වෙනස්කම, වෙනසක් නොකරගත් ශ්‍රී ලාංකික දිරිය තරුණිය

Rosy Udumulla

ඡායාරූප මූලාශ්‍රය, Rosy Udumulla

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝසි උඩුමුල්ල දෙවෙනි මනමාලියක් ලෙස සැරසී
    • Author, දැහැමි රණවීර
    • Role, බීබීසී සිංහල

රෝග, ශාරීරික පීඩාවන් කොතෙක් තිබුණද සිය ජීවන ගමනට ඒ කිසිවක් බාධාවක් නොකර ගත් රෝසි උඩුමුල්ල පානදුර ප්‍රදේශයේ දිවි ගෙවන විසිපස් හැවිදිරි තරුණියකි. ශාරීරිකව 'අසම්පූර්ණ' දරුවෙකු ලෙස මොලොවට බිහි වුව ද මේ වන විට ස්ව ශක්තියෙන් සාර්ථක ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීමට ඇය සමත්ව ඇත.

ඇය බීබීසී සිංහල සේවයට හෙළි කළ කතාවයි, මේ.

ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටින පවුලක බාල දියණිය වන රෝසි උපත ලැබුවේ කොළඹ සොයිසා රෝහලේදීය. උපතේ දී නිරීක්ෂණය වූ ශාරීරික අඩුපාඩුකම් සහ රෝගී තත්ත්වයන් රැසක් නිසා ඇය දින තුනකට වඩා ජීවත් නොවන බව වෛද්‍යවරු රෝසිගේ මවට දන්වා තිබිණි.

"මගේ මුහුණේ ගොඩක් වෙනස්කම් තිබුණා. ඇස් වැහිලා, තොල් පැලිලා කට අරින්නවත් බැහැ. ඒ වගේම තව අසනීප ගොඩක් එක්ක තමයි මම ඉපදුණේ. දොස්තරලා මාව ජීවත් කරවන්න බැහැ කිව්ව නිසා, අම්මා මාව ගෙදර ගෙනත් තියෙනවා," ඇය සිය ජීවිත කතාව මා ඉදිරියේ දිග හරිමින් පැවසුවාය.

ගෙදර ආපු ගමන් ගමන් අම්මා මාව ගේ ඇතුළෙන් තියලා හයියෙන් දොර වහලා තියෙනවා. එතකොට මම එක සැරේම ගැස්සිලා තිබුණා. ඒකෙන් අම්මා දැනගෙන තියෙනවා මට කන් ඇහෙනවා කියලා. ඊට පස්සේ අම්මා අඬ අඬ මගේ ඇඟ මට උපරිම රිදෙන්න හයියෙන් කොනිත්තලා තියෙනවා. එතකොට මම අඬන්න උත්සහ කරලා තියෙනවා.

ඒ වෙලාවේ අම්මා දැකලා තියෙනවා මගේ උගුරේ උඩ අතට තියෙන අසාමාන්‍ය පටලයක්. මට කතා කරන්න අපහසු වෙන්නේ ඒක නිසයි කියලා අම්මා නිගමනය කරලා තියෙනවා. ඊට පස්සේ දොස්තරට කතා කරලා මේ ගැන කියලා."

Rosy Udumulla

ඡායාරූප මූලාශ්‍රය, Rosy Udumulla

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝසි කුඩා කළ

ඒ අනුව, අමරා වාද්දුවගේ සිය දියණිය රෝසිව පසුදින නැවතත් රෝහලට ගෙන ගොස් වෛද්‍යවරුන්ට පෙන්වා තිබිණි.

"මෙච්චර දියුණු වෛද්‍ය විද්‍යාවෙන් අපිට සොයා ගන්න බැරි වුණ දේ අම්මා සොයා ගෙන තියෙනවා කියලා දොස්තර අම්මාට කියලා. එවෙලේම විශේෂඥ වෛද්‍යවරයෙකුට මාව පෙන්නන්න වෙලාවක් වෙන් කරලා දොස්තරම අපිව වාහනේ දාගෙන එක්කන් ගිහින් තියෙනවා.

