ශ්‍රී ලංකාව: වසරකට වරක් සැමරෙන ළමුන් සහ 'බාර ගන්න බෑ කී පැමිණිල්ල'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, දැහැමි රණවීර
- Role, බීබීසී සිංහල
1948 බ්‍රිතාන්‍යය යටත්විජිතයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ දරුවන් ද ඇතුළු පුරවැසියන්ගේ එදිනෙදා ජීවිතයේ සැලකිය යුතු ප්‍රගතියක් දක්නට ලැබිණි.
සිවිල් ගැටුම්, ස්වභාවික විපත්, දේශපාලන, නෛතික හා ආයතනික ගැටළු මධ්‍යයේ වුවද, රට පුරා සිටින දරුවන්ගේ ජීවන තත්ත්වය ක්‍රමයෙන් ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව ක්‍රියා කර ඇත.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) නිකුත් කළ වාර්තාවකට අනුව, දරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ දක්වා ලබා ඇති ප්‍රගතිය මෙසේ මැනිය හැකි ය:
- මේ වනවිට පවුල් මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් මිදී තිබේ.
- ළදරු මරණ අවම කර ගැනීමට, නිසි පෝෂණය හා ගර්භණී සෞඛ්‍යය පහසුකම් වැඩි දියුණු කිරීමට ගත් සාර්ථක උත්සාහයන් තුළින් දරුවන්ට සමෘද්ධිමත් අනාගතයක් වෙනුවෙන් සවිමත් අඩිතාලමක් වැටී තිබේ.
- ජලය සහ සනීපාරක්ෂක පහසුකම්වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම තුළින් යහපත් සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබී තිබේ.
- සෑම දරුවෙක්ම බොහෝ දුරට ප්‍රාථමික පාසල් අධ්‍යාපනය ලබන අතර, එයට ගැහැණු හා පිරිමි දරුවන් එක හා සමානව සහභාගී වේ.
සංහිඳියාව ප්‍රවර්ධනය සහ සියල්ලන් ඇතුළත් සමාජයක් තැනීම සඳහා ද ශ්‍රී ලංකාව වැදගත් පියවර ගනිමින් සිටී.
කෙසේවෙතත්, රට පුරා සිටින දරුවන්ට තම අයිතිවාසිකම් මුළුමනින්ම හඳුනාගැනීමට සහ ඔවුන්ගේ දක්ෂතාවන් වැඩිදියුණු කරගැනීමට තවමත් සහයෝගය අවශ්‍යය.
විශේෂයෙන්ම උතුර, නැගෙනහිර, කඳුකරය සහ සමහර නාගරික ප්‍රදේශවල තවමත් දැඩි දරිද්‍රතාවයේ සලකුණු එමටය.
අවදානම අද්දර සිටින ප්‍රජාවන් තවමත් ළදරු මරණ, මන්දපෝෂණය, සනීපාරක්ෂක හා සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේ අභියෝගයන්ට මුහුණ දෙති.
ප්‍රචණ්ඩත්වය, හිංසනය සහ ශ්‍රමය සූරාකෑමේ සිද්ධීන්වලින් දරුවන්ගේ දිවිපෙවතට තවමත් බාධා ඇති වේ.
දැනුම හිඟවීම සහ පහසුවෙන් ලබා ගත හැකි ළමා ආරක්ෂණ සේවාවන් නොමැතිකම, ඒවා නිසිලෙස ක්‍රියාත්මක නොවීම සහ සම්පත්වල හිඟකම නිසා දරුවන්ට විවිධ තාඩන පීඩන, වෙනස්කම්වලට ද මුහුණ දීමට සිදුව තිබේ.
රට තුළ දරුවන් ආරක්ෂා කිරීම නිසිලෙස ක්‍රියාත්මක කිරීමට බොහෝ ආයතනික ක්‍රියාකාරකම්, නෛතික හා දේශපාලන බාධාවන් ද පවතී.
'සියල්ලටම පෙර දරුවන්' ද?
සියල්ලටම පෙර දරුවන්......., මෙවර ළමා දිනයේ තේමාවයි. නමුත් එයත් උත්සවවලට පමණක් සීමා වූ තේමාවක් දැයි සැකයක් මතු වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2021 ලෝක ළමා දිනය සමරපු ඔක්තෝබර් පළමු වෙනි දින, ළමා ආරක්ෂණය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරියකගෙන් මා හට අසන්නට ලැබුණේ මෙවන් කතාවකි.
එය ඇය කිවූ පරිදිම මම මෙහි සඳහන් කරන්නෙමි.
"පිරිමි දරුවෙක් බරපතල ලිංගික අපයෝජනයකට මුහුණ දුන් සිද්ධියක් තිබෙනවා. මෙය දැනට විභාග වෙමින් පවතින නඩුවක්."
"ඒ දරුවාගේ තාත්තා අතින් දරුවා සහ එම දරුවාගේ සහෝදරිය මෙන්ම එම දරුවාගේ අම්මා ද දිනපතා ගෘහස්ථ හිංසනයට ලක්වෙනවා. ඊට අමතරව පිරිමි දරුවාව ලිංගිකව අපයෝජනය කළ තැනැත්තා සමග දරුවාගේ තාත්තා ඉතා සමීප මිත්‍රත්වයක් පවත්වන එක දරුවාගේ ආරක්ෂාවටත් බරපතල තර්ජනයක්."
දිනය: 2021 ඔක්තෝම්බර් 01 - ලෝක ළමා හා වැඩිහිටි දිනය.
ස්ථානය: බස්නාහිර පළාත.
සිදුවීම කෙටියෙන්:
"ඉහත දරුවන්ගේ මව වන අපේ සේවාදායකයා ගෙන්වාගෙන ගෘහස්ථ හිංසනයට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමට මගේ කනිෂ්ඨ නීතිඥවරිය උදෑසනම කාර්යාලයෙන් පිටව ගියා. නමුත් ළමා දින සැමරීම් උත්සව නිසා, අද දින කිසිදු පැමිණිල්ලක් භාර නොගන්නා බව පොලිසිය ඔවුන්ට දැනුම් දී තිබුණා."
"නමුත් මගේ කණිෂ්ඨ නීතිඥවරිය ප්‍රකාශ කර සිටියේ අපේ සේවාදායකයාට සහ ඇයගේ දරුවන්ට තව දුරටත් ඔවුන්ගේ නිවසේ ගෘහස්ථ හිංසනයට ලක්වෙමින් ජීවත් විය නොහැකි බවයි. එහෙත් සියලුම ඉහළ පෙළේ නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් අද මේ උත්සවවලට පැමිණෙන බැවින් පැමිණිලි භාර ගැනීමට ක්‍රමයක් නොමැති බව පොලිසිය තරයේ ප්‍රකාශ කර සිටියා."
"ඇත්තටම ළමා දිනයක් සැමරීමේ අර්ථය මොකක් ද? ළමයින් සැමරීම එක් දිනයකට පමණක් සීමා කරන්නේ ඇයි? ලෝක ළමා දිනය මෙතරම් වාණිජකරණය වී ඇත්තේ ඇයි? ළමයින් සඳහා විශේෂිත වූ මෙම දිනයේදීම ළමයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම කෙසේනම් සාධාරණීකරණය කරන්නද? කවදා මේවා නවතීද? ළමයින් සඳහා ආරක්ෂිත ශ්‍රී ලංකාවක් අපට කවදා ලැබේද?"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"මෙවැනි සිද්ධීන් නිසා මුළු ජීවිතයම ළමා ආරක්ෂාව වෙනුවෙන් කැප කර සිටින අප වැනි අයගේ චිත්ත ධෛර්යය ද පහතට ඇද දමනවා. ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් සඳහා ළමා ආරක්ෂාව පිළිබඳ යථාර්ථය මෙයයි," ගැටළු බොහොමයක් ඉතිරි කරමින් ඇයගේ කතාව එසේ පැහැදිලි කළාය.
මේ ගැන බීබීසී සිංහල සේවය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූවගෙන් විමසීමක දී පැවසුවේ,"කොවිඩ් නිසා මේ දවස්වල විශාල උත්සව නම් පවත්වන්නේ නැහැ. නමුත් යම් යම් පොලිස් ස්ථාන මට්ටමින් උත්සව පැවැත්වුණා ද කියන එක සහ ඒ ගැන තොරතුරුක් මට කියන්න බැහැ," යනුවෙනි.
අදාළ සිද්ධිය පිළිබඳව විස්තර ලබාදෙන්නේ නම් ඒ පිළිබඳව අදාළ පොලිස්ථානයෙන් විමසා විමර්ශනයක් සිදුකළ හැකි බවට ඔහු වැඩිදුරත් පැවසීය.
මේ තොරතුරු ද කියවන්න:
කොවිඩ් නීතී ලිහිල් කිරීමත් සමග, ළමා හා වැඩිහිටි දිනය සැමරීමට දිවයින පුරා උත්සව සංවිධානය කර තිබුණු අතර, දේශපාලඥයන් ඇතුළු නිලධාරීන් බොහෝ දෙනෙක් ඒවාට සහභාගී වී සිටිනු දක්නට ලැබිණි. ඒ හේතුවෙන්, සමහර රජයේ දෙපාර්තමේන්තුවල සේවාවන් එම දිනයන් හී ක්‍රියාත්මක වී නොතිබිණි.
මේ අතර, ශ්‍රී ලංකාවේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ද, ලෝක ළමා දිනයට සමගාමීව රට පුරා වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
ළමා දින සැමරුම් ජාතික උත්සවය ද ඔක්තොම්බර් මස 05 වෙනිදා පැවැත්වීමට සැළසුම් කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ළමා ආරක්ෂන අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පැවසුවේ මෙවරද ලෝක ළමා දිනයට සමගාමීව ළමා රක්ෂණ අධිකාරිය වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවය.
ඒ අනුව අවධානයට සහ අවදානමට ලක්වන දරුවන් හඳුනාගැනීමට, ළමා අපයෝජනය සම්බන්ධන්ධයෙන් වූ දත්ත පද්ධතිය එළිදැක්වීම, පුද්ගලික සමාගම් හා එක්ව ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වෙබ් අඩවියක් පිහිටුවීම, දරුවන්ට ආරක්ෂා වන ආකාරය වටහා දෙන මොබයිල් ගේම් ඇප් හදුන්වා දීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඔහු පැවසීය.
මේ සියල්ල අතර, වර්තමානයේ දරුවන් මුහුණ දෙමින් සිටින්නේ ඉතා දුෂ්කර කාලයකටය.
කොවිඩ් 19 පැතිර යාම, සෞඛ්‍ය ගැටළු, අධ්‍යාපනයට ඇති බාධා, වසරකට ආසන්න කාලයක් පාසැල් වසා තැබීම, සෑම දරුවෙකුටම එක ලෙස නොලැබෙන ඔන්ලයින් අධ්‍යාපනය, දරුවන් අන්තර්ජාලයට ඇබ්බැහි වීම හේතුවෙන් ඇති වී තිබෙන ගැටළු, මානසික ගැටළු, භාහිර ක්‍රියාකාරකම් හා සමාජ සම්බන්ධතා නොමැතිවීම, තම අපයෝජකයන් සමග කොටු වීමට සිදු වීම ඇතුළු විවිධ ගැටළු රාශියකට ශ්‍රී ලාංකික දරුවන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට ද මුහුණ දීමට සිදුව තිබේ.
අධ්‍යාපන බලධාරීන් පවසන්නේ, ගුරු විදුහල්පති ගැටළුවි විසඳීම සම්බන්ධයෙන් "සාර්ථක සාකච්ඡා වට කීපයක්" පවත්වා ඇති අතර, ඉදිරි සති කීපය තුළ පාසැල් විවෘත කිරීමට ක්‍රියා කරන බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද නිවේදනය කර සිටින්නේ පාසැල් හැකි ඉක්මණින් විවෘත කළ යුතු බවය. ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් සංවිධානය සහ යුනෙස්කෝ සංවිධානයන් ද මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තවදුරටත් පවසයි.
බලා සිටිමු.....
ශ්‍රී ලංකා රජය ඇතුළු එකී මෙකී නොකී රජයේ දෙපාර්තමේන්තු, අධිකාරි, සංවිධාන ඇතුළු සියල්ල ළමුන් මෙන්ම ලක්ෂ 16ක් වූ ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය වෙනුවෙන් පැවැත්වූ උත්සව, නිවේදනවල විශාල පොරොන්දු රැසක් ලබා දී තිබේ.
"මේ වගේ පොරොන්දු අපිට හැමදාම අහන්න ලැබෙනවා. ඒවා බොහොම උත්සවාකාරයෙන් එළියට දමනවා. නමුත් ක්‍රියාත්මක වන්නේ එකක් නැත්නම් දෙකක්. ඒවත්, ආණ්ඩු මාරු වුණාම නැතිව යනවා. මේ රට හැදෙන්නේ නැත්තේ මේ චක්‍රය නිසාමයි."
"අපි බලමු අඩුම තරමේ 2021 ලෝක ළමා හා වැඩිහිටි දින පොරොන්දුවත් ඒ කියපු විදිහට ඉටු වෙයි ද කියලා. මොක ද තේමාවම වෙලා තියෙන්නේ සියල්ලට පෙර දරුවන් කියන දේ නිසා," නීතීඥ සුලක්ෂනා සෝමරත්න පැවසීය.








