විසි වසකට පෙර ශ්‍රී ලංකාවේ ළමා මෙහෙකරුවන් අඩු කළ හැටි: මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වාගේ අත්දැකීම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, සුනෙත් පෙරේරා
- Role, BBC සිංහල
"ක්‍රිකට් පිස්සුව තිබුණු කාලේ සනත් හතරේ පහරවල් ගහන වීඩියෝ එකක් හැදුවා. සනත් ඒකට පෙනී සිටියේ ස්වේච්ඡාවෙන්මයි, අපි සල්ලි ගෙව්වේ නෑ. හතරේ පහරවල් එක්ක 4444 කියලා දුරකතන අංකයක් හඳුන්වා දුන්නා."
"අපි ඒක රූපවාහිනියේ දාලා කිව්වා කොතැනක හරි මෙහෙකාර සේවයේ දරුවෙක් ඉන්නවනම් මේ නොම්බරයට කතා කරන්න කියලා. ඒක ඉතාම සාර්ථක වුණා."
ශ්‍රී ලංකා ළමා ආරක්ෂක අධිකාරියේ පළමු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මීට විසි වසකට පෙර, ළමා මෙහෙකාර සේවයට එරෙහිව සටන පිළිබඳ මතකය අවදි කළේ එලෙසය.
"ඒ වගේම පාසල්වල ළමයින්ට අපි යොමු කෙරුවා පණිවිඩයක්, තමන්ගේ ගෙදර මෙහෙකාර සේවයේ යෙදෙන කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා තමන්ගේ අම්මලා තාත්තලාට කියලා ඒ ළමයි ඔවුන්ගේ ගෙවල්වලට යවන්න කියලා."
"ටීවී එකෙත් පෙන්නනවා, ලැජ්ජාවකුත් ඇති වෙනවා. එතකොට ළමයි ඔස්සේ දෙමව්පියන්ට පීඩනයක් එල්ල කළා. ඒ එක්ක ළමා මෙහෙකාර සේවය විශාල වශයෙන් අඩු වුණා." යනුවෙන් මහාචාර්යවරයා කියා සිටියේ BBC සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

ශ්‍රී ලංකාවේ ළමා මෙහෙකාර සේවය පිළිබඳ සමාජය දැනුවත් කරමින් ළමා අපයෝජනවලට එරෙහිව පුරෝගාමී මෙහෙවරක් කළ අයෙකු ලෙස මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ජාත්‍යන්තර ඇගයීමට ලක් වෙයි.
ළමා රෝග පිළිබඳ විශේෂඥයෙකු වන ඔහු සභාපතීත්වය දැරූ 1998 - 2005 කාලය, ශ්‍රී ලංකා ළමා ආරක්ෂක අධිකාරියේ ස්වර්ණමය යුගය ලෙස සැලකේ.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටි දැරියක් මිය යාමත් සමග ළමා මෙහෙකාර සේවය සහ ළමා අපයෝජන පිළිබඳ යළි සංවාදයක් මතුව තිබේ.
ළමා මෙහෙකාර සේවය සහ අපයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හමුවේ පවතින අභියෝග පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා කියා සිටියේ ඊට විසඳුම් සෙවීමේදී සමීක්ෂණ මත පදනම්ව ක්‍රියාමාර්ග ගැනීම අතිශය වැදගත් බවය.
"සමීක්ෂණයක් කරලා, ඒ එන දත්ත අනුව ඇක්ෂන් ගන්නවා. සමීක්ෂණ අලුතෙන් කෙරෙන බවක් පේන්නේ නැහැ. එහෙම කරනවා නම් ළමා මෙහෙකාර සේවය නවත්තන්න පුළුවන්."
"මොකද මේක සමාජයෙන් හංගන්න බැරි අපයෝජනයක්. ළමයෙක් ගෙදරක මෙහෙකාර සේවයේ යෙදෙනවා නම් හංගන්න බැහැ. අසල්වැසියන්ට හරි පේනවා.
"අපේ දක්ෂතාවට වඩා දැනුවත් කිරීම තමයි මූලිකව වැදගත් වුණේ. ඉතින් හුඟක් අඩු වුණා." යැයි පවසමින් මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා එවක ළමා ආරක්ෂක අධිකාරිය ළඟා කර ගත් සාර්ථකත්වය පිළිබඳ විස්තර කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රගතිය

මෑත දශක දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකාව ළමා මෙහෙකාර සේවය නවතා දැමීම අතින් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන ඇතැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) පවසයි.
1999 හා සැසඳීමේදී මෙහෙකාර සේවය සඳහා යොදා ගනු ලබන ළමුන් සංඛ්‍යාවේ සීග්‍ර අඩු වීමක් දක්නට ඇති බව එම සංවිධානය 2016 වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වර්තාවක දැක්වේ.


2008/2009 කාලය තුළ 2.5% ක්ව පැවති ළමා මෙහෙකාර සේවය, 2016 වසරේදී 1% දක්වා අඩු වී ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පෙන්වා දෙයි.

වයස සහ නීතිය
ළමා ආරක්ෂක අධිකාරිය ස්ථාපනය කිරීමෙන් පසු කම්කරු දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යංශය එක්ව එවක පැවති නීති වෙනස් කළ බව මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පැවසීය.
එහිදී මෙහෙකාර සේවයේ යෙදවිය හැකි වයස් සීමාව අවුරුදු 12 සිට 14 දක්වා සංශෝධනය කෙරුණ ද එම සීමාව වයස අවුරුදු 18 දක්වා ඉහළ නැංවීමට තමන්ට අවශ්‍ය වූ බව මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා සිහිපත් කරයි.
"අඩුම තරමේ අවුරුදු 16 වෙනකම් වෙනස් කරන්න කියලා කිව්වා. නමුත් ඒ අවස්ථාවේ අනිවාර්ය අධ්‍යාපන පනතක් තිබුණා අවුරුදු 14 වෙනකම්. එතකොට අධ්‍යාපන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ ආණ්ඩුවෙන් අපිට කිව්වා අනිවාර්ය අධ්‍යාපන පනත නිසා 14 සීමාව ඉක්මවා යන්න බැහැ කියලා."
"යමෙක් අවුරුදු 14 වෙනකම් ඉස්කෝලේ ගිහින් 16 වෙනකම් නිකන් ගෙදර ඉන්නද? කියන තර්කය ආවා. එතකොට අපි 12 ඉඳන් 14 ට වැඩි කෙරුවා. ඒකත් ජයග්‍රහණයක්."
"ඊට පස්සේ අවුරුදු 16 දක්වා වැඩි කෙරුවේ අවුරුදු විස්සකට පස්සේ, ඒ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ." යනුවෙන් මහාචාර්යවරයා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Centre for Working Women
මානසික අපයෝජනය
ශාරීරික අපයෝජනය, මෙහෙකාර වෘත්තියේ යෙදෙවීම සහ ලිංගික අපයෝජනය හැරුණු විට ඒ සියල්ලම නිසා ඇති විය හැකි මානසික අපයෝජනයට පිළියම් සෙවීම පිළිබඳ කතාබහට ලක් වන්නේ අඩුවෙනි.
මෙහෙකාර සේවයේ නිරත ළමයෙකුට ශාරීරික හිංසා නොකර "හොඳින් සැලකුවත්" මානසික අපයෝජනය නොවැලක්විය හැකි බව මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පෙන්වා දෙයි.
"ගෙදර ඉන්න ළමයට කියන්නේ, 'රත්තරන් මෙහාට එන්න පුතේ,' මෙහෙකාර සේවයේ ඉන්න දරුවට කතා කරන්නේ, 'මෙහෙට වරෙන් යකෝ. උඹට මොකද වෙලා තියෙන්නේ?' කියලා"
"ගෙදර තමන්ගේ ළමයට එක විදිහක්. මෙහෙකාර සේවයේ යෙදෙන ළමයට තව විදිහක්."
"සෑම ආකාරයකම අපයෝජනයක දීර්ඝ වශයෙන් බලපාන්නේ මානසික අපයෝජනය."
ඇහැට නොපෙනෙන තුවාල
මානසික තුවාල සුව වීමට දීර්ඝ කාලයක් යා හැකි බව පෙන්වා දෙන මහාචාර්යවරයා එය නොසලකා හැරීම නිසා වින්දිතයන්ට පමණක් නොව සමස්ත සමාජයටම බලපෑම් ඇති වන බව කියා සිටී.
"ළමයට ගහපු තුවාලේ, සීරීම, කැපීම, කැඩිච්ච තැන් මේ සියල්ල සුව වෙනවා. ඒ ශාරීරික අපයෝජනයට සම්බන්ධ මානසික අපයෝජනය තමයි දීර්ඝ කාලයක් පවතින්නේ."
"ළමයෙක් ලිංගික අපයෝජනයකට භාජනය වුණොත් ඒ ළමයගේ පතිවත ඇතිව හෝ නැතිව ඒ ළමයට තිබෙන මානසික ආතතිය තමයි ඇත්තටම අන්තිමේ බලපාන්නේ."
"අන්තිමට කොහෙන් කැරකිලා ගියත් මානසික අපයෝජනය තමයි සිද්ධ වෙන්නේ."
"සමාජයේ විෂම චක්‍රයක්"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මානසික අපයෝජනයේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් ද අපයෝජකයන් බවට පත්වීමේ ඉඩක් පවතින බව මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පවසයි.
"අද අපයෝජනය වෙන පුද්ගලයා තමයි හෙට අපයෝජකයා බවට පත් වෙන්නේ."
"අපි කරපු සමීක්ෂණයකට අනුව සාමාන්‍ය සමාජයේ කුඩා ළමයින්ගෙන් 20% ක් පමණ අපයෝජනය වෙලා තිබෙනවා. යෞවන වයසේ පසුවෙන අය කුඩා ළමුන් අපයෝජනය කරන සංඛ්‍යාව 10%-12% ත් අතර අගයක් ගත්තා. ඒ අය තමන්ට වඩා කුඩා ළමුන් හොස්ටල් වගේ තැන්වලදී අපයෝජනය කර තිබෙනවා. ඒ අපයෝජන කරපු අයගෙන් 60% - 65% ත් අතර ප්‍රමාණයක් කුඩා කාලයේදී අපයෝජනය වෙලා තිබෙනවා. එතකොට සමාජයේ විෂම චක්‍රයක් යන්නේ. අද අපයෝජනය වෙන පුද්ගලයා හෙට අපයෝජකයෙක් විදිහට සමාජයට එක් වෙනවා."
"ළමයෙක් හෝ යෞවනයෙක් හැටියට ගුටි කෑමත් එහෙමෙයි, ප්‍රචණ්ඩත්වයට යොමු වීමත් එහෙමයි. එතකොට තමුන් වැඩිහිටියෙක් බවට පත්වෙන කොට ප්‍රචණ්ඩත්වයට යොමුවෙන පුද්ගලයෙක් වෙනවා."
ලිංගික ශ්‍රමිකයන් සහ සමලිංගික අපයෝජන
ලිංගික අපයෝජනයට ලක් වීම නිසා ඇති වෙන මානසික බලපෑම හමුවේ ගැහැණු ළමුන්ගෙන් කොටසක් ලිංගික ශ්‍රමිකයන් බවට පත් වෙන බව සමීක්ෂණ මගින් පෙනී ගොස් ඇතැයි මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පෙන්වා දුනි.
"ලිංගික රෝගවලට බෙහෙත් ගන්න සායනයකට එන ලිංගික ශ්‍රමිකයන් ගැන සමීක්ෂණයක් කළා. ඒ අයගෙන් 40% ක්ම කුඩා කාලයේ අපයෝජනය වෙලා තිබෙනවා. එහෙම බැලුවම එහෙම අපයෝජනයට ලක් වෙන ගැහැණු ළමයි සමාජයට ගිහාම තවදුරටත් අපයෝජනයට ලක් වෙනවා."
"පිරිමි අයගෙන් කොටසක් තවත් කෙනෙක් අපයෝජනය කරන අපයෝජකයන් බවට පත්වෙනවා. තව කොටසක් ඇතැම් විට සමලිංගික වශයෙන් දිගින් දිහටම අපයෝජනය වෙනවා, හැබැයි හැම කෙනාම නෙමෙයි." යනුවෙන් මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා වැඩිදුරටත් පැවසීය.
මේ ගැනත් කියවන්න:











