ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දීප ව්‍යාප්ත හර්තාලය ක්‍රියාත්මක යි - වෘත්තීය සමිති 2000ක සහාය
ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වන්නැයි බල කරමින් අද (මැයි 06) දිවයින පුරා පැවැත්වීමට සැලසුම්කර තිබූ හර්තාල් ව්‍යාපාරය ඇරඹිණි.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන 2000කට අධික සංඛ්‍යාවක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම හර්තාලය නම්කර ඇත්තේ "ජන මතයට හිස නමනු - ආණ්ඩුව ගෙදර යනු" යන තේමාවෙනි.
මේ හේතුවෙන් අධ්‍යාපන, ප්‍රවාහන, වතු, රාජ්‍ය අංශයේ මෙන්ම සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක කටයුතු අද දිනය තුළ ඇණහිට ඇත.
වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම-කැඳවුම්කරු වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ හර්තාලයට එක්වන්නැ යි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරන බව යි.
හර්තාලය නිසා මේ වන විට රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය ද අඩාල වී ඇත.
පෞද්ගලික බස් රථ හිමියන් හා දුම්රිය සේවකයින් හර්තාලයට සහාය පළ කරමින් වැඩවර්ජනයක් ආරම්භ කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යි.
දුම්රිය සේවකයින් රැසක් වැඩබිම්වලින් ඉවත්ව ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පී. විතානගේ ප්‍රකාශ කළේ ය.
අද දින කොළඹට පැමිණ ඇත්තේ එක් දුම්රියක් පමණක් බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. සාමාන්‍ය දිනකදී දිනකට දුම්රියගමන්වාර 300කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
කෙසේ වෙතත් ලංගම බස් රථ අද දිනයේ සාමාන්‍ය පරිදි ධාවනයට යොදවන බව ලංගම සභාපති කිංස්ලි රණවක පැවසීය.
සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් ද අද හර්තාලයට සහාය පළ කර තිබේ.
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද සේවයෙන් ඉවත්ව හර්තාලයට සහය පළ කරන වග එම සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර ප්‍රකාශ කළේ ය.
හෙද හෙදියන් රැසක් ද අද වැඩ වර්ජනයේ නිරත වේ. පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවල වෘත්තිකයින් රැසක් ද සේවාවලින් ඉවත්ව හර්තාලයට එක්වී සිටිති. මහජන සෞඛ්‍ය පරීක්ෂවරු ද ඒ අතර වෙති.
අද දහවල් රෝහල් ඉදිරිපිට විරෝධතා සංවිධාන කරමින් හර්තාලයට සහාය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද සඳහන් කළේ ය.
කෙසේ නමුත්, හදිසි හා අත්‍යාවශ්‍ය ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙනු ඇත.
හර්තාලය හේතුවෙන් පාසල් කටයුතු ද අද නිසි පරිදි ක්‍රියාත්මක නොවේ.
අද පාසල් ළමුන් ප්‍රවාහනයෙන් ඉවත්වන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමයේ සභාපති මල් ශ්‍රි ද සිල්වා ප්‍රකාශ කළේ ය.
ග්‍රාම නිලධාරිවරුන් ද හර්තාලයට සහාය පළ කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්‍ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාර පැවසීය.
හර්තාලය හේතුවෙන් අද බැංකු කටයුතු ද අඩපණ කර තිබේ.
වෘත්තිය සමිති ප්‍රකාශ කළේ, හර්තාලයට සමගාමීව ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන්නැ යි බල කරමින් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක උද්ඝෝෂණ සංවිධාන කර ඇති බව යි.
මේ අතර, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවා අද ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක නිවේදනය කළේ ය.
කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති හර්තාලයට සහයෝගය දැක්වීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සේවයට වාර්තා නොකරන බව දැනුම්දීම හේතුවෙන් එම පියවර ගත් බව යි.
එක්දින සේවා සඳහා වේලාව වෙන්කරගත් ඉල්ලුම්කරුවන්ට රජයේ වැඩකරන වෙනත් ඕනෑම දිනක එක්දින සේවාව වෙත පැමිණිය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ එක්දින සේවාව ඇතුළු සියලු මහජන සේවා අද ක්‍රියාත්මක නොවන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ද පැවසී ය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු රටේ සියලු ගුවන්තොටුපළවල ශ්‍රී ලාංකික ප්‍රභූන් සඳහා ප්‍රභූ පර්යන්තයෙහි ආගමන හා විගමන රාජකාරීවලින් තම සාමාජිකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් වූ බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකර ඇත.
ඒ, පාලකයන් වත්මන් ගැටලුවට නිශ්චිත විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමිනි.
මීට අමතරව විශේෂ සත්කාර, මඟීන් සඳහා වන සේද මාවත මඟී නිශ්කාශන කටයුතුවලින් ද ඉවත්වීමට ඔවුන් තීරණය කර තිබේ.
මේ අතර, ඉන්ධන ඉල්ලා ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද පෙරවරුවේ විරෝධතා පැවැත්විණි.
යාපනය - මහනුවර A9 මාර්ගය දඹුල්ල නගරයෙන් අවහිර කර එක් විරෝධතාවක් පැවැත්විණි. ඊට සහභාගි වූ ගොවීන් ඉල්ලා සිටියේ වහාම ඉන්ධන ලබා දෙන ලෙස යි.
ජනතාව ද හර්තාලයට සහාය පළකරමින් නිවෙස්වල හා රථවාහනවල කළු කොඩි ඔසවා තිබෙණු ද, සමාජ මාධ්‍ය ගිණුම් පින්තූර කළු කොඩියක පින්තූරයකට වෙනස්කර තිබෙණු ද දක්නට ලැබේ.