සිංහල - දෙමළ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සහ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ 'ඩමිය'

Kingsly Ratnayaka

ඡායාරූප මූලාශ්‍රය, PMD

ඡායාරූප ශීර්ෂ වැකිය, ජුලි 29 වෙනිදා අදාළ දැන්වීම් පුවරු නිවැරදි කර තිබිණි

ජනාධිපතිවරයාගේ මාධ්‍ය යාන්ත්‍රණය ජාතිවාදයෙන් තෘප්තියක් ලැබුවත් අද රටේ සමස්ත ජනතාව ඉන් තෘප්තියක් නොලබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ අලුතින් විවෘත කෙරුණු ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය වන ලෙස දැන්වීම් පුවරු ස්ථාපනය කර තිබීම සම්බන්ධයෙන් මතු වූ සමාජ විරෝධය පිළිබඳ BBC සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

පොදුවේ රටේ රාජ්‍ය නායකයාගේ සිට ග්‍රාම සේවා නිලධාරීන් දක්වා සෑම තැනකම පාහේ දෙමළ භාෂාවට සම තැන නොදෙන තත්ත්වයක් දැකිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

"පොඩි පිරිසක් සතුටු කරන්න ජාතිවාදය පාවිච්චි කරන්න ගියොත්, ජනාධිපතිතුමා විශ්වාස කරගෙන ඉන්න ඡන්ද පදනමත් ඔහුට නැති වෙනවා. මොකද රටේ මිනිස්සුන්ට ඒ දේ එපා වෙනවා. ජනතාව ඉන් ආත්ම තෘප්තියක් ලබන බව මම විශ්වාස කරන්නේ නැහැ."

එසේම කොරෝනා වෛරස් වසංගතය සහ කොවිඩ් එන්නත් ලබා දීම සම්බන්ධයෙන් සිදු කෙරෙන දැනුම්දීම්, දුරකතන කෙටි පණිවුඩ සහ ඒ සම්බන්ධයෙන් ලබා දෙන ලිපිලේඛනවල සිංහල භාෂාව පමණක් සඳහන් වීම නිසා දෙමළ පමණක් කතා කරන වැසියන් දැඩි පීඩාවකට පත්වන බවත් ඔහු පෙන්වා දුණි.

"ජනාධිපතිතුමා කියනවා සිංගප්පූරුව, ලී ක්වාන් යූ වගේ මේ රට හදන්න ඕනි කියලා. හැබැයි සිංගප්පූරුවේ භාෂා හතරක් තියෙනවා, ඒ හතරටම සම තැන දී තියෙනවා," යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් වැඩිදුරටත් පැවසීය.

Shanakiyan Rajaputhiran Rasamanickam

ඡායාරූප මූලාශ්‍රය, Shanakiyan Rajaputhiran Rasamanickam

ඡායාරූප ශීර්ෂ වැකිය, "සිංගප්පූරුවේ භාෂා හතරක් තියෙනවා, ඒ හතරටම සම තැන දී තියෙනවා."

කිංස්ලි රත්නායක සහ "ඩමිය"

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පූර්ව ප්‍රචාරනයක් ගෙන ගිය අතර එහි ඇති දැන්වීම් පුවරු මගින් ජාතික භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය වී ඇති බව බොහෝ දෙනෙකු සමාජ ජාල ඔස්සේ පෙන්වා දී තිබිණි.

"ජාතික/ රාජ්‍ය භාෂාවලට සිංහල, දෙමළ ප්‍රමුඛතා තත්ත්වයන් අනුව වෙනස් කළ හැක. නමුත් කිසිම විටක ජාතික/ රාජ්‍ය භාෂාවක් තුන්වන තැනට දැමිය නොහැක. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනයකට එය කළ නොහැක. එය ජාතික භාෂා ප්‍රතිපත්ති උල්ලංඝනයකි.

