ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට - ඉන්ධන පෝලිම් මැද ගෑස් බෙදාහැරීම නැවතෙයි
ගෑස් තොග නොලැබීම හේතුවෙන් ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් නිෂ්පාදනය හා මෙරට බෙදාහැරීම නවතා තිබේ. ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් සභාපතිවරුන් මේබව තහවුරු කර ඇත.
පවතින විනිමය අර්බුදය හමුවේ ගෑස් නෞකා සඳහා ගෙවීම් කිරීමට ණයවර ලිපි විවෘතකර ගැනීමට නොහැකිවීම මීට හේතුව බවට ඔවුන් පවසයි.
කෙසේ වෙතත් මේ වන විටත් ගෑස් මිල දී ගැනීමේ අපේක්ෂාවෙන් පාරිභෝගිකයෝ විශාල පිරිසක් ගෑස් අලෙවි මධ්‍යස්ථාන අසල දිගු පෝලිම්වල රැඳී සිටිනු බීබීසී සිංහල සේවයට දැක ගත හැකි විය.
මේ තත්ත්වය හේතුවෙන් ගෑස් පාරිභෝගිකයින් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින අතර, ගෘහණියන්ට මෙන්ම ආපනශාලා, හෝටල්, බේකරි ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බවට පරිබෝගිකයින් පැවසීය.
"බඩු මිල පාලනය කරන්න බැරිනම් මොන මඟුලකට ද ඕකේ ඉන්නේ?" නම හෙළිකිරීමට අකමැති වූ එක් පාරිභෝගිකයෙකු අවේගශීලීව ප්‍රශ්න කළේ ය.
තවත් අයෙකු පැවසුවේ, "ගෑස් ටිකක්, තෙල් ටිකක් බෙදා ගන්න බැරි හේතුව අපි දන්නවා. මොකද දේශපාලනඥයෝ හොරාකාපු සල්ලි රටේ නැහැ," යනුවෙනි.
"අන්තිමට මුන් අපිවත් විකුණලා, අපේ දරුපවුලත් විනාශ කරලා, මුන් ඔක්කොම විනාශ කරන්න යන්නේ," ගෑස් පෝලිමක සිටි තවත් පාරිභෝගිකයෙකු කියා සිටියේ ය.
ඩීසල් පෝලිම් දිගුවෙයි
අද දිනයේ (මාර්තු 16), දිවයිනට ළඟාවී ඇති ඉන්ධන නෞකාවකට ඩොලර් මිලියන 42ක් ගෙවීම් කිරීමට බලශක්ති අමාත්‍යංශය කටයුතු යෙදා තිබේ. ඒ අනුව, අද සිට එම නෞකාවේ ඉන්ධන ගොඩබෑම ආරම්භ කිරීමට නියමිත ය.
මෙම නෞකාව ඩීසල් මෙට්‍රික් ටොන් 22,000ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 22,000ක් මෙරටට රැගෙනවිත් තිබේ.
ඉන්දීය ණය පහසුකම යටතේ, මාර්තු 20 හෝ 21 වැනිදා ද ඩීසල් නෞකාවක් මෙරටට ළඟාවීමට නියමිත ය.
දැනට මෙරටට පැමිණ ඇති ඩීසල් නෞකාවකින් ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් ගොඩබාමින් පවතිතැ යි බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.
ඩීසල් ලබා ගැනීම සඳහා ඊයේ (මාර්තු 15) මධ්‍යම රාත්‍රියේ සිට මේ දක්වාම ඉන්ධන පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම් සෑදී ඇත.
"දවසක් වැඩ කරන්න දවසක් පෝලිමේ ඉන්න ඕනේ," ඉන්ධන පෝලිමක සිටි නදීක ලෙස හදුන්වා දුන් කුලී රථ රියෙදුරෙකු කියා සිටියේ ය.
"රෑට පෝලිමේ ඉදලා උදේට මේ ළමයි අරගෙන අපි කොහොමද ඉස්කොලෙට එන්නේ? රෑ එළිවෙනකං නිදිමරාගෙන පෝලිමේ ඉඳලා උදේ එනකොට අනතුරක් වුණොත් මේ රජය සෘජුවම වගකියන්න ඕනේ," පාසල් වෑන් රථ හිමියෙකු වන පි ගුණරත්න පවසා සිටියේ ය.
"70 ගණන්වලත් අපි මෙච්චර දුක් වින්දේ නැහැ. වේලක් දෙකක් කාල හරි හොඳට ජීවත් වුණා. හොදයි... හොඳටම කෙරුවා," සිරිපාල ගමගේ ගෑස් පෝලිමක සිටි පාරිභෝගිකයෙකු චෝදනා කළේ ය.
පෞද්ගලික බවුසර් හිමියන් අද වැඩ වර්ජනයක
පවතින අර්බුදය මැද, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදාහරිනු ලබන පෞද්ගලික ටැංකි රථ (බවුසර්) හිමියන් ද අද වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුනේ ප්‍රවාහන ගාස්තු වැඩි නොකිරීමට එරෙහිව යි.
මේ හේතුවෙන් බවුසර් 800ක් අද ධාවනය නොවන බව බවුසර් රථ හිමිකරුවෝ කියා සිටියෝ ය.
ඉන්ධන මිල වැඩි කිරීම සහ රුපියල අවප්‍රමාණය වීම මත ප්‍රවාහන ගාස්තුව 60%කින් වැඩි කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි. දැනට එම ප්‍රවාහන ගාස්තු ඉහළ දමා ඇත්තේ 17%කිනි.
බලශක්ති අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ (බවුසර්) හිමියන් ආරම්භ කළ වැඩවර්ජනය අද (මාර්තු 16) දහවල් අවසන් කරනු ලැබීය.
ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථ, කාර්යාල ප්‍රවාහන සේවා, පාසල් වෑන් රථ මෙන්ම දුර පළාත්වල සිට කොළඹට එළවළු, පළතුරු ප්‍රවාහනය කරන ලොරි රථ රියදුරෝ ද දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.
ජාත්‍යන්තර බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට
ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොර තෙල් මිල (මාර්තු 15 වැනි අඟහරුවාදා ) 6%කට වඩා පහත වැටිණි. ඒ, සති තුනකට ආසන්න කාලයක් තුළ වාර්තා වූ අවම මිල මට්ටමට සටහන් කරමිනි.
බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් සහ එක්සත් ජනපද බොරතෙල් මිල, පෙබරවාරි අග සිට පළමු වරට බැරලයකට ඩොලර් 100කට වඩා අඩු මිලකට අලෙවි විය.
මාර්තු 7 වන දා 14 වසරක දී දැක්වුණු ඉහළතම බොරතෙල් මිල වාර්තා වීමේ සිට, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 40කට ආසන්න ප්‍රමාණයකින් ද, අමෙරිකානු WTI වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 30ට වැඩි අගයකින් ද පහත වැටී ඇත.
ඒ අනුව බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 99.91ක් ලෙස පහත වැටුණි.
එක්සත් ජනපදයේ බටහිර ටෙක්සාස් අතරමැදි (WTI) බොරතෙල් බැරලයක් ඩොලර් 96.44ක් දක්වා, ඩොලර් 6.57කින් (6.4%කින්) පහත වැටී ඇත.
ගනුදෙනු ආරම්භයේ දී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 97.44ක් තරම් පහත වැටුණු අතර (WTI) වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 93.53ක් දක්වා පහත වැටුනි. එය පෙබරවාරි 25න් පසු වාර්තා වූ අඩුම අගය යි.
මේ අතර, 2022 ජූනි 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා මාස 7කට මෙරටට බොරතෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුවත්, මාර්තු 01 වැනිදා සිට ඔක්තෝබර් 31 වැනිදා දක්වා මාස 08කට ඩීසල් ආනයන කොන්ත්‍රාත්තුවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක් වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව එලෙස නිර්දේශය ලබා දී ඇත්තේ, අදාල ප්‍රසම්පාදනය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරල් එනර්ජි ඩී. එම්. සී. සී. සමාගම වෙත පිරිනැමීමට යි.
එකී නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව එම සමාගම වෙත පිරිනැමීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
විදුලි කප්පාදුව අදත්
අදත් (මාර්තු 16) පැය 5කට අධික කාලයක් විදුලි කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලය වෙත අවසර ලබා දී ඇත.
අද A, B, C, D, E, F, G, H, I, J, K, සහ L ඛාණ්ඩයන්ට අයත් ප්‍රදේශ සඳහා උදේ 8 සිට සවස 6 දක්වා පැය දෙකහමාරක් ද, සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැය දෙකක් ද විදුලිය කප්පාදු කරන බව මහජන උපයේගීතා කොමිසම නිවේදනය කළේ ය.
P, Q, R, S, T, U, V, සහ W ඛාණ්ඩයන්ට අයත් ප්‍රදේශවලට පෙ.ව. 8.30 සිට සවස 5.30 අතර පැය තුනක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
මීට අමතරව එම ප්‍රදේශවලට සවස 5.30 සිට රාත්‍රී 11 අතර පැය දෙකහමාරක් ද විදුලිය කප්පාදු කෙරේ.