ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නිරිතදිග මෝසම ළංවෙයි - 10,000ක් තවමත් නායයෑම් අධිඅවදානම් ප්‍රදේශවල
නිරිතදිග මෝසම බොහෝවිට මේ මස අග දී ආරම්භවීමට නියමිත ය.
නිරිතදිග මෝසම කියූ සැනින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ ගංවතුර හා නායයෑම් වාර්තා වන ආපදා සමය යි. සෑම වසරකම පාහේ නිරිතදිග මෝසමෙන් ලැබෙන අධික වර්ෂාපතනයත් සමග ගංවතුර හා නායයෑම් වාර්තාවීම මීට හේතුවේ.
නිරිතදිග මෝසම මඟින් සාමාන්‍යයෙන් දිවයිනේ ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලපෝෂක ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කෙරෙයි.
දෛනික විදුලි කප්පාදුවකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට ජලවිදුලි නිශ්පාදනයට මෙන්ම යල කන්නයේ වගාවට නිරිත දිග මෝසම් වර්ෂාව අතිශයින් වැදගත්වනු ඇත.
මධ්‍යම කඳුකරයට වැස්ස වැඩිවෙයිද?
මැයි 26 දා දිවයින හරහා නිරිතදිග මෝසම ස්ථාපිත වනු ඇතැ යි සැලකෙයි. මින් බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, හා වයඹ පළාත්වලට වැසි බලාපොරොත්තු වෙයි.
කලාපීය වශයෙන් ජුනි, ජුලි, අගෝස්තු, සැප්තැම්බර් මාස හතර නිරිතදිග මෝසම් කාලසීමාව ලෙස සලකනු ලබයි.
කාලගුණ විද්‍යා දොපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය කියා සිටියේ මෙවර ඇතැම් ප්‍රදේශවලට වෙනදාට වඩා වැසි අඩුවනු ඇති බව යි.
"කලාපීය අනාවැකියට අනුව එම මාස හතර දිවයිනේ දකුණු අර්ධයට, නිරිතදිග කොටසටත් එක්ක වැසි තත්ත්වය තරමක් වෙනදාට වඩා අඩුවෙයි කියලා තමයි අනාවැකියේ තියෙන්නේ. හැබැයි උතුරු - උතුරුමැද පළාත්වලට වෙනදාට වඩා වැස්ස වැඩිවෙයි."
"ලා නිනා තත්ත්වය තවදුරටත් පැසිෆික් සාගරයේ තියෙනවා. පැසිෆික් සාගරයේ තියෙන එල් නිනෝ සහ ලා නිනා තත්ත්වයට සමාන කාලගුණ සංසිද්ධියක් තියෙනවා 'ඉන්දීය සාගර ද්වීධ්‍රැව තත්ත්වය' කියලා. මේක සෘණමය තත්ත්වයක් ඇතිවෙයි කියලා අනාවැකි පළකරලා තියෙනවා,"යනුවෙන් ඇය පැවසීය.
"එහෙම වුණොත් දිවයිනට බටහිරින් හමන සුළඟේ වේගය වැඩිවෙලා මධ්‍යම කඳුකර ප්‍රදේශවලට වෙනදාට වඩා වැස්ස වැඩිවීමේ හැකියාවකුත් තියෙනවා," ඇය ප්‍රකාශ කළා ය.
"දිගුකාලීන අනාවැකිවලට කෙටිකාලීනව ඇතිවන අඩුපීඩන කලාප වගේ දේවල් අහුවෙන්නේ නැහැ. ඒවා අනාවැකියෙන් බැහැර යි. නිරිතදිග මෝසම ආරම්භ වන්නේ මැයි මාසයේ අග සාමාන්‍යයෙන්. බොහෝදුරට බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් හෝ සුළිසුළඟක් වර්ධනය වෙලා තමයි නිරිතදිග සුළං ප්‍රවාහය ස්ථාපිත වෙන්නේ. එහෙම වුණොත් අපිට වැසි තත්ත්වයේ තාවකාලිකව වැඩි වෙන්න පුළුවන්."
"2016 අවුරුද්දේ නිරිතදිග මෝසම් වැස්ස අඩුවෙයි කියලා තමා අනාවැකිය දුන්නේ. හැබැයි මැයි මාසයේ දවස් තුනක් වැහැලා බස්නාහිර කොටසට ගංවතුරක් ගැලුවා. හැබැයි එතනින් පස්සේ වැස්ස ආවේ නැහැ. වැස්ස අඩුවුණා. ඒවගේ ආන්තික තත්ත්වයන් ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා," අධ්‍යක්ෂවරිය පැවසුවාය.
දසදහසක් තවමත් නායයෑම් අධි අවදානම් ප්‍රදේශවල
නිරිතදිග මෝසම් වර්ෂාව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට බලපෑ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන පවසයි.
විශේෂයෙන්ම දිස්ත්‍රික්ක ලෙස ගත්විට මහනුවර, කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට නිරිතදිග මෝසම් වාර්ෂාවෙන් වැඩි බලපෑමක් එල්ලවනු ඇතැ යි ඔහු ප්‍රකාශ කළේ ය.
කළුතර, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්කවලට නායයෑම් පිළිබඳ වැඩි අවදානමක් ඇති බවත්, මාතර හා ගාල්ල දිස්ත්‍රික්කවලත් නායයෑම් අවදානම පැවතිය හැකි බවත් ඔහු කියා සිටියේ ය.
අධි අවදානම් කලාපවල පුද්ගලයින් 10,000ක් පමණ වාසය කරනබවට හඳුනාගෙන ඇතැ යි ද, දැනට පවුල් 3000ක් පමණ ආරක්ෂිත ස්ථානවල පදිංචිකර ඇතැ යි ද ඔහු පැවසීය.
ආචාර්ය ආසිරි කරුණාවර්ධන පැවසුවේ මධ්‍ය අවදානම් කලාපවල පදිංචි ජනතාවට නායයෑම් අවදානම අඩුකිරීමේ ක්‍රියාමාර්ග ගෙන ඇති බව යි. එවැනි මධ්‍ය අවදානම් ස්ථාන 143ක් හඳුනාගෙන ඇති අතර එම අවදානම් අවම කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
එවැනි ස්ථාන 30ක් අවදානමින් මුදාගෙන ඇති බවත් ඔහු පැවසීය.
උඩරට දුම්රිය මාර්ගයත් නායයෑම් අවදානම සහිත බවට හඳුනාගෙන ඇති අතර, ඒ අනුව රඹුක්කන සිට බදුල්ල දක්වා නායයෑම් අවදානම් ස්ථානවල ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.
ඊට අමතරව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ස්වයංක්‍රීය වර්ෂාමාන 350කට අධික සංඛ්‍යාවක් සවිකර ඇත. අධික වැසි සහිත තත්ත්වයන් පිළිබඳ ක්ෂණිකව මහජනතාව දැනුවත් කිරීම එහි අරමුණ යි. එමඟින් දවසේ පැය 24 පුරාම වර්ෂාපතනය නිරීක්ෂණය කෙරෙනු ඇත.
පූර්ව දැනුම්දීමේ නිවේදනවලට අනුකූලව කටයුතු කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.
"තමන් ජීවත්වන වටපිටාව පිළිබඳ අවධානයෙන් පසුවෙන්න ඕනේ. කාණු පද්ධති පිරිසිදු කරන්න. පොළවේ ඉරිතැලීම් හා පැලීම් තිබෙනවා නම් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට දැනුම් දෙන්න. ඔබ ජීවත්වන පරිසරය සුරක්ෂිත වටපිටාවක් බවට පත් කරගන්න," ආචාර්ය ආසිරි කරුණාවර්ධන ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
අනතුරු ඇඟවීමක් දුන්නම කරුණාකරලා ඉවත් වෙන්න!
ස්වභාවික ආපදා සම්බන්ධ අනතුරු ඇඟවීම් ලබාදුන්විට එම ප්‍රදේශවලින් ඉවත්ව යන්නැයි ආපදා කළමනාරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පවසා සිටියි.
"නායයෑම් ස්ථාන කලින් හඳුනගෙන තියෙනවා. ජනතාව දැනුවත් කරලා තියෙනවා. ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පූර්ව අනතුරු ඇඟවීම් දුන්නාම කරුණාකරලා ආරක්ෂිත ස්ථානයකට යන්න.
"වැඩිම දවස් දෙකක් හෝ තුනකට නේ. එහෙම යන්නේ නැතිව ඇයි ජීවිත තර්ජනයක් තියාගෙන එහෙම කරන්නේ? එහෙම ගිහාම කන්න බොන්න ඒ හැමදේම අපි ලබා දෙනවා. ඉවත් වෙන දිනවලට පවුලටම කන්න බොන්න දෙනවා. ඒ යනකොට ඒ නිවාස ආශ්‍රිත ප්‍රදේශයන්වලට පොලීසියෙන් මුර සංචාර දාලා ආක්ෂාව දෙන්නත් පුළුවන්," අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතික වෙයි.