"ජනාධිපති ධුරය දරන අයවලුන්ගේ මාධ්‍ය මධ්‍යස්ථානයේ ඡායාරූපයක් පහත දැක්වේ. එහි භාෂා පිළිවෙල අනුව ජාතික භාෂා ප්‍රතිපත්තිය අමුඅමුවේ උල්ලංඝනය කර ඇති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද නොසලකා හැරීමකි," යනුවෙන් භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් ෆේස්බුක් හි සඳහන් කර තිබිණි.

භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් ෆේස්බුක් හි පළ කර තිබූ අදහස
ඡායාරූප ශීර්ෂ වැකිය, භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් ෆේස්බුක් හි පළ කර තිබූ අදහස

ඉහත කී විවේචන සම්බන්ධයෙන්, සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසා තිබුණේ පූර්ව ප්‍රචාරණ දර්ශනවල ඇතුළත් වූයේ අලුතින් ඉදි කෙරුණු මාධ්‍ය කේන්ද්‍රයේ "ඩමියක්" (අනුරුවක්) පමණක් බවය.

එය විවේචකයන්ට "අතුරුපසක්" ලෙස නිර්මාණය කෙරුණු බවත් ඔහු සඳහන් කර ඇත.

"මේක කලේම මේ දවස්වල අපේ රස්සාව පිටරටවල් වල ඉඳලා ස්වේච්ඡාවෙන්ම (?) වියරණ එහෙම බලන්න ඉන්න යාලුවන්ට අතුරු පසක් විදිහට. මේක ඩමියක්. ඒක ගැන ඔය ෆොටෝස් සහ වීඩියෝ කළ ආයතන නියෝජිතයන් පවා දැනුවත්. නිවැරදි පසුතලය 29 වෙනිදාට එන අයටයි මුලින්ම දකින්න පුලුවන් වෙන්නනේ," යනුවෙන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණ.

ෆේස්බුක් හි පළ වූ තවත් අදහසක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ෆේස්බුක් හි පළ වූ තවත් අදහසක්

ඔහුගේ එම තර්කය දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබුණු අතර "ඩමියක්" නිර්මාණය කිරීමට මහජන මුදල් භාවිත කිරීම සම්බන්ධයෙන් ද ඇතැමෙක් කෝපය පළ කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍යවේදී පෝද්දල ජයන්ත පවසා තිබුණේ "තිස් වසරක් තිස්සේ රුධිරය ගලා ගිය ප්‍රශ්නයේ එක් මූලික කාරණාවක් වුණේ භාෂා ප්‍රතිපත්තියයි. අදත් ඒ ප්‍රශ්නය ප්‍රශ්නයක් ලෙස තේරුම් ගන්න මේ වසු පැටවුන්ට තේරෙන්නේ නැත. රටේ සියයට තිහක් වූ ජනයාගේ භාෂාව තුන්වැනි තැනට ඇද දමා ඇත්තේ ඒ නිසා ය. මිනිසුන්ට පාන් කියා ගත නොහැකිව සිටින විට ලක්ෂ ගණන් වැය කර විල්ලුද අතුරා 'කයිවාරු මණ්ඩප' ඉදි කෙරේ. මණ්ඩපය අලංකෘත වුණාට වැඩක් නැත එතනට ඇවිත් මොන කයිවාරුව ගැහුවත් රට ප්‍රාපාතයට යන එක නැවැත්විය නොහැක," යනුවෙනි.

කෙසේ නමුත් ජුලි 29 වෙනිදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කෙරුණු අතර එහි දැන්වීම් පුවරුවල දෙමළ භාෂාව දෙවෙනි ස්ථානයේ සඳහන් කර ඇති අයුරු දක්නට ලැබිණි.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය

මන්නාරම
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවලින් ඇති වීදි නාම පුවරු ඉවත් කරන ලෙස 2019 මැයි මස සියලු ම පළාත් පාලන ආයතනවලට සහ රජයේ ආයතන වෙත චක්‍ර ලේඛනයක් නිකුත් කෙරිණි

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර සිංහල රාජ්‍ය භාෂාව වන අතර, දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවකි.

ඉංග්‍රීසි සන්ධාන භාෂාවක් ලෙස යොදා ගැනේ.

ඒ අනුව එම භාෂා දෙකෙන් ඕනෑම භාෂාවකින් සිය කටයුතු කිරීමට මහජන නියෝජිතයන්ට අවස්තාව සැලසේ. එමෙන්ම එම භාෂා දෙකෙන් ඕනෑම භාෂාවකින් අධ්‍යාපනය ලැබීමේ හිමිකම ද පවතී.

යාපනය ඇතුළු දෙමළ භාෂාව වැඩි වශයෙන් භාවිත වන ප්‍රදේශවල බොහෝ නාම පුවරුවල දෙමළ භාෂාව පළමුව සටහන් වේ.

යාපනය
ඡායාරූප ශීර්ෂ වැකිය, 2019 ඔක්තෝම්බර් යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කෙරුණු අවස්ථාවේ එහි වූ දැන්වීම් පුවරුවක සිංහල භාෂාව දෙවෙනි ස්ථානයේ සඳහන් වීම එවක සමාජ ජාල ඔස්සේ සංවාදයට ලක් විය

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිංහල සහ දෙමළ යන භාෂා ද්වය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන භාෂා ලෙස නම් කර ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙසේ දැක්වේ:

"සිංහල සහ දෙමළ භාෂා ශ්‍රී ලංකාව මුළුල්ලේ ම පරිපලාන භාෂා විය යුත්තේය. රජයේ ආයතන විසින් පොදු වාර්තා තබා ගැනීම සඳහා සහ සියලු කටයුතු ඉටු කිරීම සඳහා දෙමළ භාෂාව භාවිතා කරන උතුරු සහ නැගෙනහිර පළාත් හැර, ශ්‍රී ලංකාවේ සියලු ම පළාත්වල පරිපාලන භාෂාව සිංහල විය යුතු අතර, ඒ පළාත්වල රජයේ ආයතන විසින් පොදු වාර්තා තබා ගැනීම සඳහා සහ සියලු කටයුතු ඉටු කිරීම සඳහා සිංහල භාෂාව භාවිතා කළ යුතුය."

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය වීම සංවාදයට තුඩු දුන් අවස්ථා මෑත කාලයේ දුලබ නොවේ.

ඇතැම් දැන්වීම් පුවරු මත දෙමළ භාෂාව සම්පූර්ණයෙන්ම සඳහන් නොවුණ අවස්ථා ද ඒ අතර වේ.

දෙමළ භාෂාව වෙනුවට චීන භාෂාව ද ඇතැම් විට දෙමළ සහ සිංහල යන භාෂා දෙකම නොමැතිව චීන පමණක් යෙදුනු අවස්ථා ද පසුගිය කාලයේ දක්නට ලැබිණි.

ෆේස්බුක් හි පළ වූ අදහසක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ෆේස්බුක් හි පළ වූ අදහසක්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන, නිලධාරීන් සහ ඇතැම් විට පොදු ප්‍රවාහන සේවා මගින් ද රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය වන අවස්ථා පිළිබඳ වරින්වර වාර්තා පළ වේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇතැම් බස්රථවල ගමනාන්ත දැක්වෙන පුවරුවල දෙමළ භාෂාව වැරදි ආකාරයට ලියා තිබීම පිළිබඳ මීට වසර කිහිපයකට ඉහතදී අවධානය පළ විය.

'මහනුවර' බලා ධාවනය කෙරෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක ගමනාන්තය දැක්වෙන ඉදිරි පුවරුවේ සිංහල සහ ඉංග්‍රීසි වචන නිවැරදිව ලියා ඇතත් දෙමළ භාෂාවෙන් ලියා තිබුණේ අසභ්‍ය වචනයකි.

මේ ගැනත් කියවන්න: