ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලංකා IOC ඩීසල් රුපියල් 75කින් සහ පෙට්‍රල් රුපියල් 50කින් ඉහළ දමයි.
ලංකා IOC සමාගම මාර්තු 10 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් හා පෙට්‍රල් මිල ගණන් ඉහළ දමා තිබේ.
ඒ අනුව සියලු වර්ගවල ඩීසල් ලීටරයක් සියයට 54කින් එනම් රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක් සියයට 12කින් එනම් රුපියල් 50කින් ඉහළ දමා ඇත. ඒ අනුව ඩීසල් ලීටරය රුපියල් 214ක් ද පෙට්‍රල් ලීටරය රුපියල් 254ක් ද වේ.
මෑත ඉතිහාසයේ වැඩිම අගයකින් ඉන්ධන මිල ඉහළ දැමු පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
නිවේදනයක් නිකුත් කරමින් ලංකා IOC සමාගම සඳහන් කළේ, රුපියලේ අගය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම මත ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ බවයි.
රුසියනු තෙල් හා නිශ්පාදන සඳහා පූර්ණ තහනමක් පැනවීමේ අපේක්ෂාව මත ද තෙල් මිල ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන ලංකා IOC සමාගම සඳහන් කළේ, 2008 වසරට පසු ඉහළම මට්ටමට ජත්‍යන්තර ඉන්ධන මිල ගණන් ළඟා වී ඇති බවයි.
ලංකා IOC සමාගම පසුගිය මාසයේ අවස්ථා දෙකකදී ද ඉන්ධන මිල ගනන් ඉහළ දැමුවේය.
ඒ අනුව 2022 පෙබරවාරි 25 වැනිදා ඉන්ධන මිල ඉහළ දැමූ අතර එහිදී පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ දැමුවේය.
එයට පෙර 2022 පෙබරවාරි 06 වැනිදා ද ලංකා IOC සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දැමූ අතර එහිදී පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමන ලදි.
පසුගිය වසරේ දෙසැම්බර් 21 වැනිදා ලංකා IOC සමාගම පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් රුපියල් 177 ක් දක්වාත් ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් රුපියල් 121ක් දක්වාත් ඉහල දැමිණි.
ඒ අනුව මේ වසරේ මෙතෙක් පෙට්‍රල් ලීටරයක් රුපියල් 77කිනුත් ඩීසල් ලීටරයක් රුපියල් 93කිනුත් ඉහළ දමා ඇත.
එහෙත් 2021 දෙසැම්බර් 20 වනදායින් පසු මේ වන තෙක් ලංකා ඛනිජතෙල් සංස්ථාව තම ඉන්ධන මිල ඉහළ දමා නැති අතර සිපෙට්කෝ ඉන්දන හල් පෙට්‍රල් ලීටරයක් රුපියල් 177ක ටත් ඩීසල් ලීටරයක් රුපියල් 121ක මුදලකටැහැ අලෙවි කරමින් පවතී.
ආර්ථික විශේෂඥයින් දිගින් දිගටම රජයට පවසන්නේ ඛනිජතෙල් සංස්ථාවේ පාඩුව අවම කිරීම සඳහා සිපෙට්කෝ ඉන්දන හල වලත් ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවයි.
මේ අතර පසුගිය දා මහබැංකුව තම මුල්‍ය ප්‍රතිපත්ති විවරණය කරමින් රටේ මුල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයා වන මහ බැංකුව රාජ්‍ය ආදායම් ප්‍රතිපත්තිය වෙනස්කිරීමට අදාල නිර්දේශ රාශියක් ඉදිරිපත් කෙරිණ. එම යෝජනාවන් අතර වහාම ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරීම යෝජනා කර තිබුනත් මෙතෙක් රජය ඒ කෙරෙහි අවධානය යොමුකර නොමැත.
මහ බැංකුව මාර්තු 7 සඳුදා සාර්ව ආර්ථික ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලී බවක් සඳහා ඉඩ හැරියේය. ඒ අනුව අමෙරිකානු ඩොලර්යට සාපේක්ෂව රුපියලේ අගය වෙළදපල අගය මත තීරණය වීමට මහ බැංකුවැ ඉඩ හැරිය අතර මේ වන විට ඇමරිකානු ඩොලරයකට රුපියල් 260 කට වැඩි මිලක් අද (මාර්තු 10) අන්තර් බැංකු විදේශ මුල්‍ය වෙළඳපොළේදී තීරණය විය.
විදේශ මුදල් තැරැව්කරුවන් බීබීසී සිංහල සේවය සමග පැවසුවේ රටේ මේ වන විට පවතින විදේශ විනිමය අර්බුදයට හේතුව රුපියල කළමනාකරණය කිරීම පිළිබඳව පවතින ගැටලුව සහ රජයට ලැබිය යුතු ආදායම් අහිමි වීම බවයි. එම මුලික ප්‍රශ්න වලට නිසි පිළිතුරු ලබා නොදී විදේශ විනිමය අනුපාතිකය නිදහසේ පා කිරීමෙන් පමණක් රටේ පවතින ආර්ථික අර්බුදයට පිළියම් යෙදිය නොහැකි බවට ආර්ථික විශේෂඥයින් පවසයි.
මේ අතර ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් යළි සලකා බැලිය යුතුව ඇතැයි ඛනිජ සංස්ථාව සභාපති සුමිත් විජේසිංහ අද (මාර්තු 10) ප්‍රකාශ කළේය. ඔහු පවසා සිටියේ ලෝක වෙළඳපොලේ පවතින ඉන්ධන මිල සමග සලකා බැලීමේදී මෙරට රජය විශාල අලාභයක් ලබමින් ඉන්ධන ආනනය කරන බවයි.
රජය මැදිහත් වී ඉන්ධන මිල යම් සාමාන්‍ය මට්ටමක පවත්වාගෙන කළමනාකරණය ගැනීමට උත්සාහ දැරුවද, පවතින තත්ත්වය රජයට ද දරාගත නොහැකි වී ඇතැයි ඔහු තවදුරටත් පැවසීය.
ඔහු සඳහන් කළේ එබැවින් ඉන්ධන මිල සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවයි.
"පාඩුව ඩීසල් ලීටරයකින් රුපියල් 128ක්, පෙට්‍රල් වලින් රු.80 ක අලාභයක් වෙනවා ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යාමත් එක්ක රජය මැදිහත්වෙලා යම් කළමනාකරණයක් කරලා බලාපොරොත්තු වුණා මිල යම් ප්‍රමාණයක සාමාන්‍ය අගයක තියෙයි කියලා. අද තියෙන තත්ත්වය නම් මං හිතන්නෑ රජයටත් දරාගන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ ඒක ගැන මිල ගැන අපි ඇත්ත වශයෙන්ම කල්පනා කරන්න ඕනේ" ඔහු කියා සිටියේය.
ඉන්ධන ගැටලුව ලබන සතියෙන් ඉවරයි - බලශක්ති අමාත්‍යාංශ ලේකම්
ඉන්ධන මිල නුදිරේදී ඉහළ යා හැකි ද යන ප්‍රශ්නයට අද පවතී මාධ්‍ය හමුවකදී පිළිතුරු දුන් බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගාපවසා සිටියේ, ඒ හා සම්බන්ධ කතිකාවක් ඇතත් එවැනි තීරණයක් ගතයුත්තේ කල්පනාකාරීව බවයි.
මෙරට ඉන්ධන හිඟයක් නොතිබූ බවත්, නිසි ලෙස ඉන්ධන සැපයීම බොහෝ අවස්ථාවන්වලදී සාමාන්‍ය පරිද සිදුකළ ද දෛනික ඉන්ධන පරිභෝජනය ඉහළ ගොස් ඇති බව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළේය.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ, දේශීය මිල ද ඉහළ යා හැකි බව ට බියෙන් බොහෝ පාරිභෝගිකයන් ඉන්ධන රැස්කිරීමට යොමුවීමේ ප්‍රවණතාවක් පැවතුණ බවට ඔහු චෝදනා කළේය.
ආනයනය කරන ඉන්ධන සඳහා ඉතා ඉහළ ඩොලර් ප්‍රමාණයක් ගෙවිය යුතු බවත්, ඉන්ධන පරිභෝජනය මේ අවස්ථාවේදී නිසි කළමනාකාරිත්වයකින් යුතුව සිදුකරන්නේ නම් එය රටට යහපතක් වන බවත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පැවසුවේය.
මේ වන විට රට පුරා පවතින ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු මෙම සෙනසුරාදා දිනය වන විට සමනය වී එළැඹෙන සඳුදා සිට යථාතත්වයට පත්වනු ඇති බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා පැවසුවාය.
"බලශක්තිය රටට ශක්තියක්" මැයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවේ දී ලේකම්වරිය මේ බව කියා සිටියාය.
මේ වන විටත් කොළඹ වරායට ඩීසල් නැවක් පැමිණ ඇති බවත් මෙම මස තුළ ඉන්ධන නැව් තොග හතරකින් ඩීසල් මෙට්‍රික් ටොන් 172,000ක් ලැබීමට නියමිත බවත් ඇය පැවසුවාය.
එසේ ලැබෙන ඉන්ධන බෙදාහැරීම වේගවත්ව සිදුකරන බවත් බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා සඳහන් කළාය.
විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවි තෙල් නැව් තොග කිහිපයක් ද ලැබී ඇති බවත් (මෙට්‍රික් ටොන් 30,000) එමඟින් දැවී තෙල් භාවිතා කරන වෙස්ට් කෝස්ට් වැනි විදුලි බලාගාර සම්පුර්ණ ධාරිතාවයෙන් යුතුව ක්‍රියාත්මක කළහැකි බවත් ලේකම්වරිය පෙන්වා දෙනු ලැබුවාය.
මාර්තු 20 වන දින තවත් දැවි තෙල් නැව් තොග ලැබීමට ද නියමිතව ඇති බවට ඇය සඳහන් කළාය.
ඉන්ධන තොග ලැබීමෙන් පසු දැනට පවතින ඉන්ධන සහ විදුලි බල ගැටලු ඉතා ඉක්මනින් පහව යනු ඇති බවට අය පැවසීය.
"අපගේ සැළසුම් අනුව අවශ්‍ය ඩොලර් සපයාගැනීම පිළිබඳව ද අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ සඳහා ජනාධිපති ලේකම්, භාණ්ඩාගාර ලේකම් සහ මහබැංකු අධිපතිවරයා ද නිරන්තරයෙන් සොයාබලා වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සහයෝගය ලබාදෙමින් සිටීනවා," යනුවෙන් ලේකම්වරිය තවදුරටත් පැවසුවාය.
බලශක්ති ක්ෂේත්‍රය හා සම්බන්ධ ඉදිරි සැලසුම් පිළිබඳවද පැහැදිලි කළ ලේකම් ඔල්ගා සඳහන් කළේ, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු ත්‍රිකුණාමල තෙල් ටැංකි නවීකරණය කිරීමකින් පසු කොළඹ හරහා නොගොස් උතුර, උතුරු මැද සහ බදුල්ල වැනි ප්‍රදේශ වෙත තෙල් සැපයීම ත්‍රිකුණාමලය හරහා සිදුකළ හැකි බවයි.
එමගින් රුපියල් මිලියන 800ක් පමණ මාසිකව ඉතිරි කර ගැනීමට හැකි වන බව ඇය සඳහන් කළාය.
ඖෂධ මිල ඉහළ දැමීමටත් අවසර
ඩොලරයේ අගය ඉහළ යෑමට සාපෙක්ෂව ඖෂධ මිල සාධාරණ මිලකට ඉහළ නැංවීමට ඖෂධ ආනයනකරුවන්ට අවසර ලබාදීමට අද තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේය.
ඔහු පවසා සිටියේ එම තීරණය පිළිබඳව ඖෂධ ආනයනකරුවන් අද දැනුවත් කළ බවයි.
ඒ අනුව වෙළෙඳපොළේ ඖෂධ හිඟයක් ඇති නොවනු ඇතැයි ඔහු සඳහන් කළේය.
ඩොලරයේ අගයට සාපෙක්ෂව ඖෂධ මිල ගණන් ඉහළ දැමීම සඳහා සාධාරණ ක්‍රමවේදයක් සකස් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරත් පැවසුවේය.
මිල වැඩි වෙන අනෙක් දේවල්
මේ අතර ප්‍රීමා සමගම තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35-45ත් අතර මිලකින් හා සෙරන්ඩිප් සමාගම සිය තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35කින් ඉහළ දමා ඇත.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ පවතින තත්ත්වය හමුවේ පාන් රාත්තලක මිල අද (මාර්තු 11) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30 කින් ඉහළ දමන බවයි. ඒ අනුව නව මිල රුපියල් 110-130 අතර මිලක් වන බව එම සංගමය පැවසීය.
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ බත් පැකට්ටුවක මිල රුපියල් 20කින්, කොත්තු ඒකක මිල රුපියල් 10කින් හා කෙටි ආහාර මිල රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කල බවයි.
සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ ගුවන් ප්‍රවේශපත් ගාස්තු සියයට 27% කින් වැඩි කරනු ඇති බවයි.
සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ ලලිත් ධර්මසේකර පවසුවේ ත්‍රිරෝද රථ ගාස්තුද පවතින තත්ත්වය යටතේ වැඩිකිරීමට තීරණය කළ බවයි.