර්ථික අර්බුදය විශාල වශයෙන් තව වර්ධනය වෙමින් තියෙනවා. මෙන්න මේ තියෙන සංකීර්ණ තත්ත්වය නිමාකරලා රට ඉක්මනින් ස්ථාවර කර ගැනීමේ ඕනෑ කමක් අපි කාටත් තියෙනවා. මේ මෙහොත ගත්තොත් රට අස්ථාවරව තියෙන්නේ. අස්ථාවරව තියෙන රටක් ඇතුළේ ආර්ථිකය හදන්න බැහැ. ඒ නිසා රට ස්ථාවර කරගත යුතුව තිබෙනවා. අපි කවුරුත් දන්නවා මේ පාර්ලිමේන්තුවේ සංයුතිය මෙහෙම තියෙද්දි ස්ථාවර ආණ්ඩුවක්, රටක් හදන්න බැහැ.

"අපේ රටේ සියලු ජනතාව රටපුරාම ජනතාව හැම කණ්ඩායමක්ම ඉල්ලපු දෙයක් තියෙනවා ජනාධිපති ඉවත් වෙන්න ඕනේ, ආණ්ඩුව ඉවත් වෙන්න ඕනේ, ජනතාවට අයිතියක් ලැබෙන්න ඕනේ කියලා පාලනයක් හදාගන්න. ඒ නිසා අපේ රටේ ජනතාව පාර්ලිමේන්තුවේ තියෙන මේ සංයුතිය ප්‍රතික්ෂේප කරමින් ඉන්නේ. මේ සංයුතියට එකඟ නැහැ. මේ සංයුතිය මෙසේ තිබියදී හදන ඕනෑම විසඳුමක් ජනතාව පිළිගන්න එකක් බවට පත්වෙන්නේ නැහැ."

"ඒ නිසා මේ සංයුතිය එහෙට මෙහෙට කරලා මාරු කරලා හදන කිසිම ආණ්ඩුවකට රටේ දේශපාලන ස්ථාවරභාවය ගේනන පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි දන්නා අනිවාර්යෙන්ම අපිට අලුත් ජනවරමකට යන්න වෙනවා. ආණ්ඩුව අයින් වුනාම අලුත් ජනවරමක් එන්න ඕනේ, අලුත් ආණ්ඩුවක් හැදෙන්න ඕනේ. ඒ ආණ්ඩුව ජනතාව විසින් පත්කර ගන්න ඕනේ. ජනතාවගේ කැමැත්තෙන් පත්කර ගන්න ඕනේ," ඔහු ප්‍රකාශ කළේ ය.

ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්න

ලබන 17 වනදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව ස්ථාවර නියෝග අත්හිටුවා ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නැ යි, සමගි ජන බලවේගය අද පැවති පක්ෂනායක රැස්වීමේ දී ඉල්ලා තිබේ.

පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම ඉල්ලීම කරමින් කතානායකවරයාට ලිපියක් භාරදුන් බව යි.

අර්බුදයෙන් මිදීම සඳහා 43 සේනාංකයේ යෝජනා

මේ අතර 43 සේනාංකයේ නායක හා සමගි ජනබලවේගයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසන්නේ නව ආණ්ඩුවක් පිහිටුවීමේදී, අරගලයේ යෙදී සිටින තරුණයන්ගේ ඉල්ලීම් වලට ප්‍රමුඛත්වය දිය යුතු අතර රට අරාජිකත්වයට පත්කර ඇති දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමද, මේ මොහොතේ ක්ෂණික අවශ්‍යතාවයක් බවට පත්වී ඇති බවයි.

ඒ අනුව ඔහු රටේ මේ වන විට පැනනැගී ඇති අර්බුදයෙන් මිදීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් යෝජනා කරන අතර එම යෝජනා නම්:

  • අප මුහුණ දෙමින් තිබෙන වර්තමාන ආර්ථික - දේශපාලන අර්බුදයෙන් මිදීම සඳහා, දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර ගැනීම මුලික අවශ්‍යතාවකි. එහිදී අපට අවශ්‍ය වන්නේ රට මේසා විනාශයකට, බංකොළොත් භාවයකට සහ මංකොල්ලයකට ලක් කළ සාපාරාධී 'රාජපක්ෂ පවුල මුදා ගැනීමේ' ආණ්ඩුවක් නොව, මේ ව්‍යසනයෙන් ජනතාව මුදා ගන්නා කෙටිකාලීන, අන්තර්කලීන, සර්ව පාක්ෂික ආණ්ඩුවකි.
  • එවැනි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩකඩ සලසා දෙමින්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තම ධූරයෙන් ඉවත් විය යුතු අතර, එසේ ඉවත් වන දින වකවානු නිශ්චිතවම ප්‍රකාශයට පත් කළ යුතුය.
  • පත්වන අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුව, 20 වන සංශෝධනය අහෝසි කරමින් ජනාධිපති බලතල සීමා කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ආදිය ඇතුළත්, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්මත කළ යුතුය.
  • දේශපාලන පක්ෂ, වගවීමකට යටත් කරමින් ඒවාට ලැබෙන අරමුදල්, මාධ්‍ය අවකාශ ආදිය විනිවිද පෙනෙන ආකාරයට යළි සකස් කෙරෙන පරිදි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතුය. හොංකොං හා සිංගප්පූරු රාජ්‍යයන්හි පවතින ආකාරයේ දූෂණය වැළැක්වීමේ යාන්ත්‍රණයක් පිහිටු විය යුතුය.
  • ජනතාවට තමන් කැමති රජයක් බලයට පත් කර ගැනීමට, අවකාශ සැලසෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය කරන යහපත් පසුබිමක් සකසා එම මැතිවරණය පැවැත්වීමට ස්වාධීන මැතිවරණ කොමිසමට ඉඩකඩ සලසා දී අන්තර්කාලීන ආණ්ඩුවේ කටයුතු අවසන් කළ යුතුය.