ඇමසන් වන ගිනි; "මේ ගිනි ගන්නේ අපේ ගෙදර" ප්‍රංශ ජනාධිපතිවරයා පවසයි

ඇමසන් වනාන්තරයේ වාර්තාගත ගිනිගැනීම් සංඛ්‍යාවක් මුල්කර ගනිමින් ලෝක දේශගුණ විපර්යාස තේමාකර ගත් සමුළුවක දී බ්‍රසීලයේ පරිසර ඇමති රිකාඩෝ සාලෙස් බාධා කිරීම රැසකට මුහුණ දුන්නේය.

අභ්‍යවකාශ සමීක්‍ෂණ පිළිබඳ ජාතික විද්‍යායතනය චන්ද්‍රිකා ඡායාරූප මගින් ලබාගත් තොරතුරු අනුව මේ වසරේ ඇමසන් වනගිනි 84%කින් වැඩි වී ඇත.

බ්‍රසීල පරිසර ඇමතිවරයා දේශගුණ සමුළු වේදිකාවට පිවිසීමට පිය නගමින් සිටියදී සමුළුවේ සිටි ඇතැමෙක් "ඇමසන් ගිනි ගන්නවා" යනුවෙන් කෑ ගසන්නට පටන් ගත්හ.

ඇමසන් වනාන්තරයට අත්ව ඇති ඉරණම පිළිබඳව පරිසරවේදීහු බ්‍රසීල ආණ්ඩුවට චෝදනා කරති.

දැව ජාවාරම්කරුවන් සහ වැවිලිකරුවන් විසින් ගහකොළ කපා දමමින් ඇමසන් වැසි වනාන්තරය විනාශ කරනු ලබමින් ඇති අතර බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජෙයිර් බොල්සොනාරෝ ඔවුන් දිරිමත් කරන බව පරිසරවේදීන්ගේ චෝදනාව වේ.

ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වන 'ඇමසන්' මිහිතලයේ උණුසුම ඉහළයාම පාලනය කෙරෙන වැදගත්ම කාබන් ගබඩාව ද වේ.

ලතින් ඇමෙරිකාවේ සහ කැරිබියානු කලාපයේ පරිසර සතිය නිමිත්තෙන් බ්‍රසීලයේ 'සැල්වදෝර්' නගරයේ බදාදා (අගෝස්තු 21) ආරම්භ වූ සමුළුවට බ්‍රසීල පරිසර ඇමතිවරයාද සහභාගී විය.

එක්සත් ජාතීන් විසින් එම පරිසර සමුළුව සංවිධානය කරන ලද්දේ ඉහත කී කලාපයේ පරිසර විපර්යාස පාලනය කර ගැනීමට පියවර ගැනීමේ ප්‍රයත්නයක් වශයෙනි.

රාජ්‍ය නොවන සංවිධාන,ව්‍යාපාරික සහ අධයාපන සංවිධාන ආදියේ නියෝජිත කණ්ඩායම් ද එම සමුළුව නියෝජනය කළහ.

සමුළුවේ සමාරම්භක සැසියේ දී බ්‍රසීල විදේශ ඇමතිවරයාගේ නම ප්‍රකාශ කෙරෙත්ම කීපදෙනකු පමණක් අත්පොලසන් දුන් අතර වැඩිදෙනා කෑගසමින් හූ තබන්නට පටන් ගත්හ.

පරිසර සංරක්ෂණයට වඩා ඊනියා සංවර්ධනයට අනුග්‍රහ දක්වන ජනාධිපති බොල්සොනාරෝ ආණ්ඩුවේ පිළිවෙතට පරිසරවේදීන් සහ දේශගුණය රැකගැනීම වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් විරෝධය පළ කරති.

ජනාධිපති බොල්සොනාරෝ බලයට පත්වූදා පටන් ඇමසන් වනගැබෙහි කෙරෙන විනාශය වේගවත් වී ඇති බවත් එම ක්‍රියාකාරීහු පවසති.

මේ වසර ඇතුළත ඇමසන් කලාපයේ ගින්නෙන් විනාශ වූ වනාන්තර ප්‍රමාණය ඉතා අධික මට්ටමක ඇති බව චන්ද්‍රිකා දත්ත තොරතුරු මගින් ප්‍රදර්ශනය වීමත් සමඟ පරිසරලෝලීන්ගේ කෝපය තවත් දරුණු අතට හැරුණි.

මේ අවුරුද්දේ ඇමසන් වනයෙන් හැත්තෑ හතර දහසකට අධික ගිනි ගැනීම් වාර්තාවී ඇති බව සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කෙරේ.

2018 වසරේ වාර්තා වූ ඇමසන් වනගිනි සංඛ්‍යාව හතළිස් දහසකට මඳක් වැඩි විය.එවැනි ගිනි හේතවෙන් නැගෙනහිර බ්‍රසීලයේ රොරේමා (Roraima) ප්‍රාන්තයෙන් වැඩි කොටසක් දුමාරයෙන් වැසී ගොස් තිබුණ ආකාරය චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙන්නුම් කෙරේ.

ඇමසන් කලාපය දශ ලක්‍ෂයක් පමණ ස්වදේශික ජනයාගේ වාසභූමිය වන අතර තිස් ලක්‍ෂයක් පමණ වූ ජීවීන් සහ ශාඛවර්ගවල නිවහන වේ.

ඇමසන් වන විනාශය පිළිබඳ වාර්තා පළ වීමත් සමඟ ඊට අදාළ පින්තූර සහ වාර්තා මෙන්ම ඒවා පිළිබඳ ප්‍රතිචාර සමාජ මාධ්‍ය ජලයේ පැතිර යන්නට පටන් ගත්තේ දශ ලක්ෂ ගණනිනි.

ජනාධිපති බොල්සොනාරෝ ගේ ප්‍රතිචාරය

ඇමසන් වනයේ විනාශය සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන ඉහත තොරතුරු නිසා කෝපයට පත් බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ මෙය ගොවීන් බීජ වැපිරීමට පෙර භූමිය ශුද්ධ කොට ඒවා දවන ඍතුව යයි කියා සිටියේය.

තවදුරටත් අදහස් දක්වන ජනාධිපතිවරයා තමාට එරෙහිව නැගෙන විවේචන සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන ලද්දේ ඒවා සමච්චලයට ලක් කරන විලාසයකිනි.

"ඉස්සර මට කිව්වේ - මම 'මැෂින් කියත් නියමුවා' කියලයි. ඒත් මම දැන් නීරෝ. ඇමසන් වනාන්තරය ගිනි තබන නීරෝ"

තවදුරටත් අදහස් දක්වන ජනාධිපති බොල්සොනාරෝ, ඇමසන් වනයේ සිදුවෙන ගිනි තැබීම් සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධානවලට චෝදනා කරයි.

එබැවින් රාජ්‍ය නොවන සංවිධානවලට තම රජයෙන් සැපයෙන ප්‍රතිපාදන නතර කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියි.

එහෙත් එම චෝදනා තහවුරු කිරීමට සාක්ෂි නොමැති බව ඔහු පිළිගනියි .

වනාන්තර විනාශය සම්බන්ධයෙන් එල්ල වෙන විවේචන බ්‍රසීල ජනාධිපතිවරයා දකින්නේ ඔහුට එරෙහිව පෞද්ගලික මට්ටමින් සහ ආණ්ඩුවට එරෙහිව එල්ල කෙරෙන්නක් ලෙසය.

"අප මුහුණ දී සිටින යුද්ධය එයයි" ජනාධිපති බොල්සොනාරෝ පවසයි.

පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව මේ වසරේ ජුනි මාසයේ ඇමසන් වන විනාශය 88%කින් වැඩි වී ඇතිබව බ්‍රසීලයේ අභ්‍යවකාශ සමීක්‍ෂණ ජාතික අධ්‍යයනායතයේ (Inpe) අධ්‍යක්ෂවරයා විසින් නිවේදනය කරනු ලැබීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාරය දැක්වූ ජනාධිපතිවරයා "බොරු කියන" බවට එම අධ්‍යක්ෂවරයාට පසුගිය මාසයේ දෝෂාරෝපණය කර තිබුණි.

ඇමසන් ගිනිවල සැබෑ හේතුව

වියළි බ්‍රසීලියානු දේශගුණය ලැව්ගිනිවලට හේතු වේ. එහෙත් පසුගියදා වාර්තා වූ ඇමසන් වනගිනි සිතාමතාම ඇතිකරන ලද ඒවා බව පැවසේ.

එයින් ඇතැම් ඒවා නීතියට පටහැණිව වනගැබ අළු කර දැමීමට සිතාමතාම අවුළුවන ලද ඒවා වන අතර තවත් ඒවා යෝධ ගවගාල් සඳහා භූමිය ලබා ගැනීමට අවුළුවන ලද ඒවා වෙති.

"වියළි කාලගුණය ලැව්ගිනි පැතිර යාමට හේතුවෙන පරිසරයක් නිර්මාණය කරනවා.ඒත් වැරදීමක් නිසා හෝ එහෙමත් නැත්නම් සිතාමතාම මිනිස් ක්‍රියාකාරකමක් නිසා ගිනි පැතිරයනවා"නිදහස් සමීක්ෂකයකු වන ඇල්බර්ටෝ සෙට්ෂර්(Alberto Setzer) පවසයි.

සොබාදහම පිළිබඳ ජගත් අරමුදලේ ප්‍රධානී රිකාඩෝ මෙලෝ(Ricardo Mello) මෙසේ සඳහන් කරයි.

"අලුත්ම සංඛ්‍යාලේඛන වලින් පෙනී යනවා- වන විනාශය වැඩි වී ඇති මට්ටම"

මින්පෙර බලයේ සිටි බ්‍රසීල ආණ්ඩු, ෆෙඩරල් ආයතන සමඟ කටයුතු කිරීම සහ දඩ ගැසීම් වැනි ක්‍රියාමාර්ග අනුව යමින් පසුගිය දශකයන්හි වනාන්තර විනාශය පාලනය කර ගැනීමට සමත්ව ඇත.

එහෙත් ජනාධිපති බොල්සොනාරෝ සහ ඔහුගේ ඇමතිවරු වනය වනසන්නන්ට එරහිව දඩ ගැසීම දෝෂ දර්ශනයට ලක් කරති.

එසේම දැව රාජසන්තක කිරීම සහ පරිසර අපරාධවලට වැරදිකරුවන් කරනු ලැබීම පහත වැටීම පිළිබඳව පරීක්ෂා කරනු ලැබීමත් ඔවුන්ගේ දෝෂදර්ශනයට ලක්වේ.

මේ ගිනිගන්නේ අපේ ගෙදර

මේ අතර සිකුරාදා (අගෝස්තු 23) ප්‍රකාශයක් කළ බ්‍රසීල ජනාධිපතිවරයා, ඇමසන් වනාන්තරයේ ගිනි පාලනය කිරීමට අවශ්‍ය සම්පත්වල අඩුවක් ඇති බවක් කියා සිටියේය.

එම ගිනි සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධානවලට චෝදනා කළ ජනාධිපතිවරයා, තමාට එම චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි නැති බවත් සඳහන් කළේය.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රන් අදහස් දක්වමින් ඇමසන් වනාන්තරයට අත්වෙමින් ඇති ඉරණම විග්‍රහ කළේ "ජාත්‍යන්තර අර්බුදයක්" හැටියටය.

මේ සති අන්තයේ ආරම්භ කෙරෙන G-7 රාජ්‍ය නායක සමුළු න්‍යාය පත්‍රයේ ප්‍රමුඛස්ථානය 'ඇමසන් වන විනාශය' විය යුතුව ඇතැයි ප්‍රංශ ජනාධිපතිවරයා යෝජනා කරයි.

"අපේ ගෙදර ගිනි ගනිමින් තියෙනවා" ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රන් විසින් නිකුත් කරන ලද ට්විටර් පනිවුඩයක දැක්වෙයි.

ඊට ප්‍රතිචාරය දක්වන බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ, "දේශපාලන වාසි ලබා ගැනීම" ප්‍රයත්නයට නිරත වෙන බවට ප්‍රංශ ජනාධිපතිවරයාට චෝදනා කළේය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් (Antonio Guterres) ප්‍රකාශයක් කරමින්,ඇමසන් වනයේ විනාශය සම්බන්ධයෙන් තමා බලවත් කනගාටුවට පත්ව සිටින බව පවසයි.

"අපි ඉන්නේ දේශගුණ විපර්යාශයන් මුල්කර ගත් අර්බුදයක් මැද.ජෛව විවිධත්වය සහ අපේ මහා ඔක්සිජන් ගබඩාවට හානි සිද්ධ වෙන්න ඉඩ හරින්න බැහැ" එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා අවධාරණය කරයි.

කියවන්න;