ඉන්ධන නිකුත් කිරීම නැවතත් සලාක ක්‍රමයට

ඛනිජ තෙල් සංස්ථාව අද (මැයි 5) සිට ඉන්ධන පිරවුම්හල්වල වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම යළි සීමා කර තිබේ.

ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2,000කත්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 3,000කත් සහ කාර්, වෑන්, ජීප් සඳහා රුපියල් 8,000 ක උපරිමයකට යටත්ව ඉන්ධන සැපයෙන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

මෙය බස් රථ, ලොරි සහ වාණිජ වාහන සඳහා අදාළ නොවන බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සදහන් කළේය.

ඔහු සඳහන් කළේ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග කළමනාකරණය කිරීම සඳහා එක් එක් වාහනය සඳහා ඉන්ධන සැපයීම සීමා කිරීමට තීරණය කළ බවයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ නොරොච්චෝලේ බිඳවැටීම නිසා විදුලිය නිෂ්පාදනය සඳහා ඩීසල් ලබාදීමට ප්‍රමුඛත්වය දී ඇති බවයි.

ඔහු තවදුරටත් පැවසුවේ ප්‍රමාණවත් (පෙට්‍රල් 92 ඔක්ටේන්) සුපර් ඩීසල් තොග වෙළෙඳපොළට නිකුත් කෙරෙනු ඇති බවයි.

ඔක්ටේන් 95 පෙට්‍රල් නිකුත් කිරීම තවදුරටත් සීමා කෙරෙනු ඇති අතර ඔටෝ ඩීසල් සීමා සහිතව බෙදා හරින බවත් බොරතෙල් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් වරායෙන් ගොඩබෑමට නියමිතව ඇති බවත් පැවසීය.

එහේත් මේවන විට දිවයින පුරා බොහෝ ඉන්ධන පිරවුම් හල්වල දිගු වාහන පොලිම් පසුගිය දින කිහිපය තුළ දැකිය හැකි බවට වාර්තාකරුවන් බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ අතර ඔහු තවදුරටත් පැවසුවේ සමාජ මාධ්‍යවල හුවමාරු වූ වීඩියෝවකින් ප්‍රශ්න කරන ලද පෙට්‍රල්වල ප්‍රමිතිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා CPC සහ CPSTL හි කුරුණෑගල ප්‍රාදේශීය නිලධාරීන් කුරුණෑගල, නාරම්මල ප්‍රදේශයට යවා ඇති බවයි.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීම පසුගිය (අප්‍රේල් 15) සිට සති දෙකක කාලයක් සඳහා සීමා කිරීම මෙයට පෙර ක්‍රියාත්මක කෙරිණ.

ඒ අනුව අප්‍රේල් 15 වැනිදා යතුරු පැදි සඳහා ඉන්ධන නිකුත් කළේ රුපියල් 1000/= ක උපරිමයකට යටත්වයි. ත්‍රිරෝද රථ සඳහා රුපියල් 1500 ක් ද, කාර්, වෑන්, ජීප් ඇතුළු අනෙකුත් වාහන සඳහා රුපියල් 5000/= ක සීමාවකට ද යටත්ව ඉන්ධන නිකුත් කෙරනු ඇති.

විවිධ පාර්ශ්ව රැගෙන එනු ලබන බැරල්, බූලී සහ ප්ලාස්ටික් ටැංකි වැනි භාජනවලට ඉන්ධන නිකුත් කිරීම මේ වන විට අත්හිටුවා ඇති බවද ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.