මිහිතලය විනාශයේ අද්දර - මහා පරිසරවේදියෙකුගෙන් අනතුරු ඇඟවීමක්

මිහිතලයේ විපරීතවෙමින් පවතින දේශගුණය යහපත් තත්වයක පවත්වා ගැනීමට ගනු ලබන ප්‍රයත්නය අතිශයින් තීරණාත්මක මොහොතකට පැමිණ ඇති බව ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බ්‍රා(Sir David Attenborough) ලෝකවාසීන්ට පෙන්වා දෙයි.

"අපි සිදුවෙමින් පවතින දේවල් අනවශ්‍ය සහ හානිදායක ලෙස වසරින් වසර කල් දමමින් සිටින්නෙමු"යයි කීර්තිමත් පරිසරවේදියකු සහ සන්නිවේදකයකු වන ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බ්‍රා පවසයි.

"මම මේ කතාකරන මොහොතේ ගිනිකොන ඔස්ට්‍රේලියාව ගිනිගන්නවා. ඇයි? මිහිතලයේ උණුසුම වේගයෙන් ඉහළ යමින් පවතින නිසා" සිය මුළු මහත් දිවිය මිහිතලයේ සහ ජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන් කැපකළ මහා පරිසරවේදියා පෙන්වා දෙයි.

ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බ්‍රා ඉහත කී අදහස් පළකළේ ' වෙනස් වෙන මිහිතලය" යන තේමාව යටතේ බීබීසී සේවයේ විශේෂ වැඩසටහනක් ආරම්භ කරනු ලැබීම වෙනුවෙන් පැවැත්වූ සාකච්ඡාවකදීය.

ඕස්ට්‍රේලියානු වනගිනිවලට හේතු වූ කරුණු කීපය අතර දේශගුණ වෙනස්වීම් එක හේතුවක් විනැයි විද්‍යාඥයෝ පවසති. එම වනගිනි විනාශයට බලපෑ අති සෙසු කාරනා වන්නේ වනාන්තර කළමනාකරණය සිදුකරනු ලබන ආකාරය සහ කාලගුණයේ ස්වාභාවික රටාවන්ය යන්න එම විද්‍යාඥයන්ගේ නිගමනය වෙයි.

ඕස්ට්‍රේලියානු වනගිනි සහ මිහිතලය උණුසුම්වීම අතර සම්බන්ධයක් නැතැයි ඇතැම් දේශපාලනඥයන් සහ විස්තර විචාරකයන් විසින් සඳහන් කරනු ලැබීම "එළිපිට කරන විකාරයක්" ලෙස ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බ්‍රා බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී සඳහන් කළේය.

"අපි ජීවත්වෙන මිහිතලය ගිනියම්වීමට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන බව අපි හොඳින්ම දන්නවා" ඔහු පවසයි.

අර්බුදය කුමක්ද?

උද්ගතව පවතින තත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සාකච්ඡා සහ ගිවිස ගැනීම් එකතැන පල්වීම හමුවේ පරිසර විද්‍යාඥයන් විසින් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගනු ලැබීමේ අවශ්‍යතාව පිළිබඳ කාරණය ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බ්‍රාගේ විශේෂ අවධානයට ලක්වෙයි.

පසුගිය දෙසැම්බර්(2019) මාසයේ ස්පාඤ්ඤයේ 'මැඩ්රිඩ්' අගනුවර පැවැත්වුන ජාත්‍යන්තර සාකච්ඡා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෙන්ම බ්‍රිතාන්‍ය ආණ්ඩුව සහ වෙනත් රටවල් සහ සංවිධාන විසින් විග්‍රහ කරන ලද්දේ "බලාපොරොත්තු බිඳ වැටීමක්" ලෙසය.

මැඩ්රිඩ් සමුළුවේ දී පරිසරයට අදාළ ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ලැබීම කල්තබනු ලැබුණි. එපමණක් නොව,සිය වගකීම් ඉටුකිරීම පැහැර හැරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සහ බ්‍රසීලය දෝෂ දර්ශනයට ලක්විය.