ඊට පස්සේ මට සැත්කම් ගණනාවක් සිදු කරලා තියෙනවා. මේ වන විට විස්සකට අධික සැත්කම් ප්‍රමාණයක් කරලා තියෙනවා. අවසානයේ අම්මා මට දෙවෙනි වතාවටත් ජීවිතය දුන්නා. ඒත් සමහරවිට මට ඇවිදින්න බැරි වෙයි කියලා දොස්තරලා කියලා තිබුණා.

මගේ එක කකුලක ඇඟිලි දෙකයි, අනෙක් කකුලේ එක ඇඟිල්ලයි. ඒවත් සාමාන්‍ය විදිහට පිහිටලා නැහැ. මම කවදාවත් අම්මගෙන් කිරි උරලා බීලා නැහැ. පහන් තිරයකින් තමයි කිරි පොවලා තියෙන්නේ.

මගේ අම්මා අපි කුඩා කාලයේ ඉඳන්ම රැකියාවකුත් කළා. ඒ වෙලාවට මාව බලාගත්තේ ලොකු අම්මා. දවසක් අම්මා වැඩට ගිහින් එනකොට මම වැටි වැටී ඇවිදින්න උත්සහ කරනවලු. ඒක හරිම සතුටුදායක අවස්ථාවක් වෙලා."

ඉන් පසු ඇරඹුණේ රෝසිගේ පෙර පාසල් සමයයි. ශාරීරික වෙනස්කම් සහ කතා කිරීමේ අපහසුතා මත පෙර පාසලේ දී ඇයට ගුරුවරු හෝ සිසුන්ගෙන් වෙනස්කම් සිදු වූ බවක් නොදැනුන අතර, එහි පැවැත්වූ විවිධ ප්‍රසංගවල සෑම නර්තනයක් සඳහාම ඇය සහභාගී කරගත් බව ද පැවසීය.

"එහෙම වෙනසක් වුණත් මට ඒවා තේරෙන වයසක් නෙමෙයි. හැබැයි ගුරුවරු මට ආදරෙන් හිටියා කියලා මතකයි. නමුත් මාව හැම නැටුමකටම ගන්නේ ඇයි කියලා ළමයි අහන්න ගත්තා. හැබැයි ඒ අයත් මම වගේම චූටියි එතකොට.

කෙසේනමුත්, පාසල් ගමන ආරම්භයත් සමග රෝසිට බොහෝ දුක් ගැහැට, අපහාසවලට මුහුණ දීමට සිදු විය.

"මගේ කොණ්ඩය වැවෙන්නේ නැහැ. ඉතින් ළමයි මට තට්ටයා කියලා විහිළු කරනවා. ඒ වගේම සෑහෙන්න වෙනස්කම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මට හයියෙන් කෑ ගහනවා, පැන්සල් පෙට්ටිවලින් ගහනවා, පොත් ඉරනවා වගේ ගොඩක් දේවල් සිද්ධ වුණා.

දරාගන්න බැරිම තැන දවසක් මම අම්මාගෙන් ඇහුවා ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. මගේ යාළුවෝ කොණ්ඩ කරල් දෙකක් ගොතාගෙන එනවා ඇයි මට නැත්තේ කියලා. එතකොට අම්මා මට විග් එකක් අරගෙන දුන්නා. නමුත් ළමයි විග් එක බලෙන් ගලවාගෙන ඒක උඩ දදා සෙල්ලම් කරන්න පටන් ගත්තා.

Rosy Udumulla

ඡායාරූප මූලාශ්‍රය, Rosy Udumulla

ඡායාරූප ශීර්ෂ වැකිය, නර්ථනය පුහුණු වන අතර

තවත් ලිපි කියවමු:

වතුර බෝතල්වලින් පවා සමහරු මට ගහලා තියෙනවා. නමුත් ගුරුවරුන්ගෙන් ලොකු වෙනස්කම් සිද්ධ වුණේ නැහැ. මාව ඉස්කෝලේ හැම විවිධ ප්‍රසංගයකම නැටුම් පුහුණුවීම්වලට සහභාගී කර ගත්තා. නමුත් ප්‍රසංගය දවසට ඇඳුම් ලෑස්ති කරගෙන ආවටත් පස්සේ මාව නැටුමට ගන්න බැහැ කියනවා.

අනික් ළමයි එක්ක ඔයාව දැම්මාම කැතට පේනවා පුතේ කියලා මට නැටුමට සහභාගී වෙන්න එපා කියනවා. මම ඉතින් දවසම අඬලා මේ සිද්ධි අම්මට කියනවා. ඉවසන්න බැරිම තැන දවසක් අම්මා ඉස්කෝලයට ඇවිත් ගුරුවරුන්ටයි, ළමයින්ටයි මේ ආසාධාරණය ගැන කියලා තිබුණා."

ක්‍රමයෙන් වැඩි වියට පත් වන විට හිරිහැර, පීඩා අවම වී ලෙන්ගතු මිතුරු මිතුරියන් හමු වූ බව රෝසි පැවසුවාය. කෙසේනමුත් තම මුහුණ, ශරීරයේ වෙනස්කම් නිසා සමාජයෙන් එල්ල වූ පීඩාවන්වල අඩුවක් නොවුණු නමුත්, වයසින් මුහුකුරා යන විට ඒ සියල්ල දරාගෙන තමන්ගේ ඉලක්ක වෙත ගමන් කළ බව ඇය පැවසීය.

Rosy Udumulla

ඡායාරූප මූලාශ්‍රය, Rosy Udumulla

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝසි සිය මව අමරා වාද්දුවගේ සමග

"දවසක් මම බස් එකේ යද්දී මගේ එහා පැත්තේ හිටිය ගැහැණු කෙනෙක් මට කතා කරලා කිව්වා වෙන සීට් එකක ඉඳගන්න කියලා. මොකද මාව දැක්කාම එයාගේ බබා බය වෙනවා කියලා. මම එයාට කිව්වා මමත් මනුස්සයෙක්, ඔයාට ඕනෙනම් වෙන සීට් එකකට යන්න කියලා.

හිරිහැර විඳගන්න බැරුව පොඩි කාලයේ අඬා වැටුනට, වයසින් ලොකු වෙන්න මම මේ දේවල්වලට නොසැලී ඉන්න පුරුදු වුණා. දැන්නම් මට කව්රුහරි මොනවහරි කිව්වත් හිනාවක් එක්ක තෑන්ක් යූ කියලා ඒවා සියල්ල අමතක කර දමනවා. "

කුඩා කළ සිටම මවගේ සෙනෙහස නොඅඩුව ලැබුණ ද සිය පියාගෙන් "කිසි දිනක ආදරයක් නොලැබුණු" බව ඇය පැවසීය. මේ අතර, පාසලේ හත ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන කාලය වන විට සිය මව පිළිකා රෝගයෙන් පෙළෙන බව රෝසිට දැනගන්නට ලැබිණි.

"මේ ඔක්කොම සිද්ධ වන අතර අපේ අම්මා රැකියාව කළ තැන ලොකු උද්ඝෝෂණයක් පැවැත්වුණා. අම්මා වෘත්තීය සමිති නායිකාවක්. එතනදී පොලිසිය එක්ක ඇතිවුණ ගැටුමක දී කදුළු ගෑස් ගහලා, අපේ අම්මාව බිම දිගේ ඇදගෙන ගිහින් පාගාගෙන ඉන්නවා ඈතින් හිටිය පුංචි මම දැක්කා.

එය මගේ ජීවිතයේ අමතක කරන්න බැරි මහා දුක්බර සිද්ධියක්."

මේ සියල්ලත් සමග පියා ඔවුන් හැර දැමූ බව ද ඇය පැවසීය.

"තාත්තා අපිව අත්හැරියට පස්සේ අපි ලොකු අම්මාලාගේ ගෙදර නැවතුනා. මේ අතර අම්මා පිළිකා රෝගයත් එක්ක සටන් කරලා, තවදුරටත් බෙහෙත් ගන්න බැහැ කියලා මාසයකින් විතර ආයෙත් නැගිට්ටා.

රැකියාවක් නැති නිසා අම්මා අපේ ඥාතියෙක්ගේ ලොරියක රියදුරු ලෙස හයර් යන්න ගත්තා. ලොරියෙන් සිමෙන්ති, වැලි, පලංචි අදින්න ගත්තා.

මේ අතර අක්කාට ධීවර සංස්ථාවේ රැකියාවක් ලැබුණා. අපි ටිකෙන් ටික ආයෙත් ඔලුව ඉස්සුවා. ඒ අතර හෙමීට ගෙයකුත් හැදුවා. මේ අතර මම උසස් පෙළ පළවෙනි වසරට ඇතුළු වුණා. හැබැයි අම්මයි අක්කයි වෙන මහන්සිය බලා ඉන්න බැරි නිසා මම එතනින් ඉස්කෝලේ ගමන නැවැත්තුවා.

ඊට පස්සේ වෘත්තීය පුහුණු අධිකාරියේ පරිඝනක පාඨමාලාවක් හැදෑරුවා. ඊට පස්සේ කම්කරු දෙපාර්තමේන්තුවේ මාස හයක් පුහුණු රැකියාවක් කළා. කොළඹ විශ්වවිද්‍යාලයෙත් අවුරුදු එකහමාරක් විතර වැඩ කළා. නමුත් මට නැවතත් සැත්කමක් කරන්න සිද්ධ වුණා. කොහොම වුණත් දොස්තරලා කිව්වා මාව සාමාන්‍ය කෙනෙක් තරමට හදන්න බැහැ කියලා.

ඒ සැත්කමෙන් පස්සේ මම සාමාන්‍ය විදිහට කෑම බීම ගන්න බැරුව මාසයක් රෝහලේ හිටියා. මේ අතර මම හිතුවා මට ලැබුණු මේ පෙනුම මම බාරගෙන ජීවිතයේ ඉදිරියට යනවා කියලා."

Rosy Udumulla

ඡායාරූප මූලාශ්‍රය, Rosy Udumulla

ඡායාරූප ශීර්ෂ වැකිය, මංගල උත්සවයකට නිර්මාණය කළ කේක් එකක්

මින් පසු ඇය ඥාතිවරියකගේ සහයෝගය මත තරුණ සේවා සභාවේ කේක් සෑදීමේ පාඨමාලාවක් හැදෑරීය. තවත් ගුරුවරු කීපයක් යටතේ වැඩිදුර හැදෑරීම් කළ ඇය, උත්සවවලට කේක් ඇණවුම් බාර ගන්නා ව්‍යාපාරයක් ආරම්භ කළාය.

"මුලින්ම හිතවතුන්ගේ උපන්දිනවලට කේක් හැදුවා. නමුත් දැන් සමාජ මාධ්‍ය ජාල හරහා කේක් ව්‍යාපාරය ප්‍රසිද්ධ කරගෙන මට විශාල පාරිභෝගිකයන් පිරිසක් හැදිලා ඉන්නවා. මංගල උත්සවවලට පවා ඇණවුම් සෑහෙන ලැබෙනවා. අම්මා මෙතෙක් කල් අපි වෙනුවෙන් මහන්සි වුණා. නමුත් දැන් අම්මට, ගෙදරට ඕනේ දේවල් අරගෙන දෙනවා.

මේ ව්‍යාපාරයේ හැම දෙයක්ම කරන්නේ මම. ඔන්ලයින් පළ කරන පෝස්ට් එකේ ඉඳන් හැම දෙයක්ම නිර්මාණය කරන්නේ මම. මට දැන් ලොකු නිදහසක් දැනෙනනවා. නමුත් සමාජයෙන් තවමත් නොයෙක් පීඩා එල්ල වෙනවා.

ඒත් ඒ කිසිම දෙයක් ගණන් නොගෙන මම මගේ ජීවිතය ඉදිරියට ගෙනියනවා. මට සමාජයේ අනුකම්පාව අවශ්‍ය නැහැ. මගේ කතාව දැකලා තවත් එක පුද්ගලයෙක් හරි ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙන්න තීරණය කළොත් ඒකයි මගේ ලොකුම සතුට," ඇය සිය කතාව අවසන් කරමින් පැවසුවාය.

කියවමු: