ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එන්න එන්නම වැඩිවෙන ජනතා විරෝධතා
"රට විනාසයි. දැන් ඇති. තවත් ඉවසන්න බෑ. තවත් වනසන්න දෙන්න බැහැ. එක්වෙමු කොළඹට." යන මැයෙන් සමගි ජනබලවේගය සංවිධානය කරන විරෝධතාව අද (මාර්තු 15) පස්වරු 2ට කොළඹදී පැවැත්වීමට නියමිතය.
මේ වන විට රටේ ඇතිවී ඇති ආර්ථික අර්බූදය හමුවේ ජනතාව මුහුණ දී ඇති අපහසුතාවයන් හේතුවෙන් රටේ විවිධ ප්‍රදෙහ්ස වල මේ වන විට දේශපාලන පක්ෂ හැටියට මෙන්ම ජනතාව ති තනිවම විරෝධතා පැවැත්වීමට පටන්ගෙන ඇති බව අපට නිතර අසන්නට ලැබේ.
අද මාර්තු 15 දා සමගි ජනබලවේගය විරෝධතාවයක් කොළඹ දී පැවත්වෙනු ඇති අතර සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන විරෝධතා ව්‍යාපාරක් මාර්තු 18 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතයි. රටේ සම්පත් විකිණීම හා ජනතාව පොලීම්වල තැබීමට විරෝධය දැක්වීම සඳහා එය සංවිධාන කර තිබේ.
සමගි ජනබලවේගයේ පනිවිඩය... "කලුවර ආණ්ඩුව පන්නමු"
වර්තමාන ආණ්ඩුව පත්වී වසර දෙකකට කිට්ටු කාලයක් ගත වී තිබේ. හෘද සාක්ෂියට එකඟව එය දෙස හැරී බැලුවහොත් ආණ්ඩුව රටට සිදුකළ එකම එක යහපත් දෙයක් සොයා ගන්නට පුළුවන් ද? දහසකුත් එකක් බලාපොරොත්තු වර්තමාන ආණ්ඩුව විසින් සුණුවිසුණු කර ඇති බව බොරුවක්ද? රකින්න යැයි කියා භාරදුන් රට වර්තමාන ආණ්ඩුව විසින් රැක තිබේද? සමගි ජනබලවේගය ප්‍රශ්න කර සිටියි.
එක් පසෙකින් රැකියාවේ අස්ථාවරත්වය, තවත් පසෙකින් අධ්‍යාපනයේ කඩාවැටීම, තවත් පසකින් කුස්සියේ විලාපය, තවත් පසකින් බංකොලොත් බව වෙත වේගයෙන් කිට්ටු වෙමින් සිටින රට, තවදුරටත් මේ ඛේදවාචකය දෙස බලා සිටිය හැකිද? ඔබේ බලාපොරොත්තු සහ සිහින මතින් බලය ලබාගත් ආණ්ඩුව ඒ බලාපොරොත්තු සහ සිහින යථාර්ථයක් කරනවා වෙනුවට ඔවුන් ජීවිත සමග සෙල්ලම් කිරීම ආරම්භ කොට ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර චෝදනා කළේය.
"මේ රට අද ට්‍රොලියක දමාගෙන යන මරණාසන්න රෝගියෙකුට සමානයි." රටේ ජාතික සම්පත් සියල්ල කුණු කොල්ලයට විකුණා දමමින් මැදියම් රැයේ පවා ගිවිසුම් අත්සන් කරන තත්ත්වයට පත්වෙලා. රටේ සදාකාලික භාරකරුවන් ලෙස රාජපක්ෂවරුන් කටයුතු කරන අතර රටේ අයවැයෙන් 60% කට වැඩි ප්‍රමාණයකට වගකිව යුත්තන් වන්නේත් ඔවුන්."
"ලෝකයේ සියලුම රටවල් පාහේ සිව්වෙනි කාර්මික විප්ලවයත් සමග ඉතා වේගයෙන් ඉදිරියට එමින් තියෙන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ඉතා සීග්‍ර ලෙස පල්ලම් බසිමින් සිටින්නේ අත්තනෝමතික පාලනයේ නොහැකියාව නිසායි. ඇත්ත වශයෙන්ම මේ වන විට මුළු රටම විනාසවෙලා. තවදුරටත් මේ විනාශය ඉවසා සිටිනවා නම් ඉතිරි වන්නේ මහ මුහුද මැද හුදකලා වූ පස් ගොඩක් පමණි." රංජිත් මද්දුම බණ්ඩාර අවධාරණය කළේය.
වැඩ ලක්ෂයේ බොරුව
"සිමෙන්ති කොට්ටයක් නැති රටක කොහොමද වැඩ ලක්ෂයක් කරන්නේ"? සමගි ජනබලවේගය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රශ්න කර සිටියේය. මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම පහළ කාඩරයට හොරකම් කරන්න හදලා දුන් පොටක් පමණක් බව සමගි ජනබලවේගය තවදුරටත් පෙන්වා දෙයි.
"තෙල් මිල ඉහළ දැමීම එදා යහ පාලන සමයේ රුපියල් දෙකකින් තෙල් ඉහළ දැමූ අවස්ථාවක බයිසිකල් වලින් පාර්ලිමේන්තුවට පැමිණි අගමැති ප්‍රමුඛ පොහොට්ටුව ආණ්ඩුව, මේ වන විට අහස උසට තෙල් මිල ඉහළ නංවා තිබේ. ලෝක වෙළඳපොලේ තෙල් මිල පහළ ගොස් තිබියදී මේ රටේ තෙල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම විශ්මයක්," බවද සමගි ජන බලවේගය පෙන්වා දෙයි.
ආණ්ඩුව කොවිඩ් මරණ සාමාන්‍යකරණය කොට ඇති බව ද සමගි ජනබලවේගය පෙන්වා දෙයි.
"කොවිඩ් ජාවාරමක් ද ක්‍රියාත්මක වූ අතර ඒ හරහා ආණ්ඩුවේ ගජමිතුරන්ගේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් උපයා දී තිබේ."
ආණ්ඩුව පැමිණ සිදුකළ තවත් මහා පරිමාණ ජාවාරමක් වන්නේ ඇන්ටිජන් ජාවාරම බව පෙන්වා දෙන සමගි ජනබලවේගය පවසා සිටියේ ව්‍යාපාරික ගජ මිතුරන්ට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් උපදවා ගැනීමට රජය අවස්ථාව සලසා දුන් බවයි.
විදුලිය කැපිල්ල - තෙල් පෝලිම
මේ වන විට අවාසනාවන්ත ලෙස දිනකට පැය ගණනක් විදුලිය කැපීම සහ ඉන්ධන පෝලිමේ තත්ත්වයෙන් මිදීමට කිසිදු වැඩ පිළිවෙලක් ආණ්ඩුව සතුව නැතැයි සමගි ජනබලවේගය චෝදන කරයි.
මැතිවරණ කල් දැමීම
මේ වන විටත් ආණ්ඩුව පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණය කල් දමා ඇති අතර එය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් වී ඇතැයි සමගි ජනබලවේගය පෙන්වා දෙයි.
බලය ලබා ගැනීම උදෙසා විශාල පිටුබලයක් සැපයූ පාස්කු ප්‍රහාරය සම්බන්දව මේවන විට පරීක්ෂණ නිසි පරිදි සිදු නොවන අතර ආණ්ඩුව මෙයින් වගකීම් විරහිත ලෙස බැහැර වන බවක් පෙනෙන්නට ඇතැයිද එම පක්ෂය පෙන්වා දුන්නේය.
රට තුළ භයානක තත්ත්වයක්…
ආණ්ඩුව අනුගමනය කරන නිද්‍රාශීලී පිළිවෙත නිසා රට තුළ භයානක තත්ත්යක් නිර්මාණය වෙමින් පවතින බවත් මින් ජනතාවට දැඩි බලපෑම් එල්ල වෙමින් ඇති බවත් සමගි ජනබලවේගය මන්ත්‍රී තිස්ස අත්තනායක පවසා සිටියේය.
අද (15 වැනිදා) පස්වරු 2ට කොළඹට රැස්වෙලා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියත්මක කරන බවත් ඒ සඳහා සෑම දෙනාටම ආරාධනා කරන බවත් ඔහු සඳහන් කළේය.
"මේක සමගි ජනබලවේගයට විතරක් සීමා වෙන්නේ නැහැ. සමස්ත රට වැසියන් වෙනුවෙන් පවත්වන්නේ යැයි" මන්ත්‍රී තිස්ස අත්තනායක ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අවධාරණය කළේය.
ඔහු චෝදනා කර සිටියේ, "පසුගිය වසර 2ක තුළ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න උත්සහ කෙරුවේ නැහැ. පවතින තත්ත්වයයෙන් ජනතාව ගලවා ගැනීමට සහ සහන දෙන්න කිසිදු පියවරක් ගත්තේ නැහැ."
මන්ත්‍රී තිස්ස අත්තනායක ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අභියෝග කර සිටියේ හැකි නම් ඉන්ධන හෝ ගෑස් පෝළිමකට යන ලෙසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා තවදුරටත් පවසා සිටියේ ගැසට් වෙනුවට කෙටි පණිවිඩ මගින් මිළ වැඩි කෙරෙන වත්මන් ආණ්ඩුව මෙන් පාලනයක් මෙරට තුළ කිසිදා නොතිබු බවයි.
"රටේ ජනාධිපතිතුමා හොඳයි ගෑස් පොලිමකට ගිහිල්ලා, ඩීසල් පොලිමකට ගිහිල්ලා බලනවා නම්. ඔය ඇමති කෙනෙක්ට පුළුවන් නම් අපි අභියෝග කරනවා ඔය තෙල් පොලීමකට, ගෑස් පොලීමකට, සිමෙන්ති පොලිමකට ගිහිල්ලා බැලුවා නම් ජනතාවගෙන් තොරතුරු විමසා බැලුවා නම් ජනතාව සලකන හැටි බලන්න තිබුණා. ජනතාව ඉන්නේ දැඩි පීඩනයක." මන්ත්‍රීවරයා පවසා සිටියේය.
"විපක්ෂය තමා කිව්වේ සර්ට බැරි බව කිව්වේ, සර් ෆේල් බව කිව්වේ, සර්ට පිස්සු බව කිව්වේ, මොළ 7 නෙමේ සියල්ලටම මේක කරන්න බැරි බව ජනතාවට අවබෝධ කළේ අපි" පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේය.
"අපි තමුන්නාසෙලාගෙන් ඉල්ලනවා, 69 ලක්ෂයක් ඡන්දය දීපූ ජනතාව මේ වෙලාවේ එකතු වෙන්න අපිත් එක්ක. පාරට බහින්න සූදානම් වෙන්න. අපි ආරාධනා කරනවා. ෆෙස්බුක් එකේ කොට කොට ඉදලා මදි. තැන් තැන්වල හම්බවෙලා බැන බැන ඉදලා මදි." මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ඔහු පැවසුවේ "ගෝඨාභය රාජපක්ෂටත් වැඩ බැහැ. මහින්ද රාජපක්ෂයටත් බැහැ. බැසිල් රාජපක්ෂටත් බැහැ. මොන රාජපක්ෂටත් මේක කරන්න බැහැ.ආණ්ඩුවම ෆේල්." බවයි.
රට බේරා ගැනීමේ සටන මාර්තු 15 වැනිදා හවස දෙකට කොළඹින් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කියා සිටියේය.
කොළඹ දී පැවැත්වෙන මෙම විරෝධතාවයට රටේ විවිධ ප්‍රදේශවලින් දහස් සංඛ්‍යත ජනතාවක් සහභාගිවනු ඇතැයි ඔහු පැවසීය. ඒ සඳහා එක්වන මෙන් ඔහු ජනතාව ගෙන් ඉල්ලා සිටියේය.
"රටේ අද තිබෙන තත්ත්වයට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පාලනය වගකියන්න ඕන. විපක්ෂයේ අපි දිගින් දිගටම මේ ගැන කිව්වා මහජනතාව එළියට බැහැලා උද්ඝෝෂණය කළා. නමුත් එය බීරි අලින්ට වීණා වයනවා වගේ."
දැන් මේ ආණ්ඩුවට අවුරුදු දෙකක් වෙනවා පැය හත හමාරක් විදුලිය නෑ. ආණ්ඩුවට මේකට උත්තරයක් නැහැ.
"තෙල් ටික ගන්න ඩොලර් නැහැ බඩුමිල තුන් ගුණයක් වැඩි වෙලා ජාත්‍යන්තරයත් අනිත් ආයතනත් කියනවා අර්බුදය එන්න එන්න වැඩි වෙලා කියලා." මද්දුම බණ්ඩාර අවධාරණය කළේය.
ආණ්ඩුවත් දෙදරලා ගිහිල්ලා එක පැත්තකින් කණ්ඩායමක් එලියට එන්න හදනවා ඇමතිවරු කිහිපදෙනෙක් අස් කරා. ලබන මාසේ වනවිට තවත් කණ්ඩායමක් එළියට යනවාකියලා ආරංචි වෙනවා. සමගි ජනබලවේගය මහලේකම්වරයා පවසා සිටියේය.
විපක්ෂයට විසඳුම් නැහැ
බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසා සිටියේ "අද විපක්ෂය විවේචනය කරනවා. නමුත් විපක්ෂයේ කවුරුත් විසඳුමක් දෙන්නේ නෑ. ඒ අය මේ සඳහා කිසිම විකල්පයක් කතා කරන්නේ නෑ. ඒ අය හැම තැනම බදු ගැහුව්වා. නමුත් අපේ ආණ්ඩුව පැමිණියාම කළේ ව්‍යාපාර ශක්තිමත් කරන්න බදු සහන දුන්නා."
ඔහු වැඩිදුරටත් පැවසුවේ "යහපාලන ආණ්ඩුව කාලයේ කොවිඩ් අර්බුදයක් තිබුණේ නෑ. ලෝකයේ විනිමය අර්බුදයක් තිබුණේ නෑ. නමුත් අද අපේ දක්ෂකම නිසා මිසක් සංචාරක ව්‍යාපාරයක් අද නැති වෙනවා. රට වහපු වෙලාවේ රජයේ විවිධ උපක්‍රම කරපු නිසා කර්මාන්ත පවත්වා ගෙන ගියා. එම නිසා ඇගලුම් කර්මාන්තයේ ලෝකයේ වැඩිම නිෂ්පාදන කරපු රට ලංකාවට බවට පත් වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මොන ප්‍රශ්න තිබුණත් කොවිඩ් ප්‍රශ්නයට මුහුණ දිපු නිසා තමයි අද අපි මේ විදිහට රට යන්නේ. දැන් මහජනතාව තුළ කොවිඩ් වසංගතය පිළිබඳව බයක් නැත්තේ මේ ආණ්ඩුව ගත්ත වැඩපිළිවෙළ නිසයි."
"අද ප්‍රධානම මාතෘකාවක් වෙලා තිබෙන්නේ තෙල් මිල වැඩිවීමත්, විදුලිය විසන්ධි කිරීමත් පිළිබඳවයි. තෙල් මිල වැඩි වීම මොන රජයක් තිබුණත් මේ අවස්ථාවේ වෙනස් කරන්න පුළුවන් වැඩක් නොවෙයි." ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අවධාරණය කළේය.
"අපේ රටේ 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවන විට ආර්ථික අර්බුදයක් තිබුණේ නැ. නමුත් ඒ ආණ්ඩුව ඇවිත් පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක මේ රට ලොකු අර්බුදයකට පත් වුණා. සංචාරකයින් පැමිණිම නතර වුණා. විදේශ ආධාර ලැබෙන එක නැති වුණා."
"ඊට අමතරව තෙල් සංස්ථාව සෘජුව තෙල් ගැනීමේ පිළිවෙත වෙනස් කළා. තෙල් සංස්ථාව ඛනිජ තෙල් ලබා ගත්තේ දින 190,180,85 ට දීර්ඝ කාලීන ණය වලටයි. අපි ආණ්ඩුව පිහිටුවන අවස්ථාවේ පැවති ආණ්ඩුව ගත්ත තෙල් බිල් ගෙවන්න තිබුණා විශාල මුදලක්.දැන් මේ මොහොත වන විට ඒ මුදල් සියල්ලම අපිට දෙන්න සිදු වුණා." ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා කියා සිටියේය.
ජනපති හෙට ජාතිය අමතයි
රටේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (මාර්තු 16 වැනිදා) ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.