"මේක සෙල්ලමක් නොවන බව අපි තේරුම් ගත යුතුව තියෙනවා" ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බ්‍රා පෙන්වා දෙයි.

"මේක හුදෙක් පුංචි රසවත් විවාදයක් නොවෙයි" ඔහු පැහැදිලි කරයි.

"මේක විසඳා ගතයුතුව තියෙන හදිසි ප්‍රශ්නයක්. අපි දන්නවා- ඒක කරන්නේ කොහොමද කියල. එය පවතින තත්වයට එරෙහි වූ පියවරක්. ලෝකය ඒ පියවර ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටියත්, අපි දන්නවා - එම පියවර ගතයුතු එකක් බව"

ගතයුතු පියවර කුමක්ද?

දේශගුණ විපර්යාස පිළිබඳ 2018 එක්සත් ජාතීන්ගේ විද්‍යාඥයන්ගේ මණ්ඩලයේ තීන්දු මෙහිදී වැදගත් වෙයි.

අනාගතයෙහි අතිශයින් අනතුරුදායක මට්ටමින් මිහිතලයේ උණුසුම ඉහළයාම වළක්වා ගනු ලැබීමට ලෝකයට සාධාරණ ක්‍රියාමාර්ගයක් ගතහැකි ආකාරය සම්බන්ධයෙන් එම විද්‍යාඥයන් මණ්ඩලය විසින් පැහැදිලි කරනු ලැබුණි.

බල ශක්ති මධ්‍යස්ථාන,කර්මාන්තශාලා,රථවාහන සහ කෘෂිකාර්මික අංශයෙන් මුදා හරිනු ලබන මිහිතලයට හානිකර උණුසුම් ගෑස් වර්ග වර්ෂ 2030 වන විට අඩකට ආසන්න මට්ටමකින් අඩුකර ගතයුතු බව ඔවුහු පෙන්වා දුන්හ.

එහෙත් සිදුව ඇත්තේ කුමක්ද?කාබන්ඩයොක්සයිඩ් වැනි ප්‍රධාන ගෑස් වර්ග මුදා හරිනු ලැබීම අඩු කිරීමක් නොව ඒවා තවමත් පරසරයට එක් කෙරෙමින් පවතී.

මානව ඉතිහාසයේ කිසිදාක නොවූ පරිමාණයෙන් එම ගෑස් වර්ගවලින් අවකාශය පිරී ගොස් ඇත.

"මේ විධියට ක්‍රියාකිරීම නිසා අවශ්‍ය පියවර ගනු ලැබීම සහ ඉලක්ක සපුරා ගනු ලැබීම අවුරුද්දෙන් අවුරුද්ද තවත් දුෂ්කර අතට හැරෙමිනුයි පවතින්නේ" ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බ්‍රා අවධාරණය කරයි.

අලුත් ක්‍රියාමාර්ග

මේ වසර දේශගුණ විපර්යාසයන් පිළිබඳ ප්‍රවණතාව නිසිමගට ගැනීමේ මාහැඟි කඩයිමක් ලෙස සැලකෙයි.

COP26 යනුවෙන් නම් කරනු ලැබ ඇති එක්සත් ජාතීන්ගේ අතිශයින් තීරණාත්මක සමුළුවක් මේ වසරේ නොවැම්බර් මාසයේ දී එක්සත් රාජධානියේ අනුග්‍රහයෙන් ස්කොට්ලන්තයේ 'ග්ලාස්ගෝ' නගරයේ ආරම්භ කෙරෙයි.

විෂ ගෑස් වර්ග පරිසරයට මුදාහරිනු ලැබීම අවම කර ගැනීමට ඒ ඒ රටවල් සඳහා නියම කරනු ලැබ ඇති ඉලක්ක අනුව කටයුතු කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස 'ග්ලාස්ගෝ' සමුළුව ආරම්භ වීමට නියමිතව පවතිද්දී ලෝකය පුරා ආණ්ඩුවලට බලපෑම් එල්ල වෙමින් ඇත.

ඊට හේතුව එම රටවල් දැනට පොරොන්දු වී ඇති පරිදි ප්‍රමාණවත් මට්ටමින් පියවර නොගැනීමය.

එක අතකින් තමන් පොරොන්දු පරිදි ක්‍රියාකරන බව අඟවමින්, ඒ සමඟ මිහිතලයේ සාමාන්‍ය උණුසුම මේ සියවස නිමවන විට පූර්ව කාර්මික අවධියට සාපේක්ෂව 3C කට අධික අනුපාතයකින් තවත් ඉහළ යන මට්ටමින් තවදුරටත් කටයුතු කිරීමේ හැකියාව එම රටවලට ලැබෙයි.

දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් ආණ්ඩු නියෝජිත මණ්ඩලයේ අලුත්ම තක්සේරු කිරීම් මගින් එම අනතුර පෙන්වා දෙයි.

මිහිතලයේ උණුසුම 1.5C කට ඉහළ මට්ටමකින් වැඩිවීම නිසා මුහුදුබඩ කලාප ජලයෙන් යටවීම, ගිනියම් සුළං රැලිවලට මුහුණ දීමට සිදුවීම සහ කොරල්පර විනාශය වැනි දරුණු උවදුරු ආදියට මුහුණ දීමට සිදුවනු ඇතැයි එම අන්තර් ආණ්ඩු මණ්ඩලය පවසයි.

අප ජීවත්වන අද ලෝකය දැනටමත් 1C කට මඳක් අධික මට්ටමකින් උණුසුම්ව ඇති බව අලුත්ම සංඛ්‍යා මගින් පෙන්නුම් කෙරෙයි.

ඊලඟ ඉරණම

දැනට සිදුවෙමින් පවතින තත්වය දිගටම පෙරට ගියහොත් මිහිතලය තවත් උණුසුම් අතට හැරීම වැළැක්විය නොහැකි අනිවාර්ය ප්‍රතිවිපාකයක් වනු ඇත.

"අපි දැනටමත් ජීවත්වෙන්නේ වෙනස් වෙමින් පවතින ලෝකයක" එක්සත් රාජධානියේ රෙඩින්ග් සරසවියේ (University of Reading)මහාචාර්ය එඩ් හෝකිංග්ස්(Professor Ed Hawkins) පවසයි.

ලෝකය උණුසුම් වෙමින් පැවැත්ම සම්බන්ධයෙන් එම විද්‍යාඥයා පළ කරන අදහස් සමාජ මාධ්‍යජාලය පුරා වේගයෙන් හුවමාරුවෙමින් පවතී.

මහාචාර්ය එඩ් හෝකිංග්ස්, මිහිතලයේ උණුසුම වාර්ෂිකව සාමාන්‍ය අනුපාතයට වඩා ඉහළ හෝ පහළ යමින් ඇති ආකාරය පැහැදිලි කරනු ලබන්නේ තද වර්ණ උපයෝගී කරගත් තීරු අනුසාරයෙනි.

මහාචාර්යවරයා තද රතු පැහැති තීරුමගින් උණුසුම ද නිල් පැහැති තීරු මගින් ශීතල අතට හැරීම ද සංකේතවත් කරයි.

එම නිර්මාණ ටී-ෂර්ට්ස්, ගෙළ වසන උතුරු සළු ආදිය අලංකාර කිරීමට ඒවායේ මුද්‍රණය කරනු ලැබ ඇති අතර, ජර්මනියේ ට්‍රෑම්රථවලත් ප්‍රදර්ශනය කෙරෙයි.

මේ වසරේ ඉදිරි සැලසුම්

මිනිසා ස්වාභාවික ලෝකයට සහ කාලගුණයට හානි කරනු ලැබීම නතර කළ හැකි ක්‍රියාවලියකි.

දේශගුණ විපර්යාසය කෙරෙහි පුළුල් දේශපාලන අවබෝධයක් යොමුවෙන අතරම,2020 අවුරුද්ද පරිසර පද්ධතීන්ට හානිදායක මිනිස් ක්‍රියාකාරකම් නතර කිරීමේ වැදගත්කම අවධාරණය කෙරෙන අවධියක් ලෙස පෙනී යයි.

"අප විසින් ගනු ලබන හැම හුස්ම පොදක්,අනුභව කරනු ලබන හැම ආහාර පිඩක් සඳහා අපි රැඳී සිටින්නේ අප ජීවත්වෙන මේ ස්වාභාවික ලෝකය මතයි" ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බ්‍රා පවසයි.

සොබාදහම ආරක්ෂාකර ගත හැක්කේ කෙසේද? යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සංවිධානය කෙරුණ මහා සමුළුවකට සහභාගීවීම සඳහා චීනයේ 'කුන්මින්'(Kunming) නගරයට පැමිණෙන ලෙස ලෝක නායකයන්ට දැනටමත් ආරාධනා කරනු ලැබ ඇත.

කෘමීන්,පැළෑටි සහ වෙනත් ජීවීන් වර්ග දශ ලක්ෂයක් තරම් ඉදිරි දශක කීපය ඇතුළත වඳ වී යාමේ අනතුරකට ලෝකය මුහුණ දී ඇති බව පසුගිය වසරේ නිකුත් කරන ලද සුවිශේෂී වාර්තාවක් මගින් පෙන්වා දී තිබුණි.

වේගවත් නාගරීකරණය, කෘෂිකර්මය සඳහා වනබිම් හෙළිකරනු ලැබීම සහ මසුන් සඳහා පවතින අධි ඉල්ලුම හේතුවෙන් භූමියෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් ද, සාගරවලින් තුනෙන් දෙකකට අධික කලාපයක් ද විශාල විකෘතියකට ලක්ව ඇති බව ඉතා මෑතදී පළ කෙරුණ සමීක්ෂණ වාර්තාවකින් ප්‍රකාශ විය.

එම සමීක්ෂණයට සහභාගී වූ එක් විද්‍යාඥයකු වන 'ලංඩන්' නගරයේ ස්වාභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ මහාචාර්ය ඇන්ඩි පර්විස්(Prof Andy Purvis) මෙසේ සඳහන් කරයි.

"අපි අපේම සුරක්ෂිතභාවය විනාශ කර ගන්නවා.අපි අපේ පැවැත්ම රඳා පවතින පරිසරය විනාශ කර දමනවා"

මහාචාර්යවරයා, පාම් තෙල් (palm oil) පාවිච්චියේ පටන් පිරිසැකසූ ආහාර සහ 'ෂැම්පු' වර්ග තෙක් ඇති ක්‍ෂණික නිර්මාණ සියල්ල මගින් පරිසරයට අති කෙරෙන බලපෑම ඉස්මතු කර දක්වයි.

බොහෝ සංවර්ධිත රාජ්‍යයන් පරිසර සංරක්ෂණයේ වැදගත්කම තේරුම්ගත යුතුව ඇතැයි මහාචාර්ය ඇන්ඩි පර්විස්(Prof Andy Purvis) කියා සිටියි.

"ඔවුන් අපට විකුණන පාරිසරික විනාශයේ අලාභය පාලනය කිරීමේ කාර්යය ඉතාම දුප්පත් රටවලට අපනයනය කිරීමක් කරනවා"

චීනයේ 'කුන්මින්'(Kunming)මහා සමුළුව නොවැම්බරයේ 'ග්ලාස්ගෝ' සමුළුවට පෙර ලබන ඔක්තෝබර් මාසයේ ආරම්භ කෙරෙනු ඇත.

ඒ අනුව,අප ජීවත්වෙන මෙම ග්‍රහලෝකය සහ අප අතර පවතින බැඳීම අතින් මේ වසර අතිශයින් තීරනාත්මක එකක් වෙයි.

(BBC විද්‍යා සංස්කාරක ඩේවිඩ් ෂුක්මන් (David Shukman)ගේ ලිපියක පරිවර්තනයකි)

කියවන්